එංගලන්තයේ කොවෙන්ට්‍රි ප්‍රදේශයේ පදිංචිකාරියක සහ වෘත්තියෙන් හෙදියක වන 41 හැවිරිදි නයෝමි කෝල්මන් (Naomi Coleman) බීබීසී පුවත්සේවයට පවසා තිබුණේ ලංකාවේදී අවමන් සහගත සැලකිලිවලට ලක්වීමෙන් අනතුරුව සිය රට බලා පැමිණීමෙන් පසු ලාංකිකයන් විසින් ඇගේ ෆේස්බුක් ගිණුම හරහා “අපායෙ පිච්චියන්!” සහ ‘මැරිල පලයන්” වැනි අතිශය අපහාසාත්මක ඔන්ලයින් පණිවුඩ එවන්නට පටන් ගත් බවයි.
ඇයට මෙම අපහාසාත්මක පණිවුඩ ලැබෙන්නට පටන් ගෙන ඇත්තේ 2014 වසරේදී දින 4 ක් රඳවා තබාගැනීමෙන් අනතුරුව සිය රට බලා පැමිණි අවස්ථාවේදී ය.
ඒ පිළිබඳ මහත් කළකිරීමෙන් යුතුව ඇය කියා තිබෙන්නේ “බුද්ධාගමේ මෙහෙම දේවල් තියෙනව කියල මම කවදාවත් දැනගෙන හිටියෙ නෑ” යනුවෙනි. “මට නම් බුද්ධාගම කියන්නෙ කරුණාව සහ අවබෝධය'' යැයි ද ඇය කියා තිබේ.
මේ අනුව සති කිහිපයක්ම තම ෆේස්බුක් ගිණුම අක්‍රිය කර තබන්නට ඇයට සිදු වී තිබේ.
නයෝමි කෝල්මන් දැන් වසර 10 ක පමණ කාලයක් මුළුල්ලේ බුදු දහම වැළඳගෙන සිටින අයෙකි. තායිලන්තය, නේපාලය වැනි රටවලට ඇය නිතර නිතර සංචාරයන් ද සිදු කරයි. ඇය ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ ද ශ්‍රී ලංකාව හොඳින් බුදුන් වඳින රටක් බව විශ්වාස කරමිනි.
“මේක ලැජ්ජාවක්. මේ ලස්සන රටේ මිනිසුන්ගෙන් බහුතරය විදේශිකයන්ව සාදරයෙන් පිළිගන්නවා. මම දන්නෙ නෑ මට ලංකාවෙදි මෙහෙම කළේ මම තනියම සංචාරය කරන කාන්තාවක් නිසා ද කියන එක...” යනුවෙන් ඇය බීබීසී පුවත්සේවයට පවසා තිබේ.
ලංකාවේදී අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් මෙයට දින කිහිපයකට පෙර ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, 2014 වසරේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ලංකාවෙන් පිටුවහල් කළ නයෝමි හට රුපියල් ලක්ෂ අටක වන්දියක් ගෙවන්නට පොලිසියට සහ ශ්‍රී ලංකා රජයට සිදුවිය. එසේම මෙම නඩු තීන්දුවේදී සඳහන් වූ තවත් වැදගත් කාරණයක් වූයේ යමෙක් ශ්‍රී ලංකාවෙන් එසේ පිටුවහල් කරනවා නම් ඒ සඳහා බලය ඇත්තේ පොලිසියට නොව විදේශ කටයුතු අමාත්‍යවරයාට බව ය. තවද පොලිසියේ රාජකාරිය විය යුත්තේ නීතිය හා සාමය රැකීම මිස සදාචාරය ගැන මෙසේ වදවීම නොවන බව ද මෙම ඓතිහාසික නඩු තීන්දුවේදී ප්‍රකාශ කෙරිණි.
නඩු තීන්දුව ලැබීමෙන් අනතුරුව නයෝමි කෝල්මන් බීබිසී පුවත්සේවය සමග පවසා තිබුණේ යුක්තිය ඉටුවීම සතුටක් වන නමුත් නැවත ලංකාවට පැමිණීමේ අදහසක් හෝ ආශාවක් තමන්ට නොමැති බව ය.
නයෝමි කෝල්මන් මෙකී ෆේස්බුක් අපහරණයට ලක්වීමෙන් අනතුරුව එම ගිණුමේ නම වෙනස්කර ඇති අතර ඒ අනුව සමාජ ජාලවල දැන් පෙනී සිටින්නේ වෙනත් නමකිනි. සරලව කියන්නේ නම් මේ වන විට, ලංකාවේදී හිංසනයට පාත්‍ර වූ නයෝමි කෝල්මන්, දැන් ෆේස්බුක් එකේ නැත.
මේ අනුව පොලිස් වධහිංසාවෙන් සහ පූජිතගේ භාවනාවෙන් ලෝක පූජිත වූ ශ්‍රී ලංකා පොලිසිය නැවත වරක් සනාථ කර තිබෙන්නේ ජාත්‍යන්තරයට ලංකාවේ නම රැගෙන යාම සම්බන්ධයෙන් තමන්ට කොතරම් දෙයක් කළ හැකි ද යන්න ය.! ශ්‍රී ලංකා පොලිසියේ වනචාරී ඔලමොට්ටල වැඩ නිසා නයෝමි කෝල්මන්ලා ලෝක සිතියමේ ලංකාව ඇති පැත්ත දෙස බලාගෙන මින් මතු බුදුන් වැඳීම පවා නොකරනු ඇත.
-අමාලි ජයවීර
0 comments :
Post a Comment