ලංකාවේදී මගේ සිතීමේ නිදහස බාධා වේ

ලංකාවේදී මගේ සිතීමේ නිදහස බාධා වේ

වෙල් යායකින් වටවූ ගමක පොල් වත්තක් මැද වූ නිවසක සතියේ දවස් පහම මව සමඟ තනියම කල් ගෙවූ මා වත්ත පුරා ඇවිදිමින් තනිවම සිතමින් සහ කතා කරමින් හැදී වැඩුණු පුද්ගලයෙකි. කාමරයක් තුළ වාඩි වී සිතන විට හිතට නොයෙන අදහස් බොහොමයක් මා සිතට එන්නේ ඇවිදිමින් සිතන විටය. පශ්චාත් උපාධිය සඳහා ඇමරිකාවේ කුඩා නගරයක සිටින කාලයේදී මම ඇවිදින්නට යෑම පුරුද්දක් කරගෙන සිටියෙමි. නිබන්දනයක් ලියමින් සිටින විට හදිසියේම සිතුවිලි සහ අදහස් සිරවූ බව දැනෙන ඕනෑම විටක අන්ත දේශගුණය පිළිබඳ නොසිතා, කටුක  ග්‍රීෂ්මයේත්, හිම වැටෙන සීත කාලයේත්, ඍතුවට ගැලපෙන පරිදි ඇඟලුම් ලාගෙන එළියට බැස ඇවිදින්නට යන්නටත්, ඇවිදින අතරතුර මහන්සි නිසා හෝ වාඩි වී ලියන්නට ඕනෑ නිසා හෝ පාර අයිනේ වන බංකුවක වාඩි වී ලියන්නටත් මම පුරුදුව සිටියෙමි.

ඇමරිකාවේ නගර, ස්ථාන, පාරවල් සහ පදික වේදිකාව 100% ක්ම නැතත් බොහෝ දුරට දිවා මෙන්ම රාත්‍රී කාලයේත් කාන්තාවට ආරක්ෂාකාරී වීමට ප්‍රධාන ලෙසම බලපාන්නේ ආරක්ෂාව තහවුරු කරන වීදි ලාම්පු, හදිසියකදී පොලීසිය දැනුවත් කිරීමට ඇති එලාම් වැනි යටිතල පහසුකම් සහ නීති හා ආචාරධර්ම පද්ධතියයි. විශ්වවිද්‍යාලයට ගිය පළමු මාසයේදීම අන්තර්ජාලය ඔස්සේ හැදෑරිය යුතු වූ පාඨමාලාවෙන් ලිංගික හිංසනය පිළිබඳවත් ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් දැනුවත් කෙරිණි.

එහෙත් ලංකාවේදී එළිමහනේ ඇවිදීම ඉතා අපහසු කාරණයකි. විශේෂයෙන්ම කාන්තාවකට හිතමින් ලංකාවේ වීදි ඔස්සේ ඇවිදගෙන යාම ඉතා අසීරුය.

මම මොරටුව විශ්වවිද්‍යාලයේ සිට පිළියන්දල දෙසට වන්නට පිහිටි මාගේ නිවසට ඇවිද යාමට ප්‍රිය කරමි. හැන්දෑවට බොල්ගොඩ ගඟේ පාලම පහු කරන්නට ලැබීම, මේ ගමන මට ප්‍රිය කරවන ප්‍රධාන හේතුවයි. එහෙත් ගඟ පසු කරගෙන යන සෑම දිනකම පාහේ කණට හූ කියාගෙන යන, කුණුහරුප කියන, විවිධ ප්‍රශ්න අහන පිරිමි බහුලය. හදිසියේවත් මහන්සි ඇරීමට හෝ සොබා සිරිය විඳීමට හෝ ගඟ අසල නැවතුනහොත් හෝ ගමනේ වේගය බාල කළහොත් පසුකර යන පිරිමි බොහෝ විට ගඟට පනින්නට එපා යැයි කෑ ගසා කියති. මේ නිසාම මා මෙන්ම මගේ මිතුරියනුත් ගඟ පසු කර යෑමට අකමැත්තක් දක්වයි. අපි ගඟ පසු කර යන විට ගමන වඩා වේගවත් කර ඉක්මනින් ගඟ පසු කර යන්නට පුරුදු වී සිටිමු. නගරය ඔබේ මෙන්ම ඇගේය. ඇයට සහ මටද ඔබට මෙන්ම ගඟ, මුහුදු වෙරළ සහ උද්‍යාන වැනි ස්ථානවල ඇවිදීමේ, කල් ගෙවීමේ සහ විවේක සුවය විදීමේ අයිතිය තිබේ. ඇය තනිව ඇවිදින්නේ, ගඟක් වෙරළක් ළඟ නතර වන්නේ සොබා සිරිය විඳින්නට හෝ විවේකය පිණිස හෝ විය හැක. තනිව සිටින හැම ගැහැණියම ජීවිතයෙන් විඩා පත් වී නැත. ඇයට දිවි තොරගැනීමට අවශ්‍ය වී ඇතැයි ඔබ අනුමාන කරන්නේ ඇයි? මේ රටේ පමණක් නොව ලොව පුරාම වැඩියෙන් දිවි නසා ගන්නේ පිරිමින් වේ. ඔබ ගඟක් මුහුදක් ළඟ ඇවිදින හෝ නතර වී සිටින පිරිමියෙකු දුටු විටත් දිවි තොර කරගන්නට එපා යැයි කියා කෑගසනවාද? කාන්තාවක් පුරවැසියෙකු ලෙසත් ගැහැණියක ලෙසත් හෙට සිය යුතුකම් ඉටු කරන්නට ජවය සහ ශක්තිය උකහා ගන්නේ තනිව සිතමින් දවසේ විඩා නිවා ගනිමින් විය හැක. ඔබ අවංකව ඇය ගැන සිතන්නේ නම් ඇයට එලෙස ප්‍රතිපෝෂණය වන්නට ඉඩ හරින්න.

එක්දිනක් මා අඳුරු වැටෙමින් තිබියදී, යමක් සිතමින් ඇවිදගෙන යන අතරතුර මෝටර් සයිකලයක යමින් සිටි පිරිමි දෙදෙනෙකු එක් වරම කොහෙද මේ පාරේ යන්නේ කියා අසාගෙන ගියහ. සිතුවිලිවල පැටලී සිටි මා හදිසියේම හිස ඔසවා බලන විටත් ඔවුන් මා පසුකර ගොස් අවසන් ය. එවිට එතන සිටි තවත් පිරිමියෙකු ප්‍රකාශ කළේ "ඔහොම කියන එවුන්ට ගලක් අරන් ගහන්න තියෙන්නේ" යනුවෙනි. එවැනි දෙයක් කළහොත් අපහසුතාවට පත්වන්නේද මමය. අනෙක් අතට කිසිවෙකුට හෝ පහර දීම නීති විරෝධීය. හිංසනය හා දඬුවම අපට දිය හැකි දෙයක් නොවේ.

විටෙක මෙලෙස බස් නැවතුමකදී හිංසාකාරී ප්‍රකාශයක් කළ පුද්ගලයෙකුට පහර දුන් වාරියපොළ ප්‍රදේශයේ තරුණියක මුහුණ දුන් තත්ත්වය අපට මතකය. පාරේදී අපහසුතාවට පත්වූ ඇය එයට ප්‍රතිචාර දැක්වීම සයිබර් අවකාශය ඔස්සේ බොහෝ පිරිස් ඇයව අපහාස උපහාසයට පත් කිරීමට යොදා ගත්හ.

හිංසනය සහ ආත්මාරක්ෂාව යනු දෙකකි. අනාරක්ෂිත වීදීවල ගමන් කිරීමේදී සිදුවන හිංසනයට මුහුණ දීම සඳහා තමන් ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් ප්‍රගුණ කිරීම, ආත්මාරක්ෂාව සඳහා පාවිච්චි කිරීමට පෙපර් ස්ප්රේ (ගම්මිරිස් විදිනය) වැනි යමක් රැගෙන යාම කළ හැක.

කාන්තාවන් ගැවසීමම වීදි සහ අවකාශ සියලුම කාන්තාවන්ට ආරක්ෂිත තැනක් කිරීමට වැදගත් වේ. මාර්ගය අනාරක්ෂිත නිසා මගේ රාත්‍රී ගමන් බිමන් සීමාකර ගන්නා ලෙසට මට උපදෙස් දෙන අයගෙන් අසන්නේ මා පාරට නොබසින තාක් පාර කාන්තාවන්ට අනාරක්ෂිත වන අතර, මා පාරේ සිටීම තවත් කාන්තාවකට සුරක්ෂිත හැඟීමකින් යුතුව වීදි සහ පදික වේදිකාව භාවිතයට උපකාරී විය හැකි බවයි. අප මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ කාන්තාවන් කණ්ඩායමක් පරිස්සමට ඔවුන්ගේ නැවතුම් පලවල්වලට ඇරලවන්නට එක පිරිමි මිතුරෙකුට භාර දීමට වැඩිහිටි ශිෂ්‍යයෝ පුරුදුව සිටියහ. කාන්තාවන් කණ්ඩායමකට සිය ආරක්ෂාව සලසා ගත නොහැකි බවත් එක පිරිමි අවයව සහිත එක් පුද්ගලයෙකුට මේ කාන්තාවන් කිහිප දෙනාගේම පරිස්සම ගැන වගකිව හැකි බවත් සිතීම තුළ පිරිමියා කෙතරම් වරප්‍රසාද ලාභියෙක්ද යන කාරණය මනාව පෙනේ.

රෑ බෝ වීම නිසා මාව නිවසට ඇරලවන්නට අහන ආදරණීය පිරිමි මිතුරන්ගෙන් මා ළබැඳිව අහන්නේ මට ඔබේ වරප්‍රසාදවලින් ආරක්ෂිත වීමට සිදුවන්නේ ඇයි? මාද ඔබ මෙන්ම එක හා සමානව රජයට බදු ගෙවන පුරවැසියෙක් නොවේද?

ඇවිදීම ශරීර සෞඛ්‍යයට මෙන්ම මානසික සෞඛ්‍යයටද හොඳය. මම ඇවිදිමින් සිතමි. එනිසා මට එය අත්‍යවශ්‍යය. තිරසර සංවර්ධනය හා ප්‍රවාහනය ගැන කතා කිරීමේදී ඇවිදීම ඉතාමත් වැදගත් ස්ථානයට උසුලයි. ඇවිදීමට යෝග්‍ය නගර සෞඛ්‍ය සම්පන්න සහ තිරසර ලෙස සංවර්ධිත නගර වේ. ශාරීරික යෝග්‍යතා මංතීරු හොඳය. නමුත් ගැටලුවට සම්පූර්ණ පිළිතුරු ඉන් නොලැබේ. සිය දෛනික අවශ්‍යතා සඳහා පයින් ගමන් කළ හැකි නගර අපට අවශ්‍යය. ඒ සඳහා වන යටිතල පහසුකම් ලබා දීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමය. එසේම ඔබේ නගරය පිරිමි ඔබට මෙන්ම කාන්තාවටද එක සේ භුක්ති විඳීමට හැකි ස්ථානයක් විය යුතුය. කාන්තාවන්ටද දිවා මෙන්ම රාත්‍රී කාලයේ සිය අවශ්‍යතා වෙනුවෙන් මෙන්ම විනෝදාස්වාදය සඳහා ද, හුදෙක් මා මෙන් සිතීමට උත්තේජනයක් ලෙස හෝ ද ඇවිදීමේ අයිතියක් ඇත.

ඇගේ අඟ පසඟ හෝ ඇඳුම පිළිබඳවද, කිසිම අදාළත්වයක් නැති ඔබගේ හුදු හිතළු ආශ්‍රිතවද ඔබේ ප්‍රකාශනය ඇගේ ඇවිදීමේ, සැහැල්ලු වීමේ හෝ සිතීමේ නිදහසට බාධාවක් විය යුතු නැත. ඔබේ භාෂණයේ නිදහසේ කෙලවර අනෙකාගේ භාෂණයේ, හිතීමේ සහ සියලුම ආකාරවල නිදහසයි.

මේ නගරය ඔබේ මෙන්ම ඇගේය. මේ වීදි ඇගේය. ඒවා රාත්‍රී කාලයේදීත් ආලෝකමත් කරන්න, ආරක්ෂිත ස්ථාන කරන්න. ඇයට ලිංගික, වාචික හෝකායික අතවරවලින් තොරව වීදි සරන්නට දෙන්න. ඇය ඔබේ නගරය, ඔබේ රට මීට වඩා සුන්දර, දියුණු සහ සාමකාමී තැනක් කරන්නේ කෙසේද යන්න සිතමින් ඇවිදිනවා විය හැක.

නගර නිර්මාණය කරන නෝනාවරුනි මහත්වරුනි, නගරය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සැමට පොදුවේ භාවිත කළ හැකි විය යුතු නොවේද? ඒ වෙනුවෙන් කළ හැකි දේ මොනවාද?

එසේම කාන්තාවන්ට නගරය සහ වීදි ආරක්ෂිත වන තුරු සිය ගමන්, විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ගමන් සීමා කිරීම, සෑම විටම ආරක්ෂාව උදෙසා වෙනත් අයකු විශේෂයෙන්ම පිරිමියෙකු සහයට කැටුව යෑම, ඇවිදීම සහ පොදු ප්‍රවාහනය වෙනුවට කුලී රථ හෝ පෞද්ගලික වාහන භාවිතය ඔබට ඇති හොඳම විසඳුම නොවේ. ආත්මාරක්ෂාව සපයාගෙන වීදි සහ නගරය භාවිතා කිරීම තුළින් එම ස්ථාන අනෙකුත් කාන්තාවන්ට ද සුරක්ෂිත සහ අපහසුතාවකින් තොරව භාවිත කළ හැකි වනු ඇත.

- කෞශල්‍යා හේරත්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment