කොළඹ නගරයේ සංචාරක විශ්මලන්තයක්‌.

සංචාරක සංවර්ධන හා ක්‍රිස්‌තියානු කටයුතු අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ කොළඹ නගරය උත්සව සිරියෙන් මත් කළ නත්තල් අසිරියේ තුන්වැනි පියවර මෙවර සංවිධානය කිරීමට ශ්‍රී ලංකා සංචරණය කටයුතු කරමින් සිටී.

 මෙහි අරමුණ ශ්‍රී ලංකාවේ ආහාර, සංස්‌කෘතිය, ක්‍රීඩා, අත්කම්, තේ, විනෝදාස්‌වාදය යන සියලු අංශ සංචාරකයන් බහුල කාලයක එකම ස්‌ථානයකට ගෙන ඒ කෙරෙහි අවධානය යොමුකර ගැනීමයි. ශ්‍රී ලංකා සංචරණයේ තොරතුරුවලට අනුව මෙවර කොළඹ නත්තල් අසිරිය ගිය වරටත් වඩා විශාල වූත්, සාර්ථක වූත් එකක්‌ වනු ඇත. නත්තල් අසිරිය සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමන්ගේ සංකල්පයකි. නගරයේ හෝටල් සංචාරකයන්ගෙන් පිරුණු නත්තල් සමය තුළ, ඔවුන් ඉලක්‌ක කරගත් කටයුත්තක්‌ සංවිධානය නොවන බව වටහා ගත් අමාත්‍යතුමා සංචාරක කර්මාන්තයට සම්බන්ධ සියලු කොටස්‌ එක්‌කොට දින කීපයක්‌ පුරා දිවෙන මෙම උළෙල සංවිධානය කිරීමට පුරෝගාමී විය.

 මෙම උළෙල පුරා ජනප්‍රිය සංගීත කණ්‌ඩායම්, ගායකයන්, ත්‍රිවිධ හමුදා වාදක කණ්‌ඩායම් සහ බැති ගී කණ්‌ඩායම් මඟින් නොනවතින විනෝදාස්‌වාදයක්‌ සමඟ අමරණීය අත්දැකීමක්‌ දේශීය හා විදේශීය සංචාරකයන්ට ලබාදෙනු ඇත.

මෙම උළෙල වඩාත් රසවත් කිරීම උදෙසා කොළඹ නගරයේ ප්‍රකට හෝටල් සහ අවන්හල්වල ප්‍රදර්ශන කුටි මෙන්ම ශ්‍රී ලංකාවේ ආහාරපාන පිළිබඳ සජීවී වැඩසටහන් සමූහයක්‌ ද සංවිධානය වනු ඇත. මෙහි ජාත්‍යන්තර ආහාර අංශයේ මොන්ගෝලියානු, අරාබි, චීන, මැලේසියානු, තායි, කොරියානු, ඉතාලියානු, ඉන්දියානු, ජපන් සහ ඉන්දුනීසියානු අතුරුපස විශේෂ අඩු මිලකට ලබාගැනීමට අවස්‌ථාව තිබේ. මෙයට අමතරව ශ්‍රී ලංකා තේ මණ්‌ඩලය මඟින් සංවිධානය කරනු ලබන තේ රස බැලීමේ ස්‌ථානයක්‌ මෙන්ම මෙරට විවිධ තේ වර්ග ප්‍රදර්ශනයක්‌ ද මෙයට ඇතුළත්ය.

 මෙවර නත්තල් අසිරියට එක්‌වන නවතම අංගයක්‌ වන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්‌ථාව මඟින් නිදහස්‌ චතුරශ්‍රය ආශ්‍රයේ සංවිධානය කරනු ලබන නත්තල් කලාපයයි. මෙම නත්තල් කලාපය තුළ මෙයට පෙර මෙරට විඳ නැති නව්‍ය අත්දැකීම් සමූහයක්‌ විඳීමට අමුත්තන්ට අවස්‌ථාව හිමි වේ.

 "Colombo City Tour" සංවිධානය කරන සජීවී කැරොල් වාදකයන් සමඟ තට්‌ටු දෙකේ බස්‌ රථ සේවය කොළඹ හෝටල් කීපයක සිට උළෙල පැවැත්වෙන ස්‌ථානයට හා ආපසු ගමනාගමන පහසුකම් සපයනු ඇත.

 'නත්තල් අසිරිය 2017' එක්‌ අතකට නත්තල සැමරීම දේශීයත්වයෙන් විඳ ගැනීමට හා එය දේශීය සහ විදේශීය සංචාරකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ මෙරට වසන විදේශිකයන් අතර පැතිරවීමට අවස්‌ථාව උදාකරයි. අනෙක්‌ අතට මෙය උළෙල කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය (Event base Tourism ) ප්‍රවර්ධනයට අපූරු වේදිකාවක්‌ සකස්‌කර දෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment