බැංකු ගිණුම්වලින් වැරදි ලෙස කපාගත් බදු රජය නැවත දෙයි


නව බදු පනතට අනුව වසරකට ලක්ෂ 15 කට අඩු පොලියක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වල සහ ළමා ගිණුම්වල පොලිය මත බදු අය නොකරන නිසා යම් හෙයකින් එවැනි බදු මුදලක් වැරදි ලෙස අයකරගෙන ඇත්නම් ඒවා නැවත ගිණුහිමියන්ට ලබාදෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියකු සතුව ඇති සියලුම වර්ගයේ ගිණුම්වල පොලී ආදායම වසරකට රුපියල් ලක්‍ෂ 15 දක්වා බද්දෙන් නිදහස් කර තිබෙන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩි.එම්.එල්.අයි. දිසානායක මහතා 'ලංකාදීප'යට පැවැසීය.
ජ්‍යෙෂ්ඨ පුරවැසියගේ බැංකු ගිණුම් හා පොලී

ආදායම් පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීමේ ලේඛන ඒ ඒ බැංකු ශාඛාවලින් ගිණුම් හිමියන්ට යවා තිබෙන අතර එම තහවුරු කිරිමේ ලේඛන ඉදිරිපත් කිරිමේ ප්‍රමාදය හෝ වෙනත් අතපසුවිමක් නිසා වැරදි ලෙස පොලී අයකරගෙන ඇත්නම් ඒ ඒ බැංකු ශාඛාවලින් ඒවා ගිණුමහිමියන්ට නැවත ලබාදෙන බවද දිසානායක මහතා කීය.
මීට අමතරව වයස අවුරුදු 16 දක්වා ළමුන්ගේ ගිණුම්වල පොලි ආදායම් බද්දෙන් නිදහස් වන අතර ඊට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේ ක්‍රමවේදය නිසා දැනට එලෙස බදු අය කර ඇත්නම් ඒවාද නැවත ගිණුම් හිමියන්ට ගෙවීමට බැංකුවලට සිදුවන බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
නව බදු පනත අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක අතර යම් යම් තාක්‍ෂණික හේතූන් මත ඇතැම් බැංකු ශාඛාවල ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන්ගෙන් සහ ළමා ගිණුම් පොලිය මත බදු අයකර ගෙන ඇති බව ගිණුම්හිමියන් පිරිසක් චෝදනා කරති.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment