යහපාලනය දැන් බෝඩ් ලෑල්ලක් විතරයි - මුජිබුර් රහුමාන්

යහපාලනය දැන් බෝඩ් ලෑල්ලක් විතරයි - මුජිබුර් රහුමාන්
රාජපක්ෂ ගෙදර යවා යහපාලනය බලයට ගෙනෙන්නට බලපෑ ප්‍රධාන කාරණාවකි, සංහිඳියාව. එහෙත් අද දවස වන විට යහපනයද ඊට අසමත් වී ඇති බව තහවුරු වී තිබේ. කළ යුත්ත පසෙක තබා වට වන්දනාවේ යද්දී මෙවන් දේ වැළැක්විය නොහැකිය. බහු ජාතික, බහු ආගමික නිදහස අගයන රටක් ලෙස එය ප්‍රයෝගිකව අත්විඳිය හැකි විය යුතුය. එසේ නොවන පසුබිමක නිර්මාණය වන්නේ සතුරුකම් පමණි. ශේෂ වන්නේ වේදනාවන් පමණි.
 
නැවතත් එවන් පරිසරයක්  නිර්මාණය නොවීමට ප්‍රමාද වී හෝ මැදිහත් විය යුතුය. දේශපාලන අවස්ථාවාදීත්වය නොව සැබෑ ලෙසම ජාතිවාදය,ආගම්වාදය පිටුදැකිය යුතුය. දේශප්‍රේමී තක්කඩින් හෙළිදරව් කර ගත යුතුය. 
 
දැන් එම දේශපාලන අවස්ථාවාදීත්වය විවෘත සමාජය තුළ අභියෝගයට ලක් වෙමින් තිබේ. ආණ්ඩුව තුළින්ම ආණ්ඩුවට එරෙහිව මතවාදය නිර්මාණය වෙමින් තිබේ. ඒ, හුදෙක් දැන් හෝ වැරදි නිවැරදි කර ගැනීම වෙනුවෙනි. 
 
මෙකී කාරණා සමඟ මේ මොහොතේ කතා කළ යුතු හොඳම දේශපාලනඥයෙකු සමඟ අපි සම්මුඛ වූයෙමු. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාය. ආණ්ඩුව තුළ සිටිමින් ජාතික සමඟිය, සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් දැඩි වෙහෙසක් ගත් අයෙක් ලෙස ඔහු අදටත් අවධාරණයෙන් කියන්නේ දැන් හෝ යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක්, බලාපොරොත්තුවක් වූ ජාතිවාදය, ආගම්වාදය පිටුදැකීම වෙනුවෙන් වූ මාර්ගයට පිවිසිය යුතු බවයි. 

 

සංහිඳියාව ගොඩනගන්න ආණ්ඩුව අසමත් වුණා.
 
එක්සත් ජාතික පක්ෂය ලිබරල් පක්ෂයක් ලෙස ජාතික ප්‍රශ්නය පිළිබඳව නිරන්තර සංවාදයක සිටියද අද ඔවුන් ද ජාතිවාදය,ආගම්වාදය පරාජය කිරීමට අපොහොසත්ව සිටියි. අන්තවාදී ක්‍රියා කලාපයන් පිළිබඳව සොයා බලා ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් කර පැවතියද ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු කර නැති බව දැන් අනාවරණ වෙමින් තිබේ. 
 
මුජිබුර් රහුමාන් මහතා ප්‍රකාශ කරන පරිදි අනතුරක සේයාව රට කරන නායකයන්ට සංවේදී වී නැත. 

 
මගේම පැමිණිලි පහ හයක් තිබුණා. කිසිකෙනෙක් සැලකිල්ලක් දැක්වුවේ නැහැ 
 
"සංහිඳියා කාර්යාංශයක් තියෙනවා. ජනාධිපතිවරයා යටතේත් තියෙනවා.හිටපු ජනාධිපතිනිය යටතේත් කාර්යාංශයක් තියෙනවා. මේ සියල්ල තියෙද්දී තමයි මහනුවර සිද්ධිය වුණේ. ජාතිවාදීන් කරන දේවල් මේ අයට තේරුණේ නැද්ද? ඔවුන් යටින් ගිනි තියාගෙන යනවා කියලා තේරුණේ නැද්ද? දැනුණේ නැද්ද? අමිත් වීරසිංහගේ කාර්යාලය අද ඊයේ ආපු එකක් නෙවෙයි. අවුරුදු තුන හතරක් තිස්සේ ඒ ප්‍රදේශයේ මේ කාර්යාලය තිබුණා. .................එක පැත්තකින් ආණ්ඩුවක් හැටියට සංහිඳියාව පිළිබඳ කතා කරන ගමන් අනිත් පැත්තෙන් ජාතිවාදීන්ට ඉඩදීලා තිබුණා උඹලා ඕන දෙයක් කරපල්ලා කියලා. එකේ ප්‍රතිපලය තමයි මේ අත්වුණ විනාශය."  
 

මෙහෙම ආණ්ඩු ගෙනියන්න බැහැ 
 
ආරක්ෂක අංශ වලින් විශේෂයෙන් පොලීසිය මඟින් යම් අතපසුවීමක් හෝ නොසලකා හැරීමක් සිදුව ඇත්නම් ඊටද අවසාන වශයෙන් රජය වගකිව යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. පොලීසිය හමුදාව ක්‍රියාත්මක වන්නේ රජය පවසන අන්දමට වන හෙයින් ඔවුන් නිසි පරිදි මෙහෙයවීමට රජයට හැකිවිය යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරයි. කෙසේවෙතත් වරද සිදුව ඇත්තේ කොතනින්ද යන්න නිශ්චිත වශයෙන් අනාවරණ කරගත යුතු බවයි රහුමාන් මහතා පෙන්වාදෙන්නේ.
 

යහපාලනේ හදන්න ජන්දේ දීපු මිනිස්සු බේරගන්න අපිට බැරි වුණා
 
කෙසේ වෙතත් දැන් යහපාලනය පිළිබඳව ප්‍රශ්නයක් ඇති බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි. රාජපක්ෂ පාලනය තුළ මරණය අත දරාගෙන කටයුතු කර යහපාලන ආණ්ඩුව බලයට පත් කළද එදා තීරණය කරගත් න්‍යාය පත්‍රය පසෙක දමා වෙනත් න්‍යාය පත්‍ර තුළ  අද ගමන් කරමින් සිටින බව රහුමාන් මහතා කියා සිටියි.  අද එය ශේෂ කර ඇත්තේ කණගාටුව පමණක් බව ඔහු ප්‍රකාශ කරයි. 
 
ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment