
මෙම පොත ලිවීමට හේතුව වශයෙන් මයිකල් වුල්ෆ් මෙසේ පවසයි. ‘‘2017 ජනවාරි 20 වැනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පදවි ප්‍රාප්තියත් සමග ඇමරිකා එක්සත් ජනපදය, අඩුම තරමේ වෝටර්ගේට් සිද්ධියෙන් පසුව ඇතිවූ ඇමරිකානු ඉතිහාසයේ අසාමාන්‍යම දේශපාලන කුණාටුවේ කේන්ද්‍රය (කුණාටුවේ ඇස) වෙත ප්‍රවේශ වුණා...“
ඇමරිකානු මාධ්‍යවේදියෙකු වන මයිකල් වුල්ෆ්, මෙම පොත ලිවීමට මුලින් අදහස් කළේ ට්‍රම්ප්ගේ පළමු දින 100 සම්බන්ධයෙන් පමණි. නමුත් පදවි ප්‍රාප්තියෙන් දින 200 ඉක්ම යන විට ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ සිදුවන අස්වාභාවික දේ ඔහුට පෙනෙන්නට පටන් ගත්තේය. ජූලි මාසය අග හරියේදී ධවල මන්දිරය සඳහා ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත් කළේ විශ්‍රාමලත් ජනරාල්වරයෙකු වන ජෝන් කෙලී ය. එයට සති තුනකට පසු ට්‍රම්ප්ගේ ප්‍රධාන ක්‍රමෝපායවේදියා වූ ස්ටීවන් කේ. බැනන් ව ඉවත් කරනු ලැබිණි. කතුවර මයිකල් වුල්ෆ් මේ පොතට පාදක කරගන්නා සිදුවීම්, මාස 18 ක කාලපරිච්ඡේදයකට අදාළ ව සිදුකරනු ලබන සම්මුඛ සාකච්ඡා වේ. එහිදී ඔහු ජනපති ට්‍රම්ප් සමග කතා බස් කර ඇත. ධවල මන්දිරයේ ජ්‍යේෂ්ඨ සේවකයන්ගෙන් බහුතරය සමග කතාබස් කර ඇත. ඇතැම් සේවකයෙන් ඔහු සමග දොළොස් වතාවකට වඩා එසේ කතා කළ බව ද මයිකල් වුල්ෆ් කියයි. එසේම ඔහු විසින් මේ පොත සඳහා කරුණු රැස්කිරීම ආරම්භ කර තිබෙන්නේ ට්‍රම්ප් ධවල මන්දිරයට යනු ඇතැයි ඔහු පවා විශ්වාස නොකළ සමයක බව ද ඔහු කියයි. එනම් ට්‍රම්ප් සමග පළමු සංවාදය ඔහු සිදුකර තිබෙන්නේ 2016 මැයි මාසයේදී බෙවර්ලි හිල්ස් හි පිහිටා තිබෙන ට්‍රම්ප් නිවසේදී ය. ට්‍රම්ප් සතුටින් යුතුව මේ අවස්ථාවේදී මයිකල් වුල්ෆ් සමග කතා කර ඇති අතර, සංවාදය කෙරෙමින් තිබෙන අතරවාරයේ ට්‍රම්ප්ගේ සමීපතම ආධාරකරුවන් වශයෙන් සැලකුණු හෝප් හික්ස්, කොරී ලිවනොදාව්ස්කි සහ බෑණා වන ජරෙඩ් කුෂ්නර් විටින් විට ඔවුන් දෙදෙනා සිටි කාමරයට යෑම් ඊම් කළ බව ද මයිකල් වුල්ෆ් කියයි.
ක්ලේව්ලන්ඩ්හි රිපබ්ලිකන් ජාතික සම්මේලනය පැවැත්වෙන කාලවකවානුවේ දී ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවූ කණ්ඩායම සමග සමීප සබඳතාවක් ගෙන යාමට කතුවරයා සමත් විය. ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාසයක් ඒ වන විට ද පැවතියේ නැත. අවසානයේ ‘වාචාලයෙකු‘ නොහොත් ‘මුඛරියෙකු‘ ලෙස ප්‍රකටව සිටි ස්ටීව් බැනන් කණ්ඩායම වෙත කැඳවිණි. ජනාධිපතිවරණයට පෙර ට්‍රම්ප්ගේ ඇතුළු කවය විසින් පවා ඔහුව කැඳවීම දැක ඇත්තේ අසීරු විනෝදයක් සපයන්නෙකු කැඳවීමක් ලෙස ය. නමුත් ජනපතිවරණය ජය ගැනීමෙන් පසුව ස්ටීව් බැනන් සැලකුම් ලැබුවේ විස්මකර්මයෙකු ලෙස යැයි ද වුල්ෆ් කියයි.
ජනවාරි 20 වැනි දිනට යෙදී තිබූ පදවි ප්‍රාප්තියෙන් පසු ද වුල්ෆ් ට්‍රම්ප් හමුවෙයි. එම හමුව සිදුවන්නේ වෙස්ට් වින්ග් හිදී ය. නමුත් ඒ වන විට ට්‍රම්ප් විසින් ජනමාධ්‍යයට එරෙහිව සතුරුකාරී-විවෘත යුද්ධයක් ප්‍රකාශයට පත් කර තිබිණි. නමුත් සිය මාධ්‍ය ජීවිතය තුළ සම්මුඛ සාකච්ඡා 200කට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබූ මාධ්‍යවේදියෙකු වන මයිකල් වුල්ෆ් හට එම ප්‍රවේශය ලබාගැනීම අපහසු වූයේ නැත.
බැනන් සහ ඒල්ස්
සන්ධ්‍යාව ආරම්භ වුණේ සවස හයයි තිහට. නමුත් හදිසියේම ලෝකයේ බලවත්ම පුද්ගලයන් අතරින් කෙනෙක් බවට පත්වෙලා හිටිය ස්ටීව් බැනන් මේ වෙද්දි කාලය ගැන එතරම් තැකීමක් නොකරන කෙනෙක් බවට පත්වෙලා. ඔහු ප්‍රමාද වුණා. මේ කුඩා රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කරල තිබුණෙ ග්‍රිනිච් විලේජ් කියන නගරයෙ සිටින ඔහුගෙ මිතුරන් විසින්, රොජර් ඒල්ස් ව පිළිගන්න. රොජර් ඒල්ස් තමයි හිටපු ෆොක්ස් නිව්ස් ප්‍රධානියා. ඒ වගේම කාලයක් ස්ටීව් බැනන්ගේ ගුරුවරයෙක්. ඒ වගේම රොජර් ඒල්ස් තමයි, ඇමරිකාවෙ දක්ෂිණාංශික මාධ්‍යය තුළ සුවිශේෂීම චරිතය. ඊළඟ දවස, ඒ කියන්නෙ 2017 ජනවාරි 4 වැනිදා වෙද්දි ඔහුගෙ මිත්‍රයා, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවෙ හතළිස් පස්වැනි ජනාධිපතිරයා විදිහට පදවි ප්‍රාප්ත වෙන්න තියෙන්නෙ තව සති තුනකටත් අඩු කාලයක්. හරි නම් ඒල්ස් ඉදිරි වැඩ කටයුතු සඳහා පාම් බීච් වෙත යන්න ඕනෙ. නමුත් ඔහු තාවකාලික ව විශ්‍රාම යන්න බලාපොරොත්තුවෙන් හිටියා. එළියෙ තර්ජනාත්මක හිම වැස්සක්. රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වෙන එකක් නැහැ කියලත් මොහොතකට හිතෙනවා. 76 හැවිරිදි ඒල්ස් අවුරුදු ගණනාවක ඉඳන් පාදයේ සහ උකුළේ ආබාධ තත්වයකින් පෙළෙන කෙනෙක්. ඔහු ඇවිද්දෙ අමාරුවෙන්. හඩ්සන්වල තිබුණු ඉහළ පැළැන්තියෙ ගෙදර ඉඳන් තමන්ගෙ බිරිඳ බෙත් සමග ලිස්සනසුලු මාවත් ඔස්සේ ඔහු මැන්හැටන් බලා එමින් හිටියා. කොහොම වුණත් ඒල්ස් හිටියෙ ස්ටීව් බැනන් ව මුණ ගැහෙන්න ඉතාම කැමැත්තෙන්. බැනන්ගෙ හිතවතියක් වුණු ඇලෙක්සැන්ඩ්‍රා ප්‍රීට්, ට්‍රම්ප් ටවර් එකේ බැනන් කරන කියන දේවල් උපුටා දක්වමින් ඒල්ස්ව කෙටි පණිවුඩවලින් නොකවඩා දැනුවත් කළා.
මේ කුඩා කණ්ඩායම බැනන් එන තෙක් මග බලා හිටියත්, මේක ඒල්ස්ගේ සන්ධ්‍යාව. තමන්ගෙ පැරණි මිත්‍රයා, ට්‍රම්ප්ගෙ ජයග්‍රහණය නිසා බොහෝ අය වගේ බිරන්තට්ටු වෙලා හිටියත්, අහඹු ලෙස සිද්ධ වෙන මේ වගේ අතාත්වික දේශපාලනික දේවල්වලට ඒල්ස් සහභාගි වෙනවා. 1996 අවුරුද්දෙ ෆොක්ස් නිව්ස් පටන් ගන්න කලින් අවුරුදු 30ක්ම ඔහු රිපබ්ලිකන් පක්ෂයෙ ප්‍රධාන දේශපාලන ක්‍රියාන්විතවල නියැළිලා හිටියා. ඒ නිසා මේ මැතිවරණයෙ ප්‍රතිඵලයෙන් පුදුමයට පත් වෙලා හිටියත්, නික්සන්ගෙන් පටන් අරන් ට්‍රම්ප් දක්වා සරල රේඛාවක් වගේ ඇමරිකානු දේශපාලනය යා කරන්න ඔහුට පුළුවන් කම තිබුණා. නමුත් එසේ සිද්ධ වීම විශ්වාස කරන්න ඔහු තවමත් මැලි වෙනවා. අනෙක් හැම කෙනෙක්ම තරමටම ඔහුත් ට්‍රම්ප් ගැන දැනගෙන හිටියා. ට්‍රම්ප්ට ආධාර කරන්න කැමැත්තෙන් පසුවුණා. ඒ වගේම දක්ෂිණාංශික මාධ්‍ය සෙල්ලම වෙත නැවත යන්නටත් ඔහුට පුළුවන්කම ලැබුණා. අලුත් කේබල් නෙට්වර්ක් එකක් ආරම්භ කිරීමට අවශ්‍ය බිලියන ගණනක් වන ඩොලර් ලැබෙන මාර්ග කිහිපයක්ම ඔහු බොහොම ජවසම්පන්න විදිහට විස්තර කළා. ඒල්ස් සහ බැනන් දෙපළම ඉතිහාසයෙන් ප්‍රමුදිත වන අය. ඔවුන් දෙදෙනාම සාර්වත්‍ර සිද්ධාන්ත ගැන ස්වයං ශික්ෂාපද කියන අය. ඔවුන් ජනකාන්ත විදිහට මේ කාරණය දුටුවා. ට්‍රම්ප් සමග වගේම ඉතිහාසය සමගත් ඔවුන් ට පෞද්ගලික සම්බන්ධතා තිබුණා. නමුත් ඒල්ස් එක දෙයක් තේරුම් අරගෙන තිබුණා. එය තමයි, තමන් එක මොහොතකට හෝ බැනන් අතට දක්ෂිණාංශික හුළුඅත්ත ලබාදෙන බව. ඒ හුළුඅත්ත, එහෙමත් නැතිනම් පන්දම, උත්ප්‍රාසයෙන් දීප්තිමත් ව දැල්වෙන එකක්. වාර්ෂිකව ඩොලර් බිලියන 1.5 ක් ලාභ ලබන ඒල්ස්ගෙ ෆොක්ස් නිව්ස්, දශක දෙකක් මුළුල්ලේ රිපබ්ලිකන් දේශපාලනයේ ප්‍රමුඛ භූමිකාවක් රඟපෑවා. ඊට සාපේක්ෂව බැනන්ගේ බ්‍රීට්බාට් නිව්ස් ලාභ ලැබුවේ වර්ෂයකට ඩොලර් මිලියන 1.5 ක් විතරයි. නමුත් ඔහු දැන් ඒ තැන ඉල්ලා සිටිනවා. කොන්සවේටිව් දේශපාලනයේ බලවත්ම තනි පුද්ගලයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වෙන තාක්කල්, ඒල්ස් තිස් අවුරුද්දක් තිස්සේ ගොඩනගා ගත් ස්ථාවරයක් තිබුණා. ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ට උත්ප්‍රාසයෙන් සැලකුවා. නමුත් අවසානයේ බැනන් සහ බ්‍රීට්බාට් නිව්ස් ඒ තැන ආක්‍රමණය කරමින් හිටියා. මාස හයකට කලින්, ඒ කියන්නෙ ට්‍රම්ප්ගෙ ජයග්‍රහණය වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කියල පෙනෙමින් තිබියදීත්, ඒ වෙද්දි ලිංගික හිංසනයක් සඳහා චෝදනා ලබා හිටිය ඒල්ස් ට ෆොක්ස් නිව්ස්වලින් ලැබෙන සැලකීම්වල අඩුවක් වුණේ නැහැ. ඇත්තෙන්ම ඔහුට විශේෂ පිළිගැනීමක් තිබුණා. එය ෆොක්ස් නිව්ස් කොටස් හිමිකරුවෙක් වගේම යුගයේ බලවත්ම මාධ්‍ය හිමිකරුවා වන, වයස අවුරුදු 85 ක් වන කන්සවේටිව් රූපට් මර්ඩොක්ගෙ ලිබරල් පුතුන්ගෙ මැදිහත්වීමෙන් සිද්ධ වුණු දෙයක්.
ඒල්ස්ගෙ කඩා වැටීම ලිබරල්වාදීන්ට ‘සමරන්නට හේතුවක් වුණා. නූතන දේශපාලනයට හිටිය විශාලතම ‘අති-පැරණි‘ හෙවත් කොන්සවේටිව් හිරිහැරය අලුත් සමාජ මතයක් නිසා ඇද වැටී තිබුණා. එයින් මාස තුනකට පසුව අපචාරී හැසිරිම්වලින් යුතු බව පෙනෙන ට්‍රම්ප්, ඡන්දයෙන් තේරී පත්වුණු ජනාධිපති බවට පත්වුණා.
෴෴෴
ඒල්ස් ට්‍රම්ප් ගැන තෘප්තිමත් හඬින් බොහෝ දේවල් පැවසුවා. ට්‍රම්ප්ගෙ අලෙවි ශාස්ත්‍රයේ දක්ෂතාවය, ඔහු ගැන ගොසිප් වගේ බොහෝ දේවල්. ඔහු ට්‍රම්ප්ගෙ මහජන වෙළඳපොළ ගැන තිබෙන සය වැනි සංවේදනය ගැන මහ ඉහළින් කතා කළා. අඩුම ගාණෙ එය දිනාගැනීමට ට්‍රම්ප් කරන අපරික්ෂාකාරී, එනමුත් නිර්දය සහ පරාජය කළ නොහැකි උත්සාහයන් ගැන කතා කළා. ට්‍රම්ප්ගෙ ‘ගේම් එකට‘ ඔහු කැමත්තෙන් හිටියා. ට්‍රම්ප්ගේ ලැජ්ජාවිරහිත කම සහ ට්‍රම්පියානු බලපෑමට ඔහු ප්‍රිය කළා. හිලරි ක්ලින්ටන් සමග සිදුකළ පළවෙනි විවාදයෙන් පසුව ඒල්ස් තමන්ගෙ මිතුරෙක් සමග කියා තිබුණෙ ‘‘ට්‍රම්ප් ලේසියෙන්ම ඉස්සරහට යනවා‘‘ කියලයි. ‘‘ඩොනල්ඩ්ගෙ ඔළුවට ගැහුවත් එයා දිගටම යනවා. අඩුම ගානෙ තමන්ට ගැහුව කියලවත් ඔහු දැනගන්නෙ නෑ.“ නමුත් ට්‍රම්ප්ට දේශපාලනික විශ්වාසයක් හෝ කොන්දක් නැති බව ඒල්ස්ට පිළිගන්න සිද්ධ වුණා. ෆොක්ස් නිව්ස් නාලිකාවෙ කෝපාවිෂ්ට තැනැත්තාගෙ භූමිකාව ට්‍රම්ප් හිමිකරගත්තේ අප ජීවත් වන්නේ උඩු යටිකුරු වූ ලෝකයක බවට තවත් ඉඟියක් ලබාදෙමින්. වෙනත් කෙනෙකුට කෙරුව විහිළුව ඒල්ස් හිතුවෙ තමන්ට කළ විහිළුවක් ලෙසයි. දශක ගණනාවක් මුළුල්ලේ පසුකළ දීර්ඝ රැකියා කාලය තුළ ඔහු හැම ජාතියකම, හැම විදිහයකම අසාමාන්‍ය, අතාත්වික, කෑදර සහ මේනියාකාර දේශපාලකයන් දැක තිබෙනවා. දේශපාලනමය ගලායාම් සක්‍රිය කරවන ඔහු වගේ අය, එහෙමත් නැතිනම් මේ මොහොත් බැනන් වගේ අය මෙවැනි හැම වර්ගයකම අය සමග වැඩ කර තිබෙනවා. දේශපාලකයන් කියන්නේ සංකීර්ණ සංවිධානාත්මක පරිශ්‍රමයක පෙර ගමන්කරුවන්. නමුත් ට්‍රම්ප් එබඳු කෙනෙක් නොවන බව ඒල්ස්ට හොඳටම ඒත්තු ගියා. ට්‍රම්ප්ට විනයක් තිබුණෙ නෑ. කිසිම දේශපාලන සෙල්ලමක් සැලසුම් කරන්න ඔහුට හැකියා පරාසයක් තිබුණෙ නැහැ. කිසිම සංවිධානයක කොටසක් වෙන්න ඔහුට හැකි වුණේ නැහැ. ඒ වගේම කිසිම වැඩසටහනක් හෝ ප්‍රතිපත්තියකට දායකත්වය ලබාදෙන්නත් ඔහුට පුළුවන් වුණේ නැහැ. ඒල්ස්ගෙ දැක්මට අනුව ට්‍රම්ප් කියන්නෙ, ‘‘අරමුණක් නැති කැරළිකරුවෙක්‘. ඔහු නිකම්ම නිකං ‘ඩොනල්ඩ්‘ කෙනෙක්.
අගෝස්තු මාසයෙ, ඒ කියන්නෙ ඒල්ස් ව ෆොක්ස් නිව්ස්වලින් දොට්ට දැමීමෙන් මාසයකට පස්සෙ ට්‍රම්ප් තමන්ගෙ පැරණි මිත්‍රයට කතා කළා. ඒ, තමන්ගෙ විපත්තිදායක ඡන්ද ව්‍යාපාරය මෙහෙයවල දෙන්න කියන්නයි. අවවාද පිළිගන්න හෝ ඇහුම්කන් දෙන්න ට්‍රම්ප්ගෙ තිබෙන නොකැමැත්ත දන්නා ඒල්ස් ඒ ඉල්ලීම ඉවත දැමුවා. බැනන් සතියකට පස්සෙ භාර ගත්තෙ ඒ රස්සාව. ට්‍රම්ප්ගෙ ජයග්‍රහණයෙන් පසුව සිය මිත්‍රයගෙ ඡන්ද කැම්පේන් එක භාර නොගැනීම නිසා විශාල අවස්ථාවක් අහිමි වුණා ද යන සිතිවිල්ල ඔහු වෙත තිබුණා. ට්‍රම්ප්ගෙ නැගීම, ඒල්ස් සහ ෆොක්ස් නිව්ස් විසින් නියෝජනය කළ බොහෝ දේවල්වලට ලබාගත නොහැකි වූ ජයග්‍රහණයක් බව ඒල්ස් අවබෝධ කර ගත්තා. සියල්ලටම පසුව, ට්‍රම්ප්ව කෝපාන්විත පුද්ගලයෙකු බවට පත් කිරීම සම්බන්ධයෙන් වැඩිවශයෙන්ම වගකිව යුතු පුද්ගලයා ඒල්ස් විය හැකියි. ට්‍රම්ප් චරිතය ගැන උද්දාමයට පත්වුණු දක්ෂිණාංශික මාධ්‍යයක් ඔහු විසින් නව සොයා ගැනීමක් වශයෙන් සිදුකර තිබුණා. ට්‍රම්ප් විසින් නිතර නිතර අඬ ගසන මිතුරන් සහ උපදේශකයන්ගේ කවයේ සාමාජිකයෙක් බවට ඒල්ස් පත්වුණා. ඔහුට අවශ්‍ය වුණේ බෙත් සමග පාම් බීච්වලට ගිය පසුව නව ජනාධිපතිවරයා සමග වැඩි කාලයක් ගත කරන්නටයි. ට්‍රම්ප්, ඒල්ස්ගෙ නව නිවසට නුදුරින් තිබුණු මාර්-අ-ලාගෝ වෙත නිතර නිතර යන බව ඒල්ස් දැනගෙන සිටියා. දේශපාලනයේදී ජයග්‍රහණය විසින් හැම දෙයක්ම වෙනස් කරන බව දැන සිටියත්, තමන්ගෙ මිත්‍රයා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයෙ අලුත් ජනාධිපතිවරයා කියන විය නොහැකි සහ විස්මයජනක කාරණයෙන් ඔළුව නිදහස් කරගන්න ඒල්ස්ට තවමත් හැකි වුණේ නැහැ.
මතු සම්බන්ධයි.
සිංහල අනුවාදය - රදිකා ගුණරත්න
0 comments :
Post a Comment