ඇත්තටම ගිංතොටදී මොකද වුණේ?-STF එක ඉවත්වෙන අතරවාරයේ පන්සලේ රැස්වීමක්! රැස්වීමෙන් පසු පහරදීලා!!

ගිංතොට පසුගියදා හටගත් සිද්ධිය සම්බන්ධයෙන් මහජනයා අතර පරස්පර තොරතුරු සහ කරුණු සංසරණය වන බැවින් මා මෙය ලියන්නේ එම ප්‍රදේශයට ගිය මාධ්‍යවේදී මුජීබ් ආර්. මහතා සමග කිරීමෙන් පසුව ය. ගිංතොට මා දන්නා අයෙක් සමග ද මම මේ කරුණු පරීක්ෂා කළෙමි.

නොවැම්බර් 12 වැනිදා, මවක් සහ වයස අවුරුදු එකහමාරක බිළිඳෙක් (මුස්ලිම් ජාතික) බීමත්ව සිටි සිංහල යතුරුපැදිකරුවෙකු විසින් හප්පා දමනු ලැබීය. බිළිඳා තුවාළ ලැබූ අතර, මව පාරේ පසෙකට ඇද වැටී තිබිණි. යතුරුපැදිකරුවා නොනැවතුණු බැවින් සහ පළා යාමට උත්සාහ කළ බැවින්, මුස්ලිම් පිරිමින් කණ්ඩායමක් ඔහුගේ මග අවහිර කළහ. මෙම සිංහල ජාතිකයාට පහර දීමෙන් පසුව මුස්ලිම් ජාතිකයෝ ඔහුගේ යතුරුපැදිය රැගෙන ගියහ.

ඉන්පසු මව සහ බිළිඳා ව හැප්පූ පුද්ගලයා සිය ගමට ගොස් ගමේ සිටි මිනිසුන් රැස් කළේය. ඉන්පසු ඔවුන් සහ යතුරුපැදිය රැගෙන ගිය මුස්ලිම් ජාතිකයන් අතර ගැටුමක් ඇති විය. ඉන්පසු මේ පිළිබඳ යම් සමථයක් ඇති වීමෙන් අනතුරුව මුස්ලිම් ජාතිකයෝ යතුරුපැදිය එහි හිමිකරුට භාර දුන්හ.

13 වැනිදා ගිංතොට සහිරා විද්‍යාලයේ පාපන්දු තරගයක් පැවැත්වුණු අතර, දහසක පමණ ප්‍රේක්ෂකයෝ පිරිසක් එය නැරඹීමට පැමිණ සිටියහ. මෙම ක්‍රීඩාංගනය අසල සිංහල ගම්මානයක් තිබේ. ඉන්පසු ඇතැම් පාපන්දු ක්‍රීඩකයන් සහ ශිෂ්‍යයන් මේ ගම්මානය පසුකර යන විට යම්කිසි පිරිසක් විසින් ඔවුන්ට පහර දෙුන ලැබීය. මෙම සිද්ධිය පොලිසියට වහාම වාර්තා කරන ලදී. පොලිසිය විසින් හිටපු දේශපාලකයෙක් වන කියාස් හුසේන් ඇතුළු මුස්ලිම් සහ සිංහල මිනිසුන් කණ්ඩායමක් අත්අඩංගුවට ගත්තේය.

මෙම සිද්ධියෙන් අනතුරුව 13 වැනිදා සිට 16 වැනිදා දක්වා විශේෂ කාර්ය බලකාය යොදවන ලදී.

17 වැනිදා පස්වරු 5 ට පමණ පොලිස් ආරක්ෂාව ඉවත් කෙරිණි. කෙසේ වෙතත් මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනෙක් නිරීක්ෂණය කර තිබෙන්නේ විශේෂ කාර්ය බලකාය ඉවත් වෙමින් සිටින අතරවාරයේ (පස්වරු 5 සිට 7 දක්වා) ගිංතොට ථූපාරාම පන්සලේ රැස්වීමක් පැවත්වෙන බවයි. මෙම රැස්වීමෙන් පසුව අඳුරු වැටෙන්නට පටන් ගත් විට සිංහල ජනයා මුස්ලිම් ජනතාවට පහර දීමට පටන් ගත්හ.

මෙම ප්‍රහාර හේතුවෙන් පහත දැක්වෙන හානි සිදු වී ඇත.

  • මුස්ලිම් නිවාස 60 ක් පමණ කඩා බිඳ දමා ඇති අතර සමහරක් පුච්චා දමා ඇත.
  • කඩ 03 ක් පුච්චා දමා ඇති අතර තවත් කඩ සුළු ගණනක් කොල්ල කා ඇත.
  • ඉහත සඳහන් කළ බිළිඳා ද ඇතුළුව මුස්ලිම් ජාතිකයන් 04 දෙනෙක් තුවාළ ලබා ඇත.
  • කිසිවෙක් මරණයට පත් වී නැත. (දෙදෙනෙක් මරණයට පත්වූ පැතිරුණු කටකතාව සත්‍යයක් නොවේ)
  • 13 වැනිදා අනතුරෙන් පසු මුස්ලිම් තරුණයන්ගෙන් යතුරුපැදිය ලබාගෙන එය තබාගෙන සිටි සිංහල ජාතිකයාගේ නිවසට මුස්ලිම් ජාතිකයන් විසින් පහර දී ඇත. සිංහල ජාතිකයෙකුට අයත් එක් කඩයක් ද පුච්චා දමා තිබේ.

සිද්ධිය ඇසින් දුටු අයෙක් පවසන්නේ මාර්ගය අද්දර වාහන පුච්චා දමන විට ඒ ආශ්‍රිතව විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය සිටි නමුත් එය නතර කිරීමට කිසිවක් නොකළ බවයි.

17 වැනිදා රාත්‍රී 10 පටන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා මැඬපැවැත්වීම සඳහා පොලිසිය කිසිවක් නොකළේය. 17 සහ 18 රාත්‍රීන් සඳහා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන ලදී.

18 වැනිදා මුස්ලිම් නිවසක් සහ ෆයිබර් කර්මාන්තශාලාවක් පුච්චා දමා තිබුණේ ඇඳිරි නීතිය පවතින අතරවාරයේ ය.

අද දක්වා ද මෙම සිද්ධියේ ආතතිය එලෙසම පවතින අතර මුස්ලිම් ප්‍රජාවට සිය අනාරක්ෂිත බව දැනෙමින් තිබේ. මේ අනුව කටකතා හෝ ප්‍රචණ්ඩත්වයන් තවදුරටත් ඇති නොවන බව තහවුරු කිරීම සඳහා නීතිය හා සාමය රකින බලධාරීන් පියවර ගත යුතුය.තවද සියලු ප්‍රජාවන්ගේ ආරක්ෂාව ඔවුන් තහවුරු කළ යුතුය.
ස්තූතියි.
ශ්‍රීන් අබ්දුල් සරූර්
ඡායාරූප: මුජීබ් ආර්.

සිංහල පරිවර්තනය: අමාලි ජයවීර

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment