'පොහොට්ටුවේ ඉලක්කය 2/3 ක ආණ්ඩුවක්' - බැසිල්
රට අරාජිකත්වයට පත් නොකර ආණ්ඩුව පවත්වාගෙන යාම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වගකීමක් මිස අපගේ වගකීමක් නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු කියා සිටියේය.
පළාත් පාලන මැතිවරණයෙන් පසු දේශපාලනික වශයෙන් නන්නත්තාරවී සිටින යහපාලන ආණ්ඩුවට ඔක්සිජන් ලබාදීම ඒකාබද්ද විපක්ෂයේ අරමුණක් නොවන බවත් ඔහු සඳහන් කළේය.
ඉක්මන් මහ මැතිවරණයක්
වත්මන් අර්බුදය සම්බන්ධයෙන් අප පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ යහපාලනය දිගටම ගියත්, එජාපය තනි ආණ්ඩුවක් හැදුවත්, ඒකාබද්ධය ශ්‍රිලනිපය සමග එක්ව ආණ්ඩුවක් හැදුවත් තම පක්ෂයට වාසියක් මිස අවාසියක් සිදු නොවන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
" අපි දිනලා ඉන්නේ. ජනවරම අපේ පැත්තේ. අපේ අරමුණ කඩිනමින් මහ මැතිවරණයක් කැඳවන එක. ඒ මැතිවරණයෙන් 2/3 ක පාර්ලිමේන්තු බලයක් ලබාගෙන ඉන්පසුව අපේ දේශපාලන න්‍යාය පත්‍රය සකස් කරනවා. අනෙක් සියල්ල මෙම ඉලක්කය සඳහා හදන අතරමැද දේශපාලන ක්‍රියාකාරකම් මිස කඩා වැටුණු ආණ්ඩුවට සහය දැක්වීමක් නෙවෙයි" යැයි කියා සිටියේය.
රාජපක්ෂ මහතාගේ හිටපු උපදේශක දේශපාලන විචාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා ද අප ඊයේ කළ විමසීමකදී ද කියා සිටියේ රාජපක්ෂ මහතා ඉක්මන් මහ මැතිවරණයක් ලබා ගැනීමට අවශ්‍ය සියලුම උත්සාහයන් දරණු ඇති බවත්, එය ජනාධිපතිවරණයකට කලින් ලබා ගැනීමට සූක්ෂමවීම ඔහුගේ අදහස වනු බවයි.
එසේ කලින් ලබාගන්නා මහ මැතිවරණයකින් 3/2 ක බලයක් ලබා ගැනීම ඔහුගේ ඊළඟ අපේක්ෂාව වනු ඇති බවද ඔහු කියා සිටියේය.
ඉන්දියානු මොඩලය
එසේ 3/2 ක බලයක් මහින්ද ලබාගත හොත් ඔහුගේ ඊළඟ පියවර වනු ඇත්තේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒම බවද පෙරේරා මහතා අනුමාන කරයි.
එම සංශෝධනය මගින් ඉන්දියානු මොඩලයට අනුව පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයකු පත්කර ගැනීම නීතිගත කරගනු ඇති බවත්, ඉන් පසුව එම තනතුරට මුලින්ම මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, ඔහු අකමැති වන්නේ නම් ඔහුගේ සහෝදරයකුට හෝ එය ලබාදීම සිදුවනු ඇතැයිද කුසල් මහතා කියා සිටී.
21 වැනි සංශෝධනය අපේක්ෂිත අයුරින් සිදුවුවහොත් මහින්ද මහතාට හැමදාම අගමැතිවී සිටිය හැකිවනු ඇතැයි ද කුසල් පෙරේරා සඳහන් කළේය.
0 comments :
Post a Comment