සොඳුරු මරණය 08 - තමා මුණ ගැසීම!

සොඳුරු මරණය 08 - තමා මුණ ගැසීම!

තමා තමාට ආදරය කරනවා කියන්නේ ආත්ම කේන්ද්‍රීය වුවමනාවන් සමග ජීවත්වීමටවත් පුළුවන් තරම් දේවලින් ජීවිතය පුරවා ගැනීමවත් නෙවෙයි. අපිට හැකි වෙන්න ඕනේ නිරුවත්ව අපි සමග ජීවත් වෙන්න. මේක ටිකක් විකාර අදහසක් වගේ පෙනෙන්න පුළුවන්. මොකද අපි හිතන්නේ අපි අපිට ආදරය කරන නිසානේ මෙච්චර දේවල් කරන්නේ කියලා. අපි අපි එක්ක නැතිව වෙන කෙනෙක් එක්කද මේ මුළු ජීවිතයම ගතකරන්නේ කියලා! නමුත් මේක ඇත්ත ප්‍රශ්නයක්. අපිට හැකිද, උදාහරණයකට, මට හැකිද මා සමග පමණක් හුදෙකලාව නිශ්ශබ්දව පැය කිහිපයක් නිතර පුරුද්දක් ලෙස ගත කරන්න? මට හැකිද මා මුණගැහෙන්න? මටනම් හිතෙන්නේ ඒකට අපි බොහෝ දෙනෙක් බරපතලව බිය වෙන බවයි! අපි හැමවිටම මොකක් හෝ හේතුවක් හොයා ගන්නවා තමාගෙන් පලා යන්න, තමාව මුණ නොගැසී ඉන්න! මේ කාලයේනම් ෆේස්බුක්, ටෙක්ස්ට් මෙසේජ්, වට්ස්ඇප්, වෛබර්, ට්විටර්, එහෙම නැත්නම් ගේම් එකක්, සින්දුවක්, කතාවක්, නිව්ස් එකක්, ජෝක් එකක් නැතිව තනිව හුදෙකලාව සිටිය හැකි කෙනෙක් සොයා ගැනීම බරපතල අමාරු කාර්යයක්.

දවසේ යම් වෙලාවක් අපට ශරීරය හා මනස ඒකාත්මිකව පවත්වා ගත හැකිද? අඩුම වශයෙන් නිශ්ශබ්දව සිටිය හැකිද? ඒ නිශ්ශබ්දතාව දැරිය හැකිද? අපි බොහෝ දෙනෙක් ශරීරය සහ මනස එකතැන තබා ගැනීමට පමණක් නෙවෙයි, එහෙම අදහසක් ඇති බවවත් දන්නේ නැහැ. ඒත් අපි හිතනවා අපි ඉන්නවා කියලා! ඇත්ත, අපේ ශරීර තියෙනවා තමයි, ඒත් අපි බොහෝ වෙලාවට මෙතැන මේ ශරීරය ඇති තැන නැහැ!

'මෙතැන', 'මේ මොහොතේ', 'මා සමග' ඉන්න පුරුදු වුනොත් මගේ සැබෑ තත්ත්වය මටම තේරුම් ගන්න හැකි වෙනවා. ඒ ශරීරය සහ මනස යන දෙකේම සැබෑ තත්ත්වය! අපි අපේ ශරීරය ගැන ඕනෑවටත් වැඩිය හිතන අවස්ථා තියෙනවා තමයි. ඒත් ඒ බාහිර ස්වරූපය ගැන පමණමයි. හිතනවාටත් වැඩියෙන් තියෙන්නේ ඒ ගැන අනවශ්‍ය ලතවීමක් හා කණස්සලු වීමක්. ලස්සනයි, කැතයි, කළුයි, සුදුයි, උසයි, කොටයි, මහතයි, බඩ වැඩියි, පපුව ලොකුයි, අත් හීනියි, දත් ඉස්සරහට ඇවිත්, තොල් ලොකුයි, ඇහිබැම ළං වෙලා වැඩියි, මූණේ කැළැල් වැඩියි, කොන්ඩේ සුදු වෙලා, කකුලේ ඇඟිලි කොටයි, පස්ස ලෑල්ල වගෙයි, බෙල්ලේ රැලි ඇවිත්, මොනතරම් නම් දේවල්ද?

අපිට අමතක වෙන කාරණා තමයි, මේ හැම දෙයක්ම කිසියම් ලෙසකට හදාගත් නිර්ණායකයන් මත එන අදහස් බව, මේ කිසිවක නිරපේක්‍ක්ෂ සත්‍යතාවයක් නොමැති බව, කිසිම දෙයක් වෙනස් නොවී නොතිබෙන බව, කිසිවක් සමාන නොවන බව, මේ කිසිවක් මෙසේ වීම ප්‍රශ්නයක් නොවන බව. ඒ අතර අපට අමතක වන අනිත් කාරණය තමයි ශරීරය යනු මේ පිටතට පෙනෙන කාරණයන් පමණක් නොවන බව. ඒක අපිට අමතක වෙනවා විතරක් නෙවෙයි අපි අපේ ශරීර ගැන දන්නේම නැහැ, අපි ශරීරයේ වෙනස්වීම් ගැන අවධියෙන් නැහැ. ඒ නිසා අපිට ලෙඩ හැදෙන්නේ හදිසියෙන් කඩා වැටුණු මරාල වගේ! ඉතින් අපි කරන්නේ දුවගෙන දුවගෙන ගිහින් අපේ ශරීරයේ අයිතිය දොස්තරලාට, රෝහල්වලට බාරදෙන එක. ඒ කිසිවෙක් අපේ ශරීරය ගැන දන්නේ කොහොමද, අපිත් දන්නේ නැතිව! හැබැයි අපි හිතනවා උපකරණ කිහිපයක් මගින් ඒ අයට අපේ ශරීරය සම්පූර්ණයෙන් තේරුම්ගන්න හැකියාව ඇති බව! ඉතිං ඒ මොහොතට තුවාල නොපෙනෙන්න පැලැස්තර දානවා වගේ මොනා හරි පෙති ටිකක් බීල, නැත්නම් කෑල්ලක් කපල අයින් කරගෙන, අර කියපු බාහිර පෙනුම හදාගෙන අපි හිතනවා අපි අපේ ශරීරයට ආදරෙයි කියලා! ඊළඟට අපිත් නොදන්න මොහොතක, බලාපොරොත්තු නොවූ ලෙස මරණය එනවා. මරණය පිළිබඳ භීතියක් ඇතිවන්නේ මේ නිසා බව අපි තේරුම් ගන්නේම නැහැ!

හැබැයි මේ කාරණා මෙහෙම වෙද්දීත් කිසිවිටෙක අපේ ශරීරය ඇති තැන අපේ මනස නැහැ. අපේ මනස, සිතිවිලි හැම විටම තියෙන්නේ අතීතයේ හෝ අනාගතයේ. අපි ආදරය කරන කෙනාට කියනවා මම ඔයාගේ, මම ඉන්නේ ඔයා වෙනුවෙන්, හැමදාම ඔයා සමග වගේ කතා. ඒත් අපි අප සමගවත් නැතිකොට තව කෙනෙක් වෙනුවෙන් ඉන්නේ කොහොමද? අර කියපු, අපිත් හරියට නොදන්නා ශරීරයනම් තවකෙක් ඉන්නා තැනක තියේවි. ඒත් සැබෑ සිටීමක් කිසිවිටෙක සිදුවන්නේ නැහැ. ඒක හරියට මළමිනියක් සමග ජීවත් වීමක් වගෙයි. ඒ නිසාම වෙන්නැති ටික දිනක් ගිය පසු ඒ ඉඳීමත් තනිව හිඳීම තරමටම පලා යාමට හේතුවක් වෙන්නේ.

මේ විසිරුණු සිතිවිලි සමුදායෙන් හැරී මෙතැන, මේ ශරීරය ඇති මොහොතට පැමිණීම එකවිදිහක හැරී ගෙදර ඒමක්! සම්පූර්ණව සිටීමක්! අන්න ඒකයි මේ ජීවිතය සැබෑවට විඳින්නට නම්, ජීවිතයට ආදරය කරන්නට නම්, මරණය පිළිගන්නනම් 'මේ මොහොතේ', 'මෙතැන', 'සම්පූර්ණව' සිටිය යුතුයි යන අදහස ප්‍රකාශ වන්නේ. 'මා' මාලෙස සම්පූර්ණ වුවහොත් පමණමයි මට සම්පූර්ණ ජීවිතයක් ගෙවන්නට හැකි වන්නේ! මට තවකෙකු සම්පූර්ණයෙන් මුණගැහෙන්නට හැකි වන්නේ! එපමණක් නොවෙයි, එසේ සිටිය හැකි වුවහොත් පමණමයි මට මගේ සැබෑ හැඟීම්, වේදනාවන්, යටපත්කරනු ලැබූ රිදීම් හඳුනාගන්න, මතුකරගන්න අවස්ථාවක් උදාවන්නේ!

අපි හැමෝම ජීවිත කාලයක් පුරා කෙතරම්නම් හැඟීම් රිදීම් යටපත් කොට ඇත්ද? ඒවා රබර් බෝල මෙන් නැවත නැවත මතුවෙමින් අපටත් අප වටා සිටිනා තව බොහෝ අයටත් කෙතරම්නම් පීඩාවක් (දැන හෝ නොදැන) ගෙනෙනවා වන්නට ඇත්ද? අප තුල ඇති ව්‍යාකූලතාවයන් තේරුම් නොගෙන අපි කෙතරම්නම් අනෙකුන්ට දොස් පවරමින් ඔවුන් නිවැරදි කරන්නට, වෙනස් කරන්නට වෙහෙස ගනිමින් සිටිමුද? කෙතරම් දේ ප්‍රකාශ කරමින් අපේ සැබෑව වසා තබමින් වෙස් මුහුණු බඳින්නට උත්සාහ ගනිමින් සිටිමුද? ද්‍රව්‍යමය එකතුකරගැනීම් හරහා සැනසෙන්නට සිතා ඇත්ද? නිශ්චලව සිටීමට බියෙන් සැමවිට දුවමින් කෑගසමින් සිටින්නට උත්සාහ කරමින්ද? සැබෑවට මුහුණ දීමට ඇති අකමැත්ත, භීතිය නිසාම සිහිවිකල්ව සිටීමට ළැදි වන්නට ඇත්ද?

අප හැමකෙකු තුලම තුවාල වූ දරුවෙක් සිටිනවා. ඒ නොයෙක් විවිධ හේතු නිසා ඇති වූ තුවාල විය හැකියි. මට මා සමග, මගේ සැබෑවට විවෘත විය හැකිනම්, මගේ සැබෑව හඳුනාගත හැකිනම්, ඒ දරුවා හඳුනා ගැනීමටත් ඒ දරුවාට ආදරය කිරීමටත් ඒ තුවාල දෙස බලා සිටීමටත් අවස්ථාව උදා වෙනවා. මා තුල සිටිනා එම දරුවාගේ මනස සුවපත් කළ හැකිනම් මා තුලත් මා අවටත් ඇති තුවාල සුවපත් කිරීමට සැබෑ ශක්තියක් ලැබේවි. සැබෑවටම ආදරය කිරීමටත් සැබෑවටම ආදරය ලබන්නටත් හැකිවේවි. ජීවිතය අලුතින් මුණගැහේවි. ඒ විතරක් නෙවෙයි, මා සුන්දර මරණයක අයිතිකරුවෙක් වේවි!

සොඳුරු මරණය පෙර ලිපි:

සොඳුරු මරණය 02 - නොවිඳ විඳවීම

සොඳුරු මරණය 03 - අලුත් මොහොතක් සෙවීමේදී මෙතැන මිස් වීම!

සොඳුරු මරණය 04 - කටු පඳුරට ආදරය කිරීම

සොඳුරු මරණය 05 - දෙකින් එකක් වෙයි...

සොඳුරු මරණය 06 - ජීවිතයට ආදරය කරමුද?

සොඳුරු මරණය 07 - රෝස මලට ආදරය කිරීම

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment