ඇය තවමත් නැඟී සිටී... අප වෙනුවෙන් ගයමින් සිටී...

ඇය තවමත් නැඟී සිටී... අප වෙනුවෙන් ගයමින් සිටී...

එදා ඈ ගැයූ කවි මතු මතු ත් ‘අගේ‘ ය... ඒවා මගේ ය... එමෙන් ම ඔබේ ය... අප සැමගේ ය... මා තුළ ධෛර්යය හිඳී මා බංකොලොත් වන හැම විට ම, පිහිට පිණිස මා සිහිපත් කරගන්නා ‘ගාථාව‘ ද ඇගේ ය... ඒ අන් කිසිවක් නොව, ‘Still I Rise’ ය... ඊයේ සිට වම් කකුල කැඩී එක්තැන්ව ඉන්නා මා අද උදේ ම අන්තර් ජාලයට පිවිසෙන විට ම ලැබුණේ ඇගේ පුතු විසින්, ඇගේ අනූ වැනි උපන්දිනය වෙනුවෙන් තබා ඇති සටහනකි... මම මගේ පළමු කාර්යෙයහි ලා එය පරිවර්තනය කළෙමි... ඒ ඇගේ පුතු විසින් ලියා තිබෙන ‘ඇගේ ආත්මයේ හඬ‘ බෙදා ගැනීමට යි...

- සුරේඛා සමරසේන (2018 අප්‍රේල් 4)

--------------------------------------------

තමන්ගේ මිහිරි හඬ අවදිකරමින්, සාධාරණත්වය, තේරුම්ගැනීම, දයාව සහ ආදරය ගැන ගායනා කළ ඇගේ අනූ වැනි ජන්ම දිනය අදයි...

මගේ අම්මාගේ දර්ශනය වූයේ, මානව වර්ගයා, සමාජ සත්වයින් ලෙස ඒකාබද්ධතාවයෙන් යුතුව ජීවත්වීම තුළ වඩාත් ශක්ති සම්පන්න වන බවයි... ඇය මිනිසුන් අතර පවත්නා වෛරය සහ කෑදරකම දුටුවේ, ඔවුනො‘වුන් භේද බින්න කරවන කාරකයන් ලෙස පමණක් නොවේ... දුෂ්ට බලවේගයන් ලෙස ය... ඇය ‘වෙනස්කම‘ හඳුනාගත්තේ, වෛරයට හේතුවක් ලෙස තුළ නොව, ධනාත්මක අර්ථයෙන්, ‘විවිධත්වයක්‘ ලෙස ය... එමෙන් ම ඇය විශ්වාස කළේ, විවිධාකාරයේ මහා බර මලු හිසින් දරාගෙන එන මිනිසුන්ට ඒවායින් නිදහස් වීම සඳහා අමුතුවෙන් උගන්වන්නට දෙයක් නැති බව යි...

එමෙන් ම ඇය දුටුවා, අප අපටම ආදරය කිරීමට ඉගෙන ගැනීම, සහ අනුන්ට ආදරය කිරීමට ධෛර්යය උපදවාගැනීම මහඟු අභියෝගයක් බව... ඇය නිතර නිතර කියපු දෙයක් තමයි, ‘‘අපි දන්නෙ නෑ, ආදරය කොහොමද හටගන්නෙ කියලා... ඇයි කියලා... ඇත්තෙන්ම, ‘වෙත ඇදීයාම‘ කියන්නෙ ම ආදරයේ මාදිලියක්...‘‘ඇයට දැනුණා, වඩා වැදගත්ම හැඟීම ‘ආදරය‘ බව... අප තුළ ඇති ‘බිය‘ සහ ‘නොදැනුම‘ නමැති ඇතුළු දොරවල් ඇර ගන්නා ‘රහස් යතුර‘ එය බව...

ඇගේ පරම පණිවිඩයෙහි අන්තර්ගතය වූයේ, මිනිසුන්ගේ ජාතිකත්වය, ආගමිකත්වය සහ සංස්කෘතික වෙනස්කම්, තවදුරටත් නොසලකා හැරිය යුතු බව සහ අප සියළුදෙනාම ‘අසමානයන් වීම‘ තුළ ‘සමානයන්‘ බවට පත්වන බව... භාෂාවෙන්, ජන විකාශ පදනමින් සහ දෘෂ්ටියෙන් අප සතු වන විවිධත්වයන් ‘සමරන්නට‘ හැකි බව... අපේ පෙනුම කුමක් වුවත්, අප යදින්නේ කවර දේවගැතිවරයා යටතේ වුවත්, ඇය විශ්වාස කරන්නේ, අප සියලු දෙනාම දෙවියන්වහන්සේගේ නිමැවුම් වන බව යි...

ඇය දුටුවේ, එකි‘නෙකා මරාගන්නා තරමට උඝ්‍ර‍ වූ අර්බුද සහ යුද්ධ හේතුවෙන් පීඩාවට පත් වූවන් කෙරෙහිත්, බඩගින්නෙන් සහ දුප්පත්කමින් පීඩා විඳින්නන් කෙරෙහි ත්, වන විනාශය සහ ජෛව විවිධත්ව විනාශය නිසා දූෂණයට ලක්වෙමින් තිබෙන පරිසරය කෙරෙහිත්, අපගේ අවධානය යොමු විය යුතු බව ය... අපගේ ග්‍ර‍හලොව ම උදව් ඉල්ලා හඬා වැටේ... මගේ මව පැවසුවේ, සිදුවෙමින් තිබෙන සිදු නොවිය යුතු දෑ ගැනත්, සිදු විය යුතුව තිබෙන සිදු නොවන දෑ ගැනත් මැසිවිලි නැඟීමෙන් ඵලක් නොවන බව ය... අප ඒවාට විසඳුම් සෙවිය යුතු බව ය... අපගේ දෑත් දිග හැර ක්‍රියාත්මක විය යුතු බව ය...

අප අද දවසේ තිබෙන ප්‍ර‍ශ්න වලට විසඳුම් සොයා නොගැනීම තුළ අප අපේ දරුවන්ට කරන්නේ මහා අවැඩ කි... අපට එල්ල වන බාධා නිසා අපගේ සද්-කාර්යයන් නැවැත්විය යුතු නැත... ධෛර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව යහපත උදෙසා සටන් කිරීම වෙනුවෙන්, අප ‘වානේ‘ බවට පත් විය යුතු ය... මගේ මව තුළ වූ මහඟු ම ගුණය ‘ධෛර්යය‘ යි... ‘ධෛර්යය‘ තරම් නිරන්තරයෙන් උපදවා ගතයුතු තවත් ගුණයක් නැහැ...

මගේ මව උපාධියක් ලුහුබඳිමින් විශ්වවිද්‍යාලයට ගියේ නෑ... (කෙසේ වෙතත්, ජන මූල පෞරුෂයක් ලෙස නැඟුණු ඇය වෙත ප්‍ර‍ධාන ධාරාවේ විශ්ව විද්‍යාල 15 ක් පමණ ගෞරව උපාධි ප්‍ර‍ධානය කර ඇත...) නමුත් ඇය අධ්‍යාපනය ලුහුබැඳ ගියා... ඇය හොඳ කියවන්නියක් ; නව යොවුන් වියේ සිටඅවුරුදු අසූ ගණන් වලදී ඇස් නොපෙනී යන තෙක් ම ඇය සතියකට පොත් දෙක තුනක් කියෙව්වා... දිනක් ඇය මා සමඟ පැවසුවේ මෙවැන්නක්... ‘‘ලෝකයේ සෑම දරුවෙකුට ම හොඳ අවස්ථාවක් ලැබුණේ නම්, සහ ඔවුන් තුළ අභ්‍යන්තර ආලෝකය දැල්වීමට ඉඩ සලසා තිබුණේ නම්, ලෝකය කුමක් විය හැකිදැයි ඔබට හිතාගන්නට පුළුවන් ද...? අහෝ...! අප ඉදිරිපිට පිළිකා වගේ ඔඩු දුවා තිබෙන ප්‍ර‍ශ්න බොහොමයකට ම පිළිතුරු ලැබේවි...! මොළයේ බලයෙන් දැනුම උපදවා තරු වෙත, මුළු මහත් විශ්වය වෙත ම පමණක් නොවේ, අපේ සිහින වෙත ද ලං වන්නට තිබුණා...!‘‘

මානව වර්ගයා පිළිබඳ, මගේ මවගේ තක්සේරුව වූයේ, ඔවුන් දෙවියන් යෝ යක්ෂයින් නොවන බවත්, දේව ආත්මයන් හා යක්ෂ ආත්මයන් තමන් විසින් ම, තමන් වෙත කැඳවාගන්නා කාණ්ඩයක් වන බවත් ය... අප තුළට පිවිස ඇති වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ යක්ෂයින් පළවා හරිමින්, කාරුණිකත්වය සහ දයාව අවධි කරමින් දෙවියන් සමඟ ආත්මගත විය යුතු බව ය...

- ගයි ජොන්සන්
මූලාශ්‍ර‍ය - https://ift.tt/2Gx6j8X
පරිවර්තනය - සුරේඛා සමරසේන | outboundtoday.com

මායා ඇන්ජලෝ යනු අපේ යුගයේ වීරවරියකි. අසහාය සිවිල් අයිතිවාසිකම් නායිකාවක, ඇමරිකානු කිවිිඳියක, ගායිකාවක මෙන්ම ගෞරව උපාධි 50කට ආසන්න සංඛ්‍යාවකින් පිදුම් ලද අයෝමය ගැහැනියකි. ඇය වයස අවුරුදු 90 ක් සපුරන අද දිනයේ ගූගල් හි ඩූඩලය සැරසී තිබෙන්නේ ද ඇගේ රුවෙනි. 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment