අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘ටැබ්ලට් පරිගණක ටෙන්ඩර් මගඩිය’ හොරු සමග හෙළුවෙන්

අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘ටැබ්ලට් පරිගණක ටෙන්ඩර් මගඩිය’ හොරු සමග හෙළුවෙන්
 
එනම් මෙහිදී සිදුවී තිබෙන්නේ සැපයුම්කරුවන් විසින් ජනාධිපති අභියාචනා මණ්ඩලයට අභියාචනා යොමු කිරීමෙන් පසුව රුපියල් බිලියන 3.2 කට වැඩි මුදලක් වංචනික ලෙස වැය කරමින් ටෙන්ඩරය ප්‍රදානය කිරීමට සැලසුම් කළ Metropolitan සමාගමට එය පිරිනැමීම වළක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයාට අභියාචන මණ්ඩලය විසින් සෘජු නිර්දේශයක් ලබාදීමයි. 
 
එම නිර්දේශය මගින් දැනුම් දී තිබුණේ අදාළ සැපයුම්කරුවන් 4 දෙනෙකු විසින් ඉදිරිපත් කළ ටෙන්ඩර් සලකා බැලීමේදී ඒවා සියලු කොන්දේසි සපුරා තිබූ  හෙයින්, අවම මිල ගණන් ඉදිරිපත් කළ සමාගමට ටෙන්ඩරය ලබාදීමට කටයුතු කරන ලෙස ය. 
 
කැබිනට් අනුමැතිය එක කොන්දේසියකට පමණයි. 
අනතුරුව එකී තීරණ ක්‍රියාත්මක කිරීමට අකිල විරාජ් ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් සකස් කළේය. එහිදී ඔහු කරුණු 03කට අනුමැතිය ඉල්ලා සිටි අතර කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන්නේ එහි සඳහන් වූ 2වන කරුණ සඳහා පමණි. එනම්, ජනාධිපති අභියාචනා මණ්ඩලයේ නිර්දේශවලට අනුකූලව ඔවුන් විසින් තෝරාගත් සැපයුම්කරුවන් 04 දෙනා අතරින් සුදුසුකම් ලත් සහ අවම මිල ගණන ඉදිරිපත් කළ සැපයුම්කරුට ටෙන්ඩරය ප්‍රදානය කරන ලෙස ය. 
 
ප්‍රතික්ෂේප වූ ටෙන්ඩරයට දෙවන වතාවේ අනුමැතිය 
නමුත් මෙහිදී ලේකම්වරයා කළේ තාක්ෂණික අගැයීම වැරදි ලෙස සිදුකර තිබූ ටෙන්ඩරයකට අදාළව තාක්ෂණික කමිටුව නැවත වරක් කැඳවීමයි. ඉන්පසු ඔවුන් 04 දෙනා අතරින් එක් සැපයුම්කරුවෙකු තෝරාදෙන ලෙසට උපදෙස් ලබාදීම සිදුවිය. මේ වන විටත් ඔවුන් විසින් එක් විශේෂිත සැපයුම්කරුවෙකු එම ටෙන්ඩර් ප්‍රදානය සඳහා කලින්ම තෝරගෙන තිබිණි. එසේම එයට අනුමැතිය ලබාගැනීම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ද ඒ වන විටත් සකසා ඉදිරිපත් කර හමාර ය. 
 
ජයග්‍රාහී ලංසුව, අවම මිලට වඩා රුපියල් බිලියන 1.2ක අධිමිලක්!
විශාලම වංචාව සිදුවන්නේ මෙයින් අනතුරුව ය. එනම් තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් එසේ උපදෙස් ලබාදී තිබියදීත් කරන්නේ පෙර සිදුවීමට ගිය වංචාවට නොදෙවෙනි වංචාවක් සිතාමතාම සහ මනා දැනුවත්භාවයෙන් යුතුව සිදු කිරීමයි. එහිදී ඔවුන් විසින් ජනාධිපති අභියාචනා මණ්ඩලයේ නිර්දේශවලට පටහැණිව ක්‍රියා කරන්නේ අමාත්‍ය අකිල විරාජ්ගේ උවමනාවන් මත මුදලට යට වෙමිනි. ඒ අනුව අදාළ සමාගම් අතරින් තෙවන ස්ථානයට මිල ගණන් සැපයූ, එනම් රුපියල් බිලියන 5.3ක මිලක් ඉදිරිපත් කළ Abans PLC  සමාගමට එම ටෙන්ඩරය පිරිනැමීමට තීරණය කෙරිණි. මෙහිදී අබාන්ස් පීඑල්සී සමාගම විසින් ඉදිරිපත් කළ ලංසුව, අවම මිල ඉදිරිපත් කළ ලංසුවට වඩා රුපියල් බිලියන 1.2 ක අධි මිලකි. 
 
වංචාවට පණ පොවන සූත්‍රය
මේ පිළිබඳ සොයාබැලීමේදී පෙනී යන්නේ එකී තාක්ෂණික නිලධාරී කමිටුව විසින් සිය නිර්දේශ ලබාදුන්නේ මුදලට යට වෙමින් බවයි. ලංසුකරු තෝරාගැනීම  සඳහා ත්‍ක්‍ක්‍ සහතිකය අනිවාර්ය කරුණක් නොවන බවට ජනාධිපති අභියාචනා මණ්ඩලය විසින් පැවසූ කාරණය මෙහිදී ඔවුන් විසින් මුල්කරගෙන ඒ අනුව සිය වංචාවට පණ පෙවීමට ක්‍රියා කර ඇත. 
 
මතුපිටින් පමණක් බැලීම
මෙහිදී ඔවුන් විසින් තවත් බරපතළ වැරැද්දක් සිදු කරයි. එනම්, මෙම තාක්ෂණික කමිටුව මෙහිදී අදාළ අගැයීම් කටයුතු සිදුකර තිබෙන්නේ ටෙන්ඩරයේ සඳහන් තාක්ෂණික පිරිවිතර සහ කොන්දේසිවලට පටහැණිව ය. ඒ අනුව මතුපිටින් පමණක් අදාළ ටැබ්ලට් පරිගණකය දෙස බලා ඔවුන් විසින් අගැයීම් කටයුතු සිදු කර අවසානයේ ටෙන්ඩරය ප්‍රදානය කර තිබේ. 
 
කබරගොයා තලගොයා වෙලා 
එසේම මෙහි ඇති මවිතය දනවන කරුණ වන්නේ මෙකී ටෙන්ඩරය දිනාගත් Abans PLC  සමාගම විසින් යෝජනා කරන ටැබ්ලට් පරිගණකය, එම තාක්ෂණික කමිටුව විසින්ම “අවශ්‍ය සුදුසුකම් සපුරා නැති බව” දන්වමින් මුලින් අගැයීම් වාර්තාවෙන් ප්‍රතික්ෂේප වූ ටැබ්ලට් පරිගණකය වීමයි. එසේ එය මුලින් ප්‍රතික්ෂේප වී තිබුණේ ඔවුන් විසින් ලබාදී තිබූ සාම්පලය සමන්විත වූයේ, ලංසු විවර කරන අවස්ථාවේ කොන්දේසියක්ව පැවති Qualcomm  මොඩියුලය වෙනුවට Intel wi-fi  මොඩියුලය වූ නිසා ය. එසේ නම් එම වැරදි මොඩියුලයක් සහිත ටැබ්ලට් පරිගණකයට දෙවන වතාවේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි වූයේ කෙසේද? එම ටැබ්ලට් පරිගණක සාම්පලයේ තාක්ෂණික පිරිවිතර, කොන්දේසිවලට අනුකූල යැයි ඔවුන් දෙවන වතාවේ තීරණය කරන්නේ කෙසේද? මෙය පැහැදිලිවම ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රසම්පාදන නීති එළිපිට උල්ලංඝනය කරන මහා වංචාවකි.
 
මුදල් අමාත්‍යාංශයෙන් නිසි පිළිතුර
සාමාන්‍යයෙන් මෙවැනි අති විශාල වටිනාකමකින් යුත් ප්‍රසම්පාදන කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය  මණ්ඩලයට යොමුකිරීමට පෙර මුදල් අමාත්‍යාංශයේ නිර්දේශය සඳහා යොමු කළ යුතුය. ඒ අනුව අදාළ කැබිනට් පත්‍රිකාව ද මුදල් අමාත්‍යාංශයේ නිර්දේශය සඳහා යොමු කර තිබිණි. එහිදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු පුළුල් සහ පාරදෘෂ්‍ය ලෙස සිය නිරීක්ෂණය පැහැදිලි නිර්දේශයක් වශයෙන් ලබාදෙති. ඒ අනුව එහි සඳහන් ව තිබුණේ අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මුල පටන්ම විශාල අක්‍රමිකතාවයන් සිදුව ඇති බව ය. තවද, තාක්ෂණික ඇගයීම් කමිටුව විසින්, අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා නැති හෙයින් ඉවත් කර තිබූ සාම්පලයකට දෙවන අවස්ථාවේදී සිය අනුමැතිය ලබාදී තිබෙන බව ය. 
 
මේ අනුව ඇගයීම් වාර්තාවෙන් ඉවත් කර තිබූ සමාගමක් නැවත එම කමිටුව විසින්ම තෝරාගැනීම කිසිසේත් පිළිගත නොහැකි බවත්, මේ ප්‍රසම්පාදනය ඉදිරියට ගෙන යාමට කටයුතු කළහොත් නීතිමය ගැටළු රැසක් ඇති විය හැකි බවටත්, එබැවින් අදාළ ප්‍රසම්පාදනය වහාම අවලංගු කර නැවතත් පැහැදිලි පිරිවිතර සමග නැවත ටෙන්ඩර කැඳවීමක් කරන ලෙසටත් මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිලිව ම නියම කර තිබිණි. 
 
ජරමර මැද - බර කරත්ත
අනතුරුව පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසුව පසුගිය 14 වැනිදා කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවිණි. එම කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා සුපුරුදු පරිදි විවිධ යෝජනා ඉදිරිපත් කර තිබිණි. පෙර කී Abans PLC සමාගමේ ටැබ්ලට් පරිගණකයට අනුමැතිය ලබාගැනීමේ යෝජනාව ද ඒ අතර විය. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, තකහනියේ මෙම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්නේ රටේ පැවති දේශපාලන වාතාවරණය අනුව එවැනි සුවිසාල ප්‍රසම්පාදනයක් පිළිබඳ සාකච්ඡා කිරීමට සුදුසු පසුබිමක් යටතේද යන්න ප්‍රශ්නයකි. අධ්‍යාපන ඇමතිවරයා මේ දේශපාලන ගාලගෝට්ටි මැද හොර රහසේම, ඇඟට පතට නොදැනීම එම කැබිනට් පත්‍රිකාව අනුමත කරගත් බවට තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතියි.  
 
2015 ජනවාරි 8 වැනිදා වත්මන් යහපාලන රජය බලයට පැමිණ මාස 03 ක් වැනි කෙටි කාලයකදී මෙරට ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය වංචාව වශයෙන් සැලකෙන බැඳුම්කර ගනුදෙනුව සිදුවූ බව රහසක් නොවේ. එදා පටන් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට දිගින් දිගටම මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ද එල්ල වූ බව අපි දනිමු. පෙනෙන්නට තිබෙන්නේ උසස් පෙළ සිසුන් ට ටැබ්ලට් පරිගණක ටෙන්ඩරයේ මහා පරිමාණ වංචාව ද ඒ කිල්ලෝටයටම එකතු වූ හුණු ටිකක් බවට පත්ව තිබෙන බව ය. විශ්වාස කෙරෙන්නේ මෙම දූෂිත ගනුදෙනුව හරහා අදාළ බලධාරීන් විසින් රුපියල් මිලියන 3000කට අධික මුදලක් වංචනික ලෙස උපයා ගැනීමට හැකියාව ලබන බව ය. ටැබ්ලට් සෙල්ලම පිළිබඳ මෙම කරුණු දිගින් දිගටම මාධ්‍ය මගින් හෙළිදරව් කිරීම නිසා එල්ල වූ දැඩි පීඩනය හමුවේ එම උත්සාහය තාවකාලිකව ව්‍යාර්ථ වී ගියේය. නමුත් දැන් ඔවුන් නැවත වරක් උත්සාහ කරන්නේ කූට අන්දමින් කටයුතු කරමින් රුපියල් මිලියන 3000 වෙනුවට රුපියල් මිලියන 1200 ක වංචාවකින් සැනසෙන්ට ය. 
 
පරිගණක ඇත-මෘදුකාංග නැත.
එසේම උසස් පෙළ පාසල් සිසුන්ට ටැබ්ලට් පරිගණක ලබාදීම හුදෙක් පටු දේශපාලනික අරමුණක් මුදුන් පමුණුවා ගැනීම සහ මහා පරිමාණ වංචාවක් ඇඟට පතට නොදැනී සිදුකිරීමක් ද යන ප්‍රශ්නය මෙහිදී මතු වන්නේ ටැබ්ලට් පරිගණක ලබාදීමට පෙර පාසල් පද්ධතියේ බොහෝ පහසුකම් වැඩි දියුණු කළ යුතුව තිබෙන නිසා ය. උදාහරණයක් වශයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ ආකාරයට ඉතාම හදිසියේ ටැබ්ලට් පරිගණක ලබාදීමට උත්සුක වුවත් ඒවා යොදාගෙන පාසල්වල සිසුන්ට ඉගැන්වීම් සිදුකිරීමට අවශ්‍ය මෘදුකාංග මෙතෙක් නිපදවා නැත. එසේම ටැබ්ලට් පරිගණක අධ්‍යාපන කටයුතුවලින් බැහැරව, පාසල් දරුවන් නොමග යවන දේ සඳහා යොදාගැනීම වැළැක්වීමට ද කිසිදු වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශයට නැත. 
 
යහපාලන ආණ්ඩුවේ පැවැත්ම අතුරේ යවන මෙම වංචනික ටැබ්ලට් ටෙන්ඩර් ගනුදෙනුව අවසානාත්මක වශයෙන් සිදුකෙරෙන්නට පෙර එය වළක්වා ගැනීම මේ සඳහා වගකිව යුතු බලධාරීන් සියලුම දෙනාගේ වගකීමක් මෙන්ම යුතුකමක් ද වේ. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment