ඇත්තෙන්ම තම විවාහෝත්සවය සඳහා බරාක් ඔබාමා සහෘදයාව ගෙන්වීමටත් ඒ සඳහා ඔහුට ඇරයුම් කිරීමටත් හැරී කුමාරයාට හද පත්ලෙන්ම උවමනා ය. නමුත් කුමක් කරන්නද? කුමරු අසරණ ය.
මැයි 19 වැනිදාට යෙදී තිබෙන, සිහින කුමරිය මෙගන් සමග අතිනත ගන්නා ජීවිතයේ ලස්සනම දවසට ඔබාමාටත් ඔහුගේ බිරිඳ මිෂෙල්ටත් ඇරයුම් කරන්නට තමන්ට උවමනා බව කුමරු සමීපතමයන් සමග පවා පැවසූ බව ලන්ඩන් ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණය කරයි. බරාක් ඔබාමා හැරීගේ බරපතළ මිතුරෙකි. ආබාධිත තත්වයට පත්වූ සොල්දාදුවන් වෙනුවෙන් පුණ්‍ය ආධාර රැස්කිරීම සඳහා පවත්වන ලද ‘ඉන්වික්ටස් ගේම්ස්’ උළෙලේදී ද හැරී කුමරු අසලින්ම වාඩි වී, ඔහු සමග රස කතා කියමින් පසු වූ හිතවතා ඔබාමා ය. සිය රජ මාළිගයේ නිලධාරීන් සමග ද තමන්ගේ විවාහෝත්සවයට ඔබාමාව ගෙන්වීමට අවශ්‍ය බව හැරී කුමරු කියා තිබේ.
නමුත් බකිංහැම් මාළිගයෙන් ඔහුට මේ සම්බන්ධයෙන් ලැබී ඇති පිළිතුර අපට ලෙහෙසියෙන්ම අනුමාන කළ හැකිය. “සෙල්ලංද කොල්ලො..? මෙව්ව මහ අවදානම් වැඩ” යැයි රජමාළිගයේ බලධාරීන් සිතෙන් කියන්නට ඇත. කෙටියෙන් කියනවා නම්, හැරීගේ මගුලට ඔබාමාට ඉන්වයිට් කරනවා නම් ඊට පෙර ඔවුන් ට්‍රම්ප්ට ඉන්වයිට් කළ යුතුය. නැතිනම් සිද්ධ වන්නේ මහා රාජ්‍ය තාන්ත්‍රික පටලැවිල්ලකි. ට්‍රම්ප්ට මෙතෙක් බ්‍රිතාන්‍ය මහ රැජින මුණ ගැසෙන්නට නිල අවස්ථාවක් ද ලැබී නැත. එවිට රැජින බැහැ නොදැක මුනුබුරාගේ මගුලට ඔහු ගෙන්වන්නේ කෙසේද? ඉතින් මෙතැන දැන් තනිකරම තිබෙන්නේ ‘ප්‍රොටෝකෝල් ප්‍රශ්නය’කි.
හැරී කුමරුගේ මංගල්‍යය රාජ්‍ය උත්සවයක් නොවේ. ඒ අනුව මංගල්‍යයට පැමිණෙන අමුත්තන්ගේ ලැයිස්තුව තනිකරම සකස් කරන්නේ බකිංහැම් මාළිගයයි. මේ අනුව හිටපු ජනාධිපතිට එන්න කියන්නට පෙර, දැන් සිටින හාදයාට පණිවුඩය යැවිය යුත්තේ ද යුත්තේ බකිංහැම් මාළිගයයි. ඒ ගැන තීරණයක් ගත යුත්තේ ද බකිංහැම් මාළිගය යි. නමුත් දැනටමත් එක්සත් රාජධානියේ ජේ්‍යෂ්ඨ සිවිල් නිලධාරීන් අනතුරු අඟවා තිබෙන්නේ බරාක් ඔබාමා, හැරීගේ මගුලට පැමිණියහොත් විශාල රාජ්‍ය තාන්ත්‍රික විසරකයක් නිර්මාණය විය හැකි බවට ය. එසේම හැරීගේ මංගලෝත්සවයට ට්‍රම්ප් ට ආරාධනා කරන පාටක් ද බකිංහැම් මාළිගය පැත්තෙන් දැක ගන්නට නොලැබේ. එයට හේතුව වන්නේ එංගලන්තයේ රට කරවන කෙනා මහ රැජින නොවන හෙයිනි. නාමමාත්‍රික නායකයා වශයෙන් ගරු පදවියක් පමණක් උසුළන මහ රැජින දැන් අතීතයේ සිටි හිරු නොබසින අධිරාජ්‍යයේ මහ රාජිනිය නොවේ.
එනම්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ ධවල මන්දිරය අතර මේ වන විට පවතින්නේ සුන්දර සබඳතාවක් නොවේ. ට්‍රම්ප් ජනපති වූ අලුත එංගලන්තයට ගොඩබැසි සමයේ නම් ට්‍රම්ප්, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ගේ අතින් අල්ලාගෙන- අත පද්ද පද්දා සක්මන් කළ බවත්, ඒ සම්බන්ධයෙන් පුවත්පත් ශීර්ෂ පාඨ මැවූ බවත් ඇත්තකි. නයිජල් ෆෙරාජ් වැනි ට්‍රම්ප්ට හිරිකිතයකින් තොරව කඩේ ගිය ‘චරිත’ ද එංගලන්තයේ තවමත් සිටින බව ද ඇත්තකි. එසේම බ්‍රෙක්සිට් නිසා ක්‍රමිකව සිය දිවි හානි කර ගැනීමේ යෙදී සිටින එක්සත් රාජධානිය තුළ ට්‍රම්ප්ගේ බෙදී වෙන්වීමේ ප්‍රතිපත්තිය අනුමත කරන භින්නකාමී සමාජයක් තිබෙන බව ද ඇත්තකි. නමුත් මේ වන විට තෙරේසා මේගේ ආණ්ඩුව පවා ට්‍රම්ප් කෙළින පිස්සු නිසාම ඔහුගෙන් මදක් ඈත් වී සිටින්නට උත්සාහ දරයි.
උදාහරණයක් වශයෙන් දැනට මාසයකට පමණ පෙර තෙරේසා මේ ‘අප්සෙට්’ වුණේ බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක අන්ත දක්ෂිණාංශික ඊරසඒසබ ත්‍සරිඑ කල්ලියේ වීඩියෝ 03 ක්ම ට්‍රම්ප් විසින් රී ට්වීට් කර ඇති බව දැකීමෙනි. මේ අන්තවාදී කල්ලිය ප්‍රමෝට් කිරීම ‘වැරදි වැඩක්’ බවත් එය වෛරී සංවිධානයක් බවත් තෙරේසා මේ එවර එළිපිටම කියා සිටියාය. ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාව බ්‍රිතාන්‍යයේ ප්‍රජාවන් තුළ බෙදීම සහ අවිශ්වාසය ඇති කරන දෙයක් ලෙස පෙනී යන බවත් ඇය පැවසුවාය.
මේ නිසා ‘යා දෙක නොරත රත’ බව දැන් ඇය දනියි. එහෙව් අණක් ගුණක් නැති-ඔලමොට්ටල වැඩ කරන ‘පොඩි ළමයෙක්’ හැරී කුමාරයාගේ මගුලට ගෙන්වා ගැනීමට ඩෝව්නින් වීදිය (අග්‍රාමාත්‍ය කාර්යාලය)ට කිසිම උවමනාවක් නැත. මේ ගැන බ්‍රිතාන්‍ය පුවත්පත් විමසූ විට අගමැති කාර්යාලය, එයට පිළිතුරු දීමෙන් වැළකී සිටියේය. මේ අනුව රාජ්‍ය තාන්ත්‍රික උවමනාවක් නිර්මාණය කරමින් රට පටලවන්නට බකිංහැම් මාළිගයට ද මේ වේලාවේ උවමනාවක් නැත.
කෙසේ වෙතත්, බැරිවෙලාවත් ට්‍රම්ප්ටත් වැරදීමකින් හෝ ආරාධනා කළා යැයි කියමු.
ට්‍රම්පච්චි කිසියම් ම හෝ බයක්-හැකක්-ලැජ්ජාවක් තිබෙන චරිතයක් නොවන නිසා ආරාධනයක් යැව්වොත් ඔහු හැරෙන තැපෑලෙන්ම ‘යර්ස්’ කියනු ඇත. ඉන්පසු ඔන්න, ට්‍රම්පච්චි මගුලට ආවා යැයි සිතමු. මෙවිට මෙගන් ට සිදුවන්නේ මූණ පුළුටු කර ගන්නට ය. මේ ඇගේ මගුල වන නිසා එහි මනමාලිය වන්නේ ද ඇයයි. ඇය, තමන් අකමැති කෙනෙක් තමන්ගේ මංගල්ලයට ගෙන්වා ගන්නට කොහෙත්ම කැමති නැත. මෙගන් පමණක් නොව හැරී කුමරු පවා ට්‍රම්ප්ව අප්‍රිය කරන බව පැහැදිලි සත්‍යයකි. මේ අප්‍රිය කම හෙවත් ‘අප්පිරියාව’ ට්‍රම්ප් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර පටන්ම, එනම් මැතිවරණ වේදිකාවේ සිට ට්‍රම්ප් විසින් අපහාසාත්මක ප්‍රකාශ සිදුකරන කාලයේ පටන්ම පැවතියකි. මේ අනුව තමන් කැමති ඔබාමාව ගෙන්වා ගන්නට නම්, තමන් අකමැති ට්‍රම්ප්ව ද ගෙන්වා ගන්නට ඔවුන්ට සිදුවනු ඇත.
නමුත් මංගල උත්සවය දවසේ මනාලියගේ මුහුණ පුළුටු වී තිබෙනවා දකින්නට කැමති කවුද...!
මේ නිසා බොහෝ විට හැරී-මෙගන් දෙපළට බරාක් ඔබාමා නැතිව සිය මංගල්‍යය ගන්නට සිදුවනවා ඇත.
- ක්‍රිෂාන්ති රාජපක්ෂ
0 comments :
Post a Comment