අගමැති රනිල්මයි : කැබිනට්‌ සංශෝධනය අඟහරුවාදා.


කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයක්‌ සිදු කරමින් එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය යටතේ ජාතික රජය අඛණ්‌ඩව පවත්වාගෙන යැමට ආණ්‌ඩුව තීරණය කර ඇත.

ඒ අනුව ලබන අඟහරුවාදා (20දා) ජාතික රජයේ කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයක්‌ සිදු කෙරෙන අතර එය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සහ එක්‌සත් ජාතික පක්‌ෂය අතර පවතින අවබෝධතා ගිවිසුම අනුව සිදු කෙරෙන බව සභානායක උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මෙම කැබිනට්‌ සංශෝධනය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පූර්ණ අධීක්‌ෂණය මත සිදු කෙරෙන අතර ශ්‍රීලනිපය හා එජාපය බෙදා වෙන් කරගෙන තිබූ අමාත්‍යාංශවල විෂය පථයන් සුළු වශයෙන් වෙනස්‌ වනු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

ජාතික රජයේ නිල කාලය හරි අඩකින් නිම වන විට කැබිනට්‌ සංශෝධනයක්‌ සිදු කළ යුතු බවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා මීට පෙර තීරණය කර තිබූ බවත් මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව ඒ සඳහා පසුබිම සැකසුණු බවත් ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

අගමැති ධුරයේ වෙනසක් නැහැ - රාජිත

ඊයේ රාත්‍රී අගමැති ප්‍රමුඛ එජාප නියෝජිතයින් හා ජනපතිවරයා අතර පැවති සාකච්ජාව සාර්ථකවී ඇති බවත් ඒ අනුව යහපාලන ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමට එකඟත්වයට පැමිණ ඇති බවත් ඉන්දීය පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබේ.

ඒ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුයේ, අග්‍රාමාත්‍ය තනතුරෙහි කිසිදු වෙනසක් ද සිදු නොවී යහපාලන රජය ඉදිරියටත් පවත්වා ගෙන යන බවයි.

කැබිනට් මණ්ඩල සංශෝධනයෙදී බරපතල වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවට ඇමැතිවරයා ඉඟි කළේය.

අඟහරුවාදා සිදුකෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ආර්ථික ක්ෂේත්‍රයට අදාළ විෂයන් ගණනාවක් ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එජාපය කියන්නේ බොරු - ශ්‍රිලනිප ඇමතිවරයෙක්

අඟහරුවාදා සිදු කෙරෙන කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු  නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කිරීම වෙනුවෙන් අත්සන් කෙරෙන ලේඛන සම්බන්ධයෙන් නිවුස්ටියුබ් කළ විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු පැවසුවේ නිමල් සිරිපාල අගමැති ධුරයට පත් කිරීමට අවශ්‍ය බහුතර මන්ත්‍රි සංඛ්‍යාවක් ලබා ගැනීමට ස්ථිරව හැකි බවයි.

ඒකාබද්ධ විපක්ෂයෙන් මන්ත්‍රිවරුන් 52 දෙනා මෙතෙක් එම ලේඛනයට අත්සන් තබා නැති බවක් පැවසූ ඔහු ශ්‍රිලනිප හා එජාපයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනා ඊට අත්සන් කිරීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂය ඊට අත්සන් තබන බව ද ඔහු සදහන් කළේය. ඒ අනුව නිමල් සිරිපාල මහතා අගමැති කිරීමට මන්ත්‍රීවරුන් 118 කගේ සහය ලැබෙනු ඇතැයි ඔහු අවධානය කර සිටියේය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රචාර එතරම් සැලකිල්ලට නොගන්නැයි ද ඉදිරි පැය 24 තුළ සිදුවන දේ රටටම බලා ගත හැකි වනු ඇතැයි ද ඔහු කියා සිටියේය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment