නීතිය මත පාලනය ('the Rule of Law') යන යෙදුම අමුතුවෙන් එබ්බවීමේ ගෞරවය නිරන්තරයෙන් හිමිවන්නේ 1885 දී An Introduction to the Study of the Law of the Constitution ග්‍රන්ථයට එම යෙදුම ඇතුළත් කළ ඔක්ස්ෆර්ඞ් සරසවියේ ඉංග්‍රීසි නීතිය පිළිබඳ විනේරියන් මහාචාර්ය ඒ.වී. ඩයිසි හට ය. එම පොත විශාල හැඟීමක් ඇති කළ අතර, ඔහුගේ මරණයට පෙර එහි මුද්‍රණ ගණනාවක් ද, මරණයෙන් පසු මුද්‍රණ කිහිපයක් ද එළිදැක්විණි. නමුත් මෙහිදී ඉඳහිට දැක්වෙන අදහස වන්නේ, ඔහු එම යෙදුම සමාජගත කළ නමුත් එයට පිටුපසින් තිබෙන අදහස ඔහු විසින් සොයාගත් එකක් නොවන බවයි. එක් කතුවරයෙක් මේ සංකල්පය ඇරිස්ටෝටල් දක්වා අතීතයට ගෙන යන්නේ, නූතන ඉංග්‍රීසි පරිවර්තනයක නීතිය මත පාලනය යන්න දක්වන නමුත්, වඩාත් පදානුගත ලෙස පරිවර්තනය කළ විට කියැවෙනුයේ: ‘පුරවැසියන් එක් අයෙකුට වඩා නීතියෙන් පාලනය වීම යහපත් ය.’ එය තවදුරටත් මෙසේ කියයි: ‘එවිට නීතියේ රැකවලුන් පවා නීතියට ගරු කරන්නේ වෙයි’, තවත් කතුවරයෙක් පෙන්වා දෙන්නේ 1866 දී විනිසුරු බ්ලැක්බර්න් (පසුව ප්‍රථම Lord of Appeal in Ordinaryහෙවත් Law Lord වශයෙන් පත්වූ) මෙසේ පැවසූ බවයි: ‘මේ රටේ පමණක් නොව සෙසු සියලු රටවල ද, තැනැත්තෙක් තමන්ගේම නඩුව අසනු ලැබීම නීතිය මත පාලනයට පටහැණි වෙයි....’ එම කතුවරයාම පෙන්වා දෙනුයේ, ‘නීතියේ ආධිපත්‍යය’ යන යෙදුම 1867 වසරේ ඡේදයක මාතෘකාවක් වශයෙන් යොදා ඇති බවයි. එනිසා ඩයිසි තම තීන්තය හිස් කැන්වසයක පින්තාරු නොකළේය. නමුත් ඔහුගේ පොත නිසා ඇතිවූ විසල් බලපෑමෙන් අදහස් කරන්නේ නීතිය මත පාලනය හා සබැඳි අදහස්වලට එම පොත නිසා පෙර නොවූ විරූ පිළිගැනීමක් ලැබුණු බවයි.
ඩයිසි නීතිය මත පාලනයට තේරුම් තුනක් දුන්නේය. ‘අප පළමුකොටම අදහස් කරන්නේ,’ යැයි ඔහු ලියුවේ, ‘රටේ සාමාන්‍ය අධිකරණ ඉදිරියේ සාමාන්‍ය නෛතික ක්‍රමයට අනුව පිහිටවූ නීතියක් ප්‍රත්‍යක්ෂ ලෙසම උල්ලංඝනය කිරීමෙන් හැරුණු විට, කිසිම මිනිසෙකුට දඬුවම් කළ හැකි හෝ ශාරීරික හෝ ද්‍රව්‍යමය වශයෙන් දඬුවම් නොකළ යුත්තේය.’
ඩයිසිගේ චින්තනය පැහැදිලි විය. යම්කිසි කෙනෙක් - ඔබ හෝ මා දඬුවමට නියම වන්නේ නම්, එය එසේ විය යුත්තේ අපව වරදකාරයන් කිරීමට කැමති යම්කිසි උපායදක්ෂ ඇමතියෙක් හෝ නිලධරයෙක් විසින් හීනෙන් දුටු යම් නීතියක් කඩ කිරීම නිසා නොවේ. රටේ සංස්ථාපිත නීතිය කඩකිරීමක් සිදු වී තිබෙන බවට එහිදී ඔප්පු වී තිබිය යුතුය. තවද එය, රටේ සාමාන්‍ය අධිකරණ ඉදිරියේ සංස්ථාපනය වී තිබෙන නීතියක් මිස, ආණ්ඩුවේ ලංසු තැබීම් සඳහා තෝරාගත් සහ විනිසුරුවරුන්ගෙන් අපේක්ෂිත ස්වාධීනත්වයෙන් හා අපක්ෂපාතී බවින් ඌන සාමාජිකයන්ගෙන් යුත් විනිශ්චය සභාවකින් සංස්ථාපනය කළ නීතියක් නොවිය යුතුය.
ඩයිසි තම දෙවැනි අදහස මෙසේ දක්වයි: ‘දෙවැනුව අප අදහස් කරන්නේ, අප ‘නීතිය මත පාලනය’ අප රටේ නෛසර්ගික ලක්ෂණයක් වශයෙන් කථා කරන විට, කිසිම අයෙක් නීතියට ඉහළින් නොමැති බව පමණක් නොව (වෙනස් දෙයක් වන) සෑම මිනිසෙක්ම, ඔහුගේ තත්වය හා නිලය කුමක් වුවත්, අදාළ ප්‍රදේශයේ සාමාන්‍ය නීතියට විෂය වන බව සහ, සාමාන්‍ය අධිකරණවලට අවනත වන බව ය.’ මෙසේ හෙයින් කිසිවෙක් නීතියට ඉහළින් නොසිටින අතර, සියල්ලෝම එකම අධිකරණය මගින් පාලනය වන එකම නීතියට විෂය වෙති. ආචාර්ය තෝමස් ෆුලර් (1654-1734) විසින් කියූ පරිදි, ‘ඔබ කිසිවිටෙක ඉතා ඉහළ නොවේ, නීතිය ඔබට ඉහළිනි.’ එනිසා ඔබ ලන්ඩන් සත්තුවත්තේ සිටින පෙන්ග්වින් සතෙකුට හිංසා කළොත්, ඔබ කැන්ටබරියේ අගරදගුරු වුවත් නඩු පැවරීමෙන් පළා යාමට ඔබට නොහැකිය. තවද ඔබ අග්‍රාමාත්‍යවරයා වුවත්-ඔබ සතු සියලු නම්බු නාම මුදල් කළත් එයින් ඔබට ගැළවීමක් නැත. නමුත් දෙවැනි කරුණ වැදගත් එකකි. එනම්, අගරදගුරුවරුන් සහ අග්‍රාමාත්‍යවරුන් ට අදාළ වන විශේෂ අධිකරණ නැති බව ය. එනිසා එකම නීතිය, එකම අධිකරණවලින් පාලනය කෙරෙන එකම නීතිය අන් හැමටම මෙන්ම ඔවුන්ට ද යෙදෙයි.
ඩයිසි සිය තුන්වැනි කරුණ මෙසේ දක්වයි.
නීතිය මත පාලනය හෝ නෛතික ජීවගුණයේ ප්‍රමුඛතර බව අතින් තුන්වැනි සහ වෙනස් අර්ථයක් සහිත මූලධර්මයක් පවතින අතර එය ඉංග්‍රීසි ආයතනවලට ආරෝපණය වූ විශේෂ ලක්ෂණයක් ලෙසට විස්තර කළ හැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාමාන්‍ය මූලධර්ම (උදාහරණයක් වශයෙන් පුද්ගලික නිදහස පිළිබඳ අයිතිය, හෝ ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීමේ නිදහස), අධිකරණය ඉදිරියට පමුණුවන විශේෂිත සිද්ධිවලදී එකී පුද්ගලික තැනැත්තන් ගේ අයිතිවාසිකම් නිශ්චය කරන අධිකරණ තීරණවල ප්‍රතිඵලයක් වශයෙන් නීතිය මත පාලනය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හාත්පස විනිවිද පැතිර තිබෙන්නේ යැයි අපට කිව හැක. එසේ වුවත් බොහෝ විදේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාමාන්‍ය මූලධර්ම විසින් තනි පුද්ගලයන්ට අයිතිවාසිකම් (එපරිද්දෙන්ම) ලබාදී ඇත්තා හෝ, එම ප්‍රතිඵලය උද්ගත කරන්නා සේ පෙනේ.
විදේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙරෙහි ඩයිසි දක්වන ප්‍රභේදනීය පරිශීලනය වෙත මේ වන විට භක්තිකයන් සිටින්නේ කිහිප දෙනෙක් පමණි. එසේ වුවත් ඩයිසි ඔහුගේ යුගයේ මිනිසෙකි. එසේම ටෙනින්සන් සේම වර්ණනාව ප්‍රිය කළ අයෙකි.
ස්ථාවර ආණ්ඩුවක භූමියක්,
යුක්ති සහගත, පැරණි සහ කීර්තිමත් බිමක්,
නිදහස සෙමෙන් පළල් වන්නේ එහි ය.
පූර්වගාමියාගෙන් පූර්වගාමියාට.
- (‘මන්ද කියා ඔබ අසන්න...’ You ask me why…)
එසේ හෙයින්, පොදු නීතියේ නඩුවෙන් නඩුවට, විනිසුරුගෙන් විනිසුරුට වෙනස් වන නඩු තීන්දුවල වියපත් සහ මන්දගාමී කාර්යදාමය මත බලාපොරොත්තු තබාගෙන සිටි ඔහුට මෙම සිද්ධාන්තයන්ගේ මහා ප්‍රකාශන පිළිබඳ විශ්වාසයක් තිබී නැත. (සහ, මා සිතන අන්දමට, 1998 මානව හිමිකම් පනත සම්බන්ධයෙන් ද ඔහු තුළ තිබී ඇත්තේ ඉතාම මිශ්‍ර දැක්මකි.)
‘අපේ පැත්තට ජය වේවා‘ යන්නට වඩා වැඩි යමක්ද?
ඩයිසිගේ අදහස්, දීර්ඝ කාලයක් මුළුල්ලේ විනිසුරුවරුන්ගේ චින්තනය වෙත නොකඩවා බලපෑම් කළ අතර, ඇතැම්විට තවමත් එසේ කරනවා වන්නට පුළුවන. නමුත් කාලයත් සමග ඔවුන්ට ඉතා දැඩි ශාස්ත්‍රීය විවේචනයකට මුහුණ පාන්නට සිදුවිය. ඔහුගේ විදෙස් සන්සන්දනය නොමග යවනසුලු බව පෙනෙන්නට තිබූ අතර, ඔහු සිය ලිවීමේදී දළ ලෙසම ගැටලු වටහාගත්තේ, ආණ්ඩුවෙන් හානිපූරණය ඉල්ලා සිටින බි්‍රතාන්‍ය පුරවැසියෙකු වශයෙනි. මේ විවාදය පුළුල් වූයේ, ගෞරවනීය විචාරකයන් විසින් එම මූලධර්මයට කිසියම්ම හෝ අර්ථයක් තිබේදැයි සැක පහළ කරන තරමට නීතිය මත පාලනය පිළිබඳ එකිනෙකට වෙනස් සංකල්පයන් ඉදිරියට පැමිණි නිසාය. මේ අනුව නීතිය මත පාලනය, යම් කිසි දේශපාලන ක්‍රමයක ධනාත්මක අංග පිළිබඳ ලඝු ලේඛන විස්තරයක් ලෙස භාවිතා කිරීමේ නැඹුරුව සම්බන්ධයෙන් මහාචාර්ය රාස් විවේචනය කර තිබිණි. මහාචාර්ය ෆිනිස් නීතිය මත පාලනය විස්තර කර තිබෙන්නේ ‘නීති ක්‍රමය නෛතික වශයෙන් යහපත් ලෙස පවත්වාගෙන යන තත්වයට පොදුවේ දී ඇති නම’ වශයෙනි. පරමාදර්ශීය සාවද්‍ය භාවිතය සහ පොදු වශයෙන් සිදුකරන පමණ ඉක්මවා භාවිතයට ස්තූති වන්නට එම මූලධර්මය අර්ථශූන්‍ය වී ඇතැයි මහාචාර්ය ජූඩිත් ෂ්ක්ලාර් යෝජනා කර තිබෙනුයේ:
‘ඇන්ග්ලෝ ඇමරිකානු දේශපාලකයන් පිළිබඳ මහජනයාගේ නිරුක්තිය වර්ණනා කරමින් තමන් විසින්ම ප්‍රීතිය ප්‍රකාශ කරන උපමා උපමේය සහිත තවත් යෙදීමක් පමණක් බවට පත්ව තිබේ. මේ නිසා මේ පාලක පන්තියේ ප්‍රලාප දෙඩවීම වෙනුවෙන් කිසිදු බුද්ධිමය පරිශ්‍රමයක් දැරිය නොයුතුය.’ යනුවෙනි. මහාචාර්ය ජෙරමි වැල්ඩ්‍රන්16, 2000 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ කවුදැයි තීරණය කළ සහ දෙපාර්ශවයම විසින් නීතිය මත පාලනය අයැද සිටි බුෂ් එ. ගෝර් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව විවේචන කරමින්, මේ මැජික් වචනවල නිරුක්තිය ‘අපේ පැත්තට ජය වේවා!’ යන්නට වඩා අර්ථ සම්පන්න දෙයක් වන්නේ ඉතා මද වශයෙන් බව පිළිගත්තේය. මහාචාර්ය බ්‍රයන් තමනාහා නීතිය මත පාලනය ‘පමණ ඉක්මවා දුරාවබෝධ වූ සංකල්පයක්’ වශයෙන් විස්තර කර තිබෙන්නේ ‘බහුල ලෙස පැතිර තිබෙනා අර්ථය පිළිබඳ පරස්පරයන්’ ඉස්මතු කරමින් සහ යහපත පිළිබඳ සංකල්පය ‘හැම කෙනෙක්ම එයට එකඟ ය. නමුත් එය කුමක්දැයි යන්න පිළිබඳ පරස්පරයන් තිබේ’යන්නට සමාන අදහසක් ගෙන දෙමිනි.
මෙවැනි මතයන්ගෙන් ලැබෙන ආලෝකය මත, නීතිය මත පාලනය ඉතාම අස්ථාවර සංකල්පයක් සහ මනෝමූලික සංකල්පයක් බවටත් පිළිගනිමින් දෑත් දිගුකර පහර ගැසීම ලෙහෙසි දෙයක් වනු ඇත. නමුත් මේ පිළිබඳ විරෝධතා තුනක් තිබේ. පළමුවැන්න නම්, විනිසුරුවරුන් විසින් නීතිය මත පාලනය පිළිබඳ නඩු තීන්දු ගණනාවකදී සඳහන් කර තිබේ. එවැනි එක් නඩුවකදී තරුණ සාපරාධී ඝාතකයෙකු සම්බන්ධයෙන් ඵලදායී තර්කයක් මතුකරමින් සාමි මණ්ඩලයේ අසුන් ගනිමින් ස්ටෙයින් සාමිවරයා කියා සිටියේ: ‘ප්‍රතිපක්ෂ වීම පිළිබඳ පැහැදිලිම විධිවිධානය ඇත්තේ නම් මිස, පාර්ලිමේන්තුව විසින් නීතිය මත පාලනයට පටහැණි ලෙස ව්‍යවස්ථාකරණය (නීති සෑදීම) නොකරන බවට පූර්වානුමිතියක් තිබිය යුතුය. තවද, ප්‍රාමාණාත්මක සහ කාර්යපටිපාටික යන දෙයාකාරයෙන්ම නීතිය මත පාලනය විසින් සාධාරණත්වය පිළිබඳ අවම නිර්ණායකයන් බලගන්වයි.’ නගර සැලසුම්කරණය පිළිබඳ තීරණවලට එරෙහි අභියාචනාවලදී අතිශයින් වෙනස් ප්‍රවේශයක් ගනිමින්, සාමි මණ්ඩලයේම සාමාජිකයෙකු වන හොෆ්මන් සාමි පැවසුවේ: ‘කෙසේ වෙතත් ප්‍රජාතාන්ත්‍රික සමාජයක පැවතිය යුතුම වූ තවත් අදාළ මූලධර්මයක් තිබේ. එය නම් නීතිය මත පාලනයයි’ යනුවෙනි. මේ ප්‍රකාශය මෙන්ම මෙවැනි තවත් ප්‍රකාශ ද අර්ථශුන්‍ය ප්‍රලාප වශයෙන් බැහැර කළ නොහැකිය.
දෙවන විරෝධතාවය වන්නේ නීතිය මත පාලනය පිළිබඳ පරිශීලනයන් උසස් තත්වයේ අන්තර්ජාතික නෛතික මෙවලම්වලට එබ්බවී තිබීමයි. මේ අනුව එලීනා රුස්වෙල්ට් මැතිනියගේ නම ද ඈඳෙන ශ්‍රේෂ්ඨ පශ්චාත් යුධ ප්‍රකාශනය වන 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියේ පූර්විකාවේ එය විස්තර කර තිබෙනුයේ “මිනිසාට පිහිට අයැද සිටීමට බලකරනු නොලබන්නේ නම් අත්‍යාවශ්‍ය සහ අවසන් ප්‍රතිඵලයක් වශයෙන්, ක්‍රෑර භාවයට සහ හිංසා පීඩනයට එරෙහිව ප්‍රබල ලෙස විරෝධය පෑම පිණිස මානව අයිතිවාසිකම් නීතිය මත පාලනයෙන් ආරක්ෂා විය යුත්තේය.’ යනුවෙනි. එක්සත් රාජධානිය ප්‍රථම අත්සන්කාර පාර්ශවය වූ 1950 මානව හිමිකම් පිළිබඳ යුරෝපියානු සම්මුතියට අනුව, යුරෝපියානු රටවල් ‘දේශපාලන සම්ප්‍රදායන්ගේ, පරමාදර්ශයන්ගේ සහ නීතිය මත පාලනයේ පොදු උරුමයක් සහිත හෙයින්...’ යනුවෙනි. තවද එක්සත් රාජධානිය ද පාර්ශවයක් වන යුරෝපා සංගමය පිළිබඳ සම්පිණ්ඩිත සම්මුතියේ 6 වන වගන්තිය මගින් විධිවිධාන සලසනුයේ:නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ගරුකිරීම සහ මූලික නිදහස, සහ නීතිය මත පාලනය යන සාමාජික රාජ්‍යයන්ට පොදු වූ මූලධර්මයන් මත සංගමය ගොඩ නැගී ඇත්තේය.’ එසේ හෙයින් නීතිය මත පාලනය අර්ථ සම්පන්න සංකල්පයක් බවටත්, එනයින් අතිශය වැදගත් බවටත් දැඩි අන්තර්ජාතික එකඟත්වයක් තිබේ. 1996 දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමූහාණ්ඩුව ගොඩනැගී ඇත්තේ කුමක් මතදැයි පළමුවන අන්තර්වාක්‍යයෙන් සඳහන් කරමින්, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ නීතිය මත පාලනයේ උත්තරීතර භාවය’ ලැයිස්තුගත කරයි. නීතිය මත පාලනය නියත වශයෙන්ම ඉංග්‍රීසි යෙදුමක් සහ එක්සත් රාජධානියටත් අයර්ලන්තය, එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය වැනි බි්‍රතාන්‍ය නීතියෙන් බලපෑම් ඇතිවූ නීති සහිත රටවලට හුරුපුරුදු යෙදුමක් වුවද, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල නීති මීමාංසයන්ගෙන් බලපෑම් ඇතිවූ රටවල ද අර්ථ සම්පන්න යෙදුමක් වේ. උදාහරණයක් වශයෙන් ජර්මනියේ Rechtstaat සහ ප්‍රංශයේ Etat de droit යන යෙදුම් පදානුගත ලෙස පරිවර්තනය කළ විට ලැබෙන අරුත ‘රාජ්‍යය පාලනය කරන නීතිය’ යන්නයි.
තුන්වන විරෝධතාව මතුවන්නේ බි්‍රතාන්‍යයේම ව්‍යවස්ථාවකිනි. 2005 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පනත විසින් I කොටසෙන් ප්‍රතිපාදන සලසනුයේ පනත (අ) දැනට පවත්නා නීතිය මත පාලනය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්මයට විරුද්ධ නොවන බව හෝ, (ආ) එම සිද්ධාන්තය හා සබැඳිව පවතින චාන්සලර්වරයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය භූමිකාව ට විරුද්ධ නොවිය යුතු බවට ය. පනතේ 17(I) වගන්තිය යටතේ චාන්සලර්වරයා සිය ධූරය භාර ගැනීමේදී නීතිය මත පාලනයට ගරු කරන බවටත් විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට ගරු කරන බවටත් දිවුරුම් දිය යුතු ය. ඒ අනුව අප සතුව එම මූලධර්මය තිබේ. අධිකරණවලට එය අරුත්සුන් විධිවිධානයක් යැයි සිතාමතා ප්‍රතික්ෂේප කළ නොහැකි අතර (ව්‍යස්ථාකරණයේ පසු අවධිවලදී) ඉහතින් උපුටා දක්වන ලද මුල්බැසගත් අදහස් සමහරකගෙන් එය වටහාගෙන තිබුණ ද (මා සිතන පරිදි) පාර්ලිමේන්තු පනතක ද එය අන්තර්ගත වේ.
“මේ නීතිවල ඇති යම් නීතියක් සම්බන්ධයෙන් අදාළ වන යම් නීතියක් වේද, එම නීතිය මේ නීතිවලට අනුකූල වේ.”
ව්‍යවස්ථාවක් සෑදූ අය විසින්ම එය නිතරම අර්ථනිරූපණය කිරීමේ පරිචය, වරදවා වටහාගැනීම් හෝ අධිකරණමය අර්ථනිරූපණ සාවද්‍ය වීම වළක්වා ගැනීමට ය. ඇතැම්විට ඔවුන් මෙහිදී න්‍යායවිරෝධී ලෙසද අර්ථ දැක්වීමට ඉඩ තිබේ. මේ සම්බන්ධව මාගේ ජනප්‍රිය උදාහරණය වන්නේ 1979 බැංකු අභියාචන කාර්යපටිපාටික (එංගන්තය හා වේල්සය) නියාමන පනත-1979 වේ. එයින් ප්‍රතිපාදන සලසන්නේ, “මේ නීතිවල ඇති යම් නීතියක් සම්බන්ධයෙන් අදාළ වන යම් නීතියක් වේද, එම නීතිය මේ නීතිවලට අනුකූල වේ.” යනුවෙනි. සැකයට ඉඩක් නැත. එනිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පනතේ නීතිය මත පාලනය වැනි නිසැකවම වැදගත් සංකල්පයක් පිළිබඳ අර්ථ නිරූපණයක් අන්තර්ගත වේ යමෙකු විසින් අපේක්ෂා කළ හැකිය. නමුත් එවැන්නක් නැත. කෙටුම්පත්කරුවන් අර්ථ දැක්වීමක් ඇතුළත් නොකළේ ඩයිසිගේ අර්ථදැක්වීම මැසිවිලි නැතිව පොදු වශයෙන් පිළිගන්නා නිසා සහ තවදුරටත් ඒ ගැන විස්තර විභාග දැක්වීම අවශ්‍ය නැති නිසාද? සහතික වශයෙන්ම එය එසේ නොවනු ඇත. පාර්ලිමේන්තු කෙටුම්පත්කරුවන් බරපතළ විශේෂඥයන් සහ දැනුම්වත් නීතීඥයන් ය. ඔවුන්ගේ ගුරුවරුන් ඩයිසිගේ විග්‍රහයේ ඇතැම් ලක්ෂණ ගැන සැක පළ කර තිබෙන්නට ඇත. වඩාත්ම විය හැකි දෙය යැයි මා සිතන්නේ, ව්‍යවස්ථාවකට ඇතුළත් කිරීම සඳහා සුදුසු සාරවත්, ගැළපෙන හා සංක්ෂිප්ත අර්ථ නිරූපණයක් යෙදීමේ දැඩි දුෂ්කරතාවය ඔවුන් විසින් පිළිගෙන තිබෙන නිසා බව ය. බොහෝ සෙයින් විය හැකි දෙය වන්නේ, අර්ථ නිරූපණයක් ලබාදීම අත්හැර, ප්‍රශ්නයකට තීරණයක් ගත යුතුව තිබෙන විට විනිසුරුවරුන්ට එය තීරණය කිරීමට ඉඩදීම වඩා හොඳ යැයි ඔවුන් සාධාරණ ව සිතා තිබුණා වන්නට ඇත. මේ ආකාරයෙන් අර්ථ නිරූපණයක් අමු වශයෙන් නොව එක් එක් සිද්ධියට සුවිශේෂී ලෙස ඉදිරියට ගෙන යා හැකි අතර, නව දැක්ම සහ අවස්ථාවන්ට ප්‍රතිචාර දක්වමින් කාලයක් මුළුල්ලේ ක්‍රමයෙන් පරිණාමය වීම නමැති සංකල්පය එවිට යථාර්ථයක් බවට පත්වෙයි.
නීතිය මත පාලනය පිළිබඳ දැනට පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්මය ව්‍යවස්ථාවක ප්‍රකට සහ පැහැදිලි ලෙස සඳහන් කර ඇති විටදී නඩුකියන පාර්ශවයක් විසින් ඒ මත රඳා පැවතී ක්‍රියා කිරීමට පෙර එය කාලය පිළිබඳ ගැටලුවක් පමණකි. මෙය සුදුසු පරිදි නියම වේලාවට සිදුවන්නකි. ඇතැම්විට එය එසේ සිදුවන්නේ කිසිවෙකු අපේක්ෂා කළාට කලින් විය හැකිය. බරපතළ වංචා විමර්ශන කාර්යාලයේ අධ්‍යක්ෂවරයා විසින් බීඒඊ සිස්ටම්ස් ලිමිටඞ් මගින් සෞදි අරාබියේ නිලධාරීන් හට සිදුකළා යැයි කියන වංචනික ගෙවීම් පිළිබඳ විමර්ශනයක් නතර කරන ලෙසට දුන් තීන්දුවක් අභියෝගයට ලක්කිරීමේදී එය සිදුවූයේ කිසිවෙකු අපේක්ෂා නොකළ තරම් ඉක්මනිනි. ඔහුගේ තීරණය නීතිය මත පාලනයට පටහැණි යැයි එක් අධිකරණයක් මගින් පැවසුවද, සාමි මන්ත්‍රී මණ්ඩලය තීන්දු කළේ එය එසේ නොවන බවය. තවද ඒ අනුව එම සන්දර්භය තුළ නීතිය මත පාලනය යනු කුමක්දැයි තීන්දු කිරීමට එම අධිකරණයට නොහැකි බවයි. නමුත් මෙහිදී එම ප්‍රශ්නය නැවතත් පැන නැගීමට යත්න දැරූ අතර, අවම වශයෙන් ආංශික අර්ථ දැක්වීමක් හෝ සොයාගැනීමේ කාර්යය අවිනිශ්චිත ලෙස නොවැළැක්විය හැකි විය. එනිසා අප මෙය ක්‍රියාවේ යෙදවිය යුතු යැයි මම සිතමි.
නීතිය බූරුවෙක්ද?
දැනට පවත්නා මූලධර්මයේ හරය බවට මා යෝජනා කරන්නේ, රාජ්‍යයක් තුළ සිටින සියලු තැනැත්තන් ඔවුන්ගේ පොදු හෝ පුද්ගලික තැනැත්තන් වේවා, ප්‍රසිද්ධියේ සාදන ලද, අනාගතයේ බලපවත්වන (සාමාන්‍ය වශයෙන්) සහ උසාවිවලින් ප්‍රසිද්ධියේ පරිපාලනය කරනු ලබන නීතිවලින් බැඳී සිටිය යුතු බව සහ ඒවායේ ප්‍රතිලාභවලට හිමිකම් කිව යුතු බවයි. මෙම ප්‍රකාශය විස්තීරණ එකක් නොවන අතර, ඉතා උද්‍යෝගිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවාදීන් පවා එය ව්‍යාතිරේඛයකින් හෝ සීමාකිරීම්වලින් තොරව සාර්වත්‍ර වශයෙන් යෙදිය හැකි බවට එකඟ නොවනු ඇත. රහස් සහ තාක්ෂණික නිෂ්පාදන ක්‍රියාවලියක් නීතිවිරෝධී ලෙස යොදාගැනීමෙන් වෙළඳ තරගකරුවෙක් වළක්වාලීමට නිෂ්පාදකයෙක් විසින් නඩු පැවරීම වැනි, ප්‍රසිද්ධියේ සිදු නොකරන්නේ නම් පමණක් යුක්තිය පසිඳලිය හැකි වන අවස්ථා මෙයට උදාහරණ වේ. නමුත් මා විසින් සඳහන් කර ඇති රීතියේ සිදුවිය හැකි ඕනෑම පොදු අපගමනයක් විසින් සමීප ලෙස සලකා බැලීමක් සහ පැහැදිලි සාධාරණීකරණය කිරීමක් ඉල්ලා සිටියි.
මාගේ සූත්‍රය ඩයිසි ට බෙහෙවින් ණයගැති ය. නමුත් මා සිතන්නේ එමගින්, ශ්‍රේෂ්ඨ ඉංග්‍රීසි දාර්ශනික ජෝන් ලොක් විසින් 1960 දී තේරුම්කර දුන් මූලික සත්‍යය වන ‘නීතිය අවසන් වන්නේ කොතැනින්ද, එතැනින් ප්‍රජාපීඩනය පටන් ගනියි’ යන්න ද ග්‍රහණය කර ගන්නා බවයි. මේ කරුණම, ටොම් පෙයින් විසින් ‘ඇමරිකාවේදී නීතිය රජු ය. පරමාධිකාරී ආණ්ඩුවකදී නීතිය රජු වේ. එනිසා නිදහස් රටවල නීතිය මිස අන් දෙයක් රජ නොවිය යුතුය’ යනුවෙන් 1776 වසරේදී කියා තිබේ.
මේ කිසිවක් විසින් අප කිසිවෙක් නීතිය පිළිබඳ චාටු කතා කියමින් සිහි මුර්ඡා විය යුතු යැයි අදහස් නොකෙරේ. එනිසා නීතීඥවරුන්ටත් එසේම සිටින්නට ඉඩ දෙන්න. අවස්ථාවක් ලැබුණු විට බොහෝ මිනිස්සු ඔලිවර් ට්විස්ට් හි බම්බල් මහතාගේ මතය වන, “නීතියෙන් කියනවා නම්... නීතිය බූරුවෙක් කියලා, නීතිය මෝඩයෙක්” යන මතය විදහා දක්වති. තවත් බොහෝ අය, ශේක්ස්පියර්ගේ සය වන හෙන්රි හි දෙවන කොටසේ එක් කැරළිකරුවෙක් විසින් පවසන ලද“අප කරන ප්‍රථම දෙය විදිහට සියලු නීතීඥයන් මරා දමමු’ යන මතය විදහා දක්වති. කිහිප දෙනෙක් පමණක් මුළු ජීවිත කාලය පුරාම උසාවියකට පය නොතබා සිටින්නට හැකි නම් එසේ කිරීම තෝරාගන්නේ එක්තරා ඉතාලි කතුවරයෙකු විසින් පැවසූ පරිදි ‘මනුෂ්‍ය නපුරේ අඳුරුතම රෝහල්’ බව දෝංකාර දෙවමින් විය යුතුය.
නිතරම අපක්ෂපාතී වුවත්, විනිසුරුවරුන් පිළිබඳව නම් මහජනයාගේ මතයන් පරාසය, එකකට එකක් සංගත නොවේ.(එක් විනාඩියකදී ඔවුන් වියපත් සහ සංවේදනයක් නොමැති අය ලෙස හැසිරෙන අතර, ඊළඟ විනාඩියේදී ඔවුහු සවිස්තරාත්මක පරීක්ෂණයක් මෙහෙයවන්නන් බවට පත්වෙති. එක් විනාඩියකදී අවසානාවන්ත දාමරිකයන්ට ක්‍රෑර දඬුවම් පමුණුවන තඩි ඩයිනසෝරයන් මෙන් හැසිරෙන ඔවුහු ඊළඟ මිනිත්තුවේදී කිසිවෙකුට කිසිම දෙයකට දඬුවම් කිරීමට අකමැති නීරස-වැදගැම්මකට නැති ලිබරල්වාදීහු බවට පත්වෙති) නමුත් නීතිය මත පාලනය පිළිබඳ විශ්වාස කිරීමට මගින් නීතිය, නීතීඥ වෘත්තිය, අධිකරණ හෝ විනිසුරුවරුන් ගැන නුසුදුසු අගය කිරීමක් ඇද නොගනියි. අපට අපේ ප්‍රාග්විනිශ්චයන් වැඩිහරියක එල්බගෙන සිටින්නට පුළුවන. කෙසේ නමුත් මා සඳහන් කර ඇති පවතින්නා වූ හෝ නොපවතින්නාවූ මූලධර්මය ට අනුකූල හෝ අවම වශයෙන් අනුකූල වීමට යත්න දරනා රටක අප ජීවත් වන බව පිළිගැනීමට එය විසින් අපට එය අපට ආමන්ත්‍රණය කරන්නේය.
නීතිය මත පාලනය අවඥාවෙන් යුතුව හෙළාදකින පාලන තන්ත්‍රයක මුද්‍රාව අඳෝමැයි! අපට ඉතා සුපුරුදු ය. රෑ මැදියම දොරට තට්ටු කිරීම්, හදිසියේ අතුරුදන්වීම්, සෝබන නඩු විභාග, සිරකරුවන් ව ජාන පරීක්ෂණවලට ලක්කිරීම, වධහිංසා කර පාපොච්ඡාරණ ලබාගැනීම, ගුලාග් සහ වධ කඳවුරු, ගෑස් කුටීර, වර්ග සංහාරය සහ වාර්ගික ශෝධනය, කලහකාරී යුද්ධ. මේ ලැයිස්තුවට නිමක් නැත. එම ලැයිස්තුව ඉදිරිපත් කිරීම ඉක්මනින් උරණ වන-පිත කිපුණු විනිසුරන්ට සහ කෑදර නීතීඥයන්ට බාර කරමු.
ටොම් බින්හැම්:
ඉංග්‍රීසි නීති ක්ෂේත්‍රය තුළ එදා මෙදාතුර පහළ වූ විනිශ්චයකාරවරුන් අතරින් වඩාම කීර්තිමත් විනිශ්චයකාරවරයා වශයෙන් අවිවාදයෙන් සැලකෙන ටොම් බින්හැම්, පිළිවෙළින්, Master of Rolls, එක්සත් රාජධානියේ සහ වේල්සයේ Lord of Chief Justice සහ එක්සත් රාජධානියේ Senior Law Lord යන පදවි දැරූ අතර, එකී පදවි ත්‍රිත්වයම හෙබවූ එකම තැනැත්තා ඔහු වේ. 2005 වර්ෂයේදී ඔහු Knight of Garter තත්වයට උසස් වූයේ, එම ගෞරවය ලද ප්‍රථම වෘත්තීමය විනිසුරුවරයා බවට පත්වෙමිනි. 2008 වර්ෂයේ ඔහු විශ්‍රාම ලද අතර, එම වසරේදීම, ඇලෙක්සැන්ඩර් එස්. ඔනාසීස් මහජන ශුභසිද්ධි පදනම විසින් පිරිනැමූ Prize of Law හි ප්‍රථම ජයග්‍රාහකයා බවට පත්විය. ඔහු විසින් රචනා කරන ලද The Rule of Law ග්‍රන්ථය, මෙම විෂය සම්බන්ධයෙන් ලෝකයේ විශිෂ්ටතම ඉංග්‍රීසි ලේඛනය වශයෙන් සැලකෙන අතර මේ සමග පළ වන්නේ එම පොතෙන් උපුටාගත් කොටසකි.
නීතිය මත පාලනය සඳහා වූ බින්හැම් මධ්‍යස්ථානය (The Binham Centre for Rule of Law) 2010 වර්ෂයේදී බින්හැම් සාමිවරයාගේ දායකත්වයෙන් සංස්ථාපනය කරනු ලැබුවේ අන්තර්ජාතික සහ තුලනාත්මක නීතිය පිළිබඳ බි්‍රතාන්‍ය ආයතනයේ කොටසක් වශයෙනි. එය නීතිය මත පාලනය (ඇතැම්විට හැඳින්වෙන පරිදි නීතියේ ආධිපත්‍යය) වෙර ගැන්වීම සහ සංවර්ධනය කිරීම සඳහා උදව් දීමට වෙහෙසෙයි. ටොම් බින්හැම් විනිසුරු මෙලොව හැරගියේ ද 2010 වර්ෂයේදී ය.
0 comments :
Post a Comment