'දැනට දිගටම ආණ්ඩුවේ ඉන්න : අකමැති අය පස්සෙ අයින්වෙන්න'
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර අද (19) පැවති විශේෂ සාකච්ඡාව මේ වන විට අවසන්ව තිබෙන අතර ඒ පිළිබඳ මාධ්‍යවෙත අදහස් දක්වමින් අමාත්‍ය එස්.බී. දිසානායක සඳහන් කර සිටියේ තම පාර්ශවයේ කිසිවෙකු කිසිඳු පාර්ශවයකට සම්බන්ධ නොවී අඛණ්ඩව කටයුතු කරන බවය.
එසේම ආණ්ඩුව තුළ ප්‍රබල වෙනසක් විය යුතු බවට තම පාර්ශවය තීන්දු කළ බවත්, අදාළ වෙනස්කම් නීත්‍යානුකූලව කිරීමට ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
එජාප ප්‍රතිචාරය යහපත් නෑ
එසේම ආණ්ඩුව පවත්වාගෙන යාම වෙනුවෙන් තමන් අනෙක් පාර්ශවයෙන් කරනු ලැබූ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
ජනාධිපතිගේ ස්ථාවරය
මේ අතර ශ්‍රීලනිප අමාත්‍යවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රාජපක්ෂවරුන් සමඟ හවුලේ ආණ්ඩු කිරීමට තමන්ට කොහෙත්ම අදහසක් නොමැති බවය. එසේම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ ඇතැමුන්ගේ සමහර ක්‍රියා තමන්ද අනුමත නොකරන බවත් ඒ පිළිබඳ ඉදිරියේදී අවශ්‍ය ලෙස මැදිහත්වීම් කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
දුමින්ද ඇත්තම කියයි
ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීමෙන් පසුව ශ්‍රීලනිප පාර්ශවයේ අමාත්‍යවරුන්ට තම තමන්ගේ අදහස් දැක්වීමට අවස්ථාව ලබාදී ඇති අතර එහිදී අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කර ඇත්තේ මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත්වීම පොහොට්ටුවේ ජයග්‍රහණයක් ලෙස අර්ථ ගැන්වෙනවා මිස අන් කිසිවක් සිදුනොවන බවය.
එසේම මේ අවස්ථාවේ නිවැරදි තීන්දුවක් ගත්තා වන්නේ ඒ හරහා ජනාධිපතිවරයා ජයග්‍රාහකයෙකු බවට පත්වන්නේ නම් පමණක් බවත් ඒ හැර අනෙක් පරාජිත තීන්දු ගැනීමට එකඟවිය නොහැකි බවද දුමින්ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
කෙසේ වුවත් මේ සම්බන්ධව විවිධ මත ශ්‍රීලනිප අමාත්‍යවරුන් අතරින් මතුව ඇති බවත් එයින් පිරිසක් දැඩි අවධාරණයකින් යුතුව ආණ්ඩුවට එක්විය නොහැකි බව සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වුවත් අවසානයේ ජනාධිපතිවරයා සිය ස්ථාවරත්වය දක්වමින් සඳහන් කර ඇත්තේ තවත් මාස කිහිපයක් මේ ආකාරයට යහපාලන සම්මුති ආණ්ඩුව පවත්වාගෙන යා යුතු බවත් කැබිනට් සංශෝධන සහ ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග හමුවේ තවදුරටත් ආණ්ඩුවේ සිටිය නොහැකි බවට විශ්වාස කරන අයෙකු වේනම් ඒ ඕනෑම අයෙකුට පාර්ලිමේන්තුව තුළ ස්වාධීනවීමේ අයිතියට තමන් ගරු කරන බවය.
පොහොට්ටුව හැදුවේ මැතිවරණ ප්‍රතිඵල පෙන්වා නඩු යට යවන්න
ඒකාබද්ධ විපක්ෂය සූදානම් වුයේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය යොදාගෙන එම පාර්ශවයේ නඩු ලිපිගොනු යටගැසීමට බවත් ජයග්‍රහණයක් තියන බව පවසමින් ජනාධිපතිවරයා සමඟ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඔවුන්ට වෙනත් කිසිඳු අවශ්‍යතාවක් නොතිබූ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරයි.
විමල්ගේ අභියෝගයට ක්ෂණික ප්‍රතිචාර
පාර්ලිමේන්තුවේ අද (19) පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා එම අදහස් දැක්වීම සිදුකල අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ අද දිනයේ විවාදයට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා තමන්ට එරෙහි චෝදනා ඇත්නම් ඔප්පු කරන ලෙස රාජිත අමාත්‍යවරයා වෙත අභියෝග කල බවත් ඒ අභියෝගය ඔප්පු කිරීමට තමන්ට හැකි බවය.
වඳකළ නොහැකි කෘමින් සිටි විමල්ගේ කඩ කාමර
එහිදී බරපතල දුෂණ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවේ විමල් වීරවංශට එරෙහිව රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂයකට අධික රාජ්‍ය දේපල අවභාවිත කිරීම සම්බන්ධව චෝදනා ඉදිරිපත් කර ඇති බවත් විමල් වීරවංශ එදා අමාත්‍යවරයා ලෙස "වඳ කිරීමට නොහැකි කෘමීන් සිටීම" හේතුවක් ලෙස දක්වා සිය හිතවතුන්ට සොච්චම් මුදලට නිවාස සංවර්ධන අධිකාරියේ දේපල පවරා ඇති බව අනාවරණය කර ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
වඳ කළ නොහැකි කෘමින් නිසා ලක්ෂ ගණනක් රජයට පාඩු කිරීමට විමල් වීරවංශ අමාත්‍යවරයෙකු ලෙස සිටිමින් කටයුතු කළා නම් එම කඩකාමර තුළ මීයන් හෝ කැරපොත්තන් නොසිටීම හොඳට ගිය බවද මන්ත්‍රීවරයා පැවසීය.
0 comments :
Post a Comment