පොළොන්නරුවේ විපරීතයට ජනපති මෛත්‍රීගෙන් විසඳුමක්.


පළාත් පාලන මැතිවරණයෙන් පසුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතිවී තිබෙන විකෘති සහගත තත්ත්වය සමනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පොළොන්නරුවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර ජයගත් මන්ත්‍රී කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවක් සිදු කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 8න් 4ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් 4ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් බලය හිමි වුවත් එම පළාත් පාලන ආයතනවල බලය පිහි‍ටුවීමට කිසිදු පක්ෂයකට හැකියාව නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි ද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත් පොළොන්නරුව මහ නගර සභාවේ එම පක්ෂයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 5ක් වුවත් එහි අනෙකුත් පක්ෂ එක්ව මන්ත්‍රී ධූර 6ක් හිමිකරගෙන තිබේ. වැලිකන්ද ප්‍රාදේශීය සභාව ට බහුතර බලය වන ආසන 6ක් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයට හිමි වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් පක්ෂ එක් වූ විට මන්ත්‍රී ධූර 10 ලැබේ. ලංකාපුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8ක් හිමි කරගෙන බහුතර බලය ලබා ගත්ත ද අනෙකුත් පක්ෂ එක් වූ විට විපක්ෂයට මන්ත්‍රී ආසන 14ක් හිමිව වේ. 

පොළොන්නරුව ප්‍රාදේශීය සභාවේ තත්ත්වයද එයයි. එහි බහුතර බලය හිමි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රී ආසන 8ක් හිමි කර ගත්ත ද අනෙකුත් පක්ෂ එක්වූ විට විපක්ෂයට ආසන 9ක් හිමිව තිබේ. මේ නිසා එම පළාත් පාළන ආයතන 4හිම ගමේ ආණ්ඩු පිහි‍ටුවීමට වෙනත් පක්ෂයක සහය පැතීමට සිදුව තිබේ.

මේ අන්දමින් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත් පළාත් පාලන ආයතන 4හි ද ඔවුන් ට තනි බලයක් සහිත ගමේ ආණ්ඩු පිහි‍ටුවීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඇළහැර ප්‍රාදේශීය සභාවේ බහුතර බලය කොට්ටාශ 10න් 9ක් දිනූ පොදුජන පෙරමුණට තිබුණ ද අනෙකුත් පක්ෂ එක්වූ විට ඔවුන් ට ද මන්ත්‍රී ආසන 9ක් හිමිව තිබේ. හිගුරක්ගොඩ පොදුජන පෙරමුණට ආසන 13ක් හිමි වුවත් අනෙකුත් පක්ෂ එක්වූ විට විපක්ෂයේ ආසන 20ක් තිබේ. දිඹුලාගල පොදුජන පෙරමුණ ආසන 7ක් දිනා එහි බහුතර බලය හිමි කර ගත්තත් විපක්ෂයේ අනෙකුත් පක්ෂ එක්වූ විට ආසන 14ක් ඔවුන්ට හිමි වේ. මැදිරිගිරිය ද බහුතර ආසන 14ක් ලබා ගත් පොදුජන පෙරමුණ එහි බලය තහවුරු කර ගැනීමට හැකි වුවත් අනෙකුත් පක්ෂ එක්වූ විට ඊට ආසන 20ක් හිමිව තිබේ. මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටද  බලය පිහි‍ටුවීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. 

මේ පිළිබඳව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දැක් වූයේ තම පක්ෂය බහුතරය පෙන්වූ සභාවල බලය පිහි‍ටුවීමට කිසිදු පක්ෂයක් සමග ඩීල් දැමීමට බලාපොරොත්තු නොවන බවයි. එමෙන් ම ජනතා බහුතර කැමැත්තට හිස නමා තමන් ට එම ගමේ ආණ්ඩුවල බලය පිහි‍ටුවීම ට ඉඩ දෙනු ඇතැයි සිතන බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචිමාර්ග පවසන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතනවල බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව බලය පිහි‍ටුවන බවයි. මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කර තිබෙන බවත් ඒ අනුව පොළොන්නරුවේ සියලු ම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් නිදහස් පක්ෂයෙන් පත් කිරීමටත් උප සභාපතිවරුන් එක්සත් ජාතික පක්ෂයෙන් පත් කර ගැනීමටත් දැනට තීරණය කර ඇති බවත් එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්සත් ජාතික පක්ෂය සහයෝගයෙන් බලය පිහි‍ටුවීමට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් කටයුතු කරමින් තිබෙන බවත් ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභාපති ධූරත් උප සභාපති ධූර එක්සත් ජාතික පක්ෂයටත් ලබා ගැනීමට බිම් මට්ටමේ නියෝජිතයන් තීන්දු කර ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතනවල බලය පිහි‍ටුවීමේ බලය ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ග මත තීන්දු වන බවට ඉඟි පළවෙමින් තිබේ.

(ප්‍රියන්ත බණ්ඩාර - පොළොන්නරුව)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment