නුවර එලිය පාර්ට් 2 : ඩඩ්ලි සිරිසේනගෙන් උණවටුන වනසා හෝටලයක්.


මේ වන විට ගාල්ල උණවටුන ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මහාපරිමාණ හෝටල් ව්‍යාපෘතියක් හේතුවෙන් ඇතිවී ඇති පාරිසරික ගැටලු ඇතුළු තවත් ගැටලු රැසක්  පිළිබඳව වාර්තාවේ.

ඉදිකිරීම් සම්බන්ධ අණපනත් නොතකා නීතිරීති මඟහරිමින් පාරිසරික නීතිරීති ද උල්ලංඝනය කරමින් සිදු කරන මෙම හෝටල් ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ඩඩ්ලි සේනානායක මහතාට අයත් වූවකි. කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සේනානායක මහතා පසුගිය වසරේ ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹ ඩොලර් මිලියන 17.12 ක් ආයෝජනය කර තට්ටු 14කින් සහ කාමර 250 කින් යුතු තරු පංතියේ  හෝටලය ඉදිකරමින් සිටී. 

නීති නොතකා හෝටලය ඉදිවෙයි

අති සුන්දර සංචාරක ප්‍රදේශයක් වන උණවටුනේ ජනතාව 99% ක් සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නිරතවේ. මේ ප්‍රදේශයේ වෙනත් හෝටල් ඉදිකළද ඔවුන්ට ක්‍රියාත්මක වූ නීති රීති මේ හෝටලය සඳහා අදාළ වී නොමැති බව ප්‍රදේශවාසීන් පවසයි.

මීටර් 15 කට වඩා උස සෑම ගොඩනැඟිල්ලක්ම අධි උසැති ගොඩනැඟිලි ලෙස සලකන අතර ඒවා ඉදිකිරීමට අවසර ඇත්තේ පළලින් මීටර් 12 කට නොඅඩු භූමියකට යාබදවය. නමුත් මෙම හෝටලය පිහිටි භූමියට පිවිසෙන මාර්ගය මීටර් 3.05 ක යැයි හබරාදූව ප්‍රාදේශීය සභාවට අයත් මාර්ග පිළිබඳව සඳහන් ගැසට් පත්‍රයේ දැක්වේ. තවද පසුගිය කාලයේ මෙතරම් උසැති ගොඩනැඟිලි සඳහා අනුමැතිය ලැබී නොමැති අතර තට්ටු 14 කින් යුත් මෙම ගොඩනැඟිල්ලේ තට්ටු 9 ක් මේ වන විටත් ඉදිකර අවසන්ය. 

පටු මාවතකින් මෙම ඉදිකිරීමට අදාළ අමුද්‍රව්‍ය ප්‍රවාහනය නිසා මෙම ප්‍රදේශයේ ජනතාව මෙන්ම සංචාරකයන්ද දැඩි අපහසුතාවකට ලක්ව සිටී. විශේෂයෙන් රාත්‍රී 10 න් පසුව ප්‍රවාහන කටයුතු ඇරඹෙන බැවින් පාඩුවේ නිදා ගැනීමටවත් නොහැකි බව ඔවුන් පවසයි. තවද සංචාරකයන් ඒ කාලයේ එළියට බැස නිදහසේ ඇවිදීමට පුරුදුවී සිටින අතර මෙය ඔවුන්ටද බාධාවක් වී ඇත. බර වාහන ගමනාගමනාය එම මාර්ගයේ තහනම් කොට තිබියදීත් මෙසේ ගමන් කිරීම නිසා පසුගිය කාලයේ ගැටුම් පවා ඇති විය.

ජල විදුලියත් කපලා හෝටලේට දෙනවා

මෙහිදී ජනතාවට සිදුවන තවත් අසාධාරණයක් වන්නේ උදේ 6 සිට සවස 5 දක්වා ජල කප්පාදුවක් සිදුකීරීමයි. එමෙන්ම ඇතැම් දිනවල විදුලියද මේ ආකාරයෙන් කප්පාදු කරන බවත් ඒවා මෙම ව්‍යාපෘතියට සපයන බවත් ඔවුන් පවසයි. සංචාරක කර්මාන්තයේ "පීක් සීසන්" එක වන ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයේ මෙසේ  ජල විදුලිය කප්පාදු කිරීම සංචාරක කර්මාන්තයට දැඩිව බලපෑම් ඇති කරන බව ප්‍රදේශවාසීන් කියා සිටී. මේ සියල්ල ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව සිදුවන බවද ඔවුන් පවසයි. 

මෙම හෝටලයේ කුණු කසල බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක්ද නොමැති අතර ඒවා මුහුදු තීරයට හෝ අසල පිහිටි ඕලන්ද ඇළට ගලායාමට සැලැස්වුවහොත් තත්ත්වය වඩාත් නරක අතට හැරීමට ඉඩ ඇත. කෙසේ වෙතත් කුණු කසල ඕලන්ද ඇළට හරවා ඇළ වෙනත් පෙදෙසකට හරවා හෝ මෙම ව්‍යාපෘතියට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවද වාර්තාවේ. 

අවසර දුන් ආයතන බෝලේ පාස් කරයි

මේ හෝටල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් ඇගයීම සිදුකරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන ආයතනය අවසර ලබා දුන්නේ කෙසේද යන්න විමසා බැලීම වැදගත් වේ. මේ පිළිබඳව කළ විමසීමකදී අදහස් දැක්වූ   වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බී. කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ අදාළ අනෙකුත් සියලු ආයතනවලට හෝටලය ඉදිකිරීමේ ඉල්ලීම යොමුකොට ඔවුන්ගේ අදහස්වලට අනුව අනුමැතිය ලබාදුන් බවයි. කෙසේ වෙතත් අපජලය ඕලන්ද ඇළට බැහැර කරන බවද ඔහු එහිදී කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂක සුසන්ත වෙදගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තම ආයතනය මීට අවසර ලබා නොදුන් බවත් එය කළේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුව බවත්ය.

රාජ්‍ය ආයතනවල නීති රීති වෙනස් කරන අදාළ පාරිසරික බලපෑම් අගයන ආයතනය ඇත්තේද ජනාධිපතිවරයා යටතේය. 

මට මේ ගැන ලොකුවට කියන්න දෙයක් නෑ - ඩඩ්ලි

මේ සම්බන්ධයෙන් ඩඩ්ලි සිරිසේන මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කියා සිටියේය.

"මේවාට විරුද්ධ මිනිස්සු කීපදෙනෙක් කොහොමත් ඉන්නවා. නමුත් මුහුදු තීරයේ අපේ හෝටලය ඉදි වුණාට පස්සේ ලැබෙන ප්‍රතිලාභය පිළිබඳව සිතන කොටසකුත් සිටිනවා.මේක මම රජයේ අවසරය ගෙන කරන ඉදිකිරීමක්. ඒ සම්බන්ධව මට මීට වඩා කියන්න දෙයක් නෑ". 

මේවාගේ නීති රීති පිළිබඳව කතා කිරීමට අකමැත්ත පල කළ ඔහු තමන් නීති උල්ලංඝණය නොකළ බවත් රටේ අනෙක් ප්‍රශ්න ගැන හොයාබලා ඒවා ලියන ලෙසත් අප මූලාශ්‍ර කොටගත් 'රාවය" පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

පසුගියදා ඩඩ්ලි සිරිසේන මහතා නුවරඑළියේද විශාල පරිසර හානියක් සිදුකරමින් සංචාරක හෝටලයක් ඉදිකළේය.

මූලාශ්‍රය - රාවය පුවත්පත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget