යන්න පාරක් නැතිව දුක් විඳින තිස්සපුර ජනතාව

යන්න පාරක් නැතිව දුක් විඳින තිස්සපුර ජනතාව
දේශපාලකයෝ ඡන්ද කාලෙට විතරයි
 
මාර්ගයේ දුෂ්කරතාවය පිළිබඳ අදහස් දැක්වූ ප‍්‍රදේශවාසීන් වන ඩී. එම්. සීතා කුමාරි මහත්මිය,
 
thissapura seetha"අපේ මේ පාර අවුරුදු විස්සකින් පමණ කිසිදු ප‍්‍රතිසංස්කරණයක් වුණේ නැහැ. ඡන්ද කාලෙට නම් පාර හදලා දෙන්න ගොඩාක් දේශපාලකයෝ පොරොන්දු නම් දෙනවා. ඒ පොරොන්දු ඉක්මණනටම එයාලට අමතක වෙනවා. අපි මේ පාරෙන් යන්න දහදුක් විඳිනවා. අපේ දුක පේන්නේ ඡන්ද කාලෙට විතරයි. අපේ ගම්මානයේ තමයි ප‍්‍රධාන පක්ෂවල සංවිධායකයෝ පවා ඉන්නේ. එයාලගෙන් ගමට නම් වැඩක් වෙලා නැහැ. අපේ ඡන්දෙන් බලයට පත් කරන්නේ ගමේ වැඩ ටික කර ගන්නයි. අපි මහ ලොකුවට කාපට් පාරවල් ඉල්ලන්නේ නැහැ. තී‍්‍රවිලරයකින් හරි යන්න පුළුවන් විදිහට පාර හදලා දෙන්න කියලයි අපි මේ පාලකයින්ගෙන් ඉල්ලන්නේ."
 
අපි මැරිලා යන්න කලින්වත් පාර හදලා දෙන්න
 
ඩබ්. එම්. දයාවතී මහත්මිය,
 
thissapura dayawathi"අපේ කාලෙනම් දැන් අහවර වෙලයි තියෙන්නේ. අපේ දරුවන්ගේ කාලෙදිවත් හදාගන්න බැරි වෙච්ච මේ පාර අපේ ඉදිරි දරු පරම්පරවටවත් හදලා දෙනවා නම් තමයි හොඳ. වැහි කාලවලට දරුවෙකුට නිදහසේ ඉස්කෝලෙකටවත් යන්න බැහැ. අපි ඉස්සර වගාවන් කරලා අස්වැන්න කර මතින් තමයි නගරෙට අරන් ගියේ. අද කාලෙ එදාට වඩා දියුණුයි. ඒත් අපේ ගම් තවමත් අපේ කාලේ වගේමයි. වෙනසක් නැහැ. අපි මැරිලා යන්න කලින්වත් මේ පාර හැදෙයිද කියලා අපි බලාගෙන ඉන්නවා."
 
එක පාරක් ආපු කෙනෙක් ආයෙත්නම් මේ පාරෙන් එන්නේ නැහැ
 
උපුල් සමන්කුමාර මහතා,
 
thissapura upul"අපේ ගමේ මේ පාරෙන් තමයි නාගදීප රාජමහා විහාරයට වගේම සෙනසුන්ගල රාජමහා විහාරයට යන්න තියෙන්නේ. මේ ඉපැරණි විහාරස්ථාන වැඳපුදා ගන්න විශාල පිරිසක් එනවා. එක පාරක් ආපු කෙනෙක් ආයෙත්නම් මේ පාරෙන් එන්නේ නැහැ. ඒ තරමටම පාර අබලන් වෙලයි තියෙන්නේ. ඒ වගේමයි මාර්ගයේ ස්ථාන කිහිපයක් සේදිලා අවධානම් තත්වයකට පත්වෙලයි තියෙන්නේ. ගමකට තියෙන්න  ඕන යටිතල පහසුකම්වලින් එකක් තමයි මාර්ග පහසුකම. අපේ මේ පාර හොඳට තියෙනවා නම් අපේ ගමේ දියුණුවට ඒක විශාල රුකුලක් වෙනවා. අපි කිහිප අවස්ථාවකදී බළධාරීන් දැනුවත් කළා. ඒත් වැඩක් වුණේ නම් නැහැ. අපි බළධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් මේ පාර හදලා දෙන්න කියලයි."
 
බළධාරියෙකුගේ දෑස් යොමු නොවන එකයි පුදුමය
 
ප‍්‍රදීප් නුවන් කුමාර මහතා,
 
thissapura pradeep"බදුල්ලේ සිට එන රථවාහන වලට මේ මාර්ගය හොඳට තිබුණා නම් කිලෝ මීටර් විස්සක් පමණ අඩු දුරකින් යන්න පුළුවන් වගේමයි නාගදීප වැව පිහිටීමත් එක්ක අපේ ගමේ ගොවි ජනතාවට තමන්ගේ බව භෝග පහසුවෙන් නගර කරා රැගෙන යාමට හැකි වෙනවා. මේ තරම්ම වටිනා මාර්ගයක් දිහාවට කිසිදු බළධාරියෙකුගේ දෑස් යොමු නොවන එකයි පුදුමය. රටේ රැල්ලක් තියෙනවානේ දෙයක් ලබාගන්නනම් උද්ගෝෂණයක් කරන්න  ඕනි කියලා. ඒ දේද මේ පාලකයින් අපෙනුත් බලාපොරොත්තු වෙන්නේ. අපි ටික දවසක් බලනවා. මේ පාර හදලා දුන්නේ නැතිනම් අපි ජනතාව එකතුවෙලා කොහොමහරි වාහනයක් යන්න හැකි පරිදි පාර හදා ගන්නවා. හැබැයි දේශපාලකයින්ට කියන්නේ ආයේ ඡන්දයක් ඉල්ලගෙන නම් මේ පැත්ත පළාතේ එන්න එපා කියලයි."
 
ජයලත් දිසානායක   -   බදුල්ල
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment