මෙම ප්‍රාණ ඇපකරුවන්ගෙන් බහුතරය කාන්තාවන් සහ දරුවන් ය. බේරාගත් අය අතරින් ඇතැමෙක් ප්‍රකාශ කළේ තමන්ට ද ත්‍රස්තවාදී සංවිධානය වෙත බැඳෙන ලෙසට විශාල බලපෑම් එල්ල වූ බව ය.
බහුජාතික ඒකාබද්ධ හමුදා මෙහෙයුම්
බෝර්නෝ ප්‍රාන්තයේදී සිදුකළ මෙම ගළවාගැනීමේ මෙහෙයුම ‘‘බහුජාතික ඒකාබද්ධ හමුදා මෙහෙයුම‘කි. ඒ සඳහා නයිජීරියානු හමුදාව සමග කැමරුන්, චැඩ්, නයිජර් සහ බෙනින් යන රාජ්‍යයන් හි සොල්දාදුවෝ සම්බන්ධ වූහ. පෙබරවාරි 27 වැනිදා වාර්තා වූයේ මෙවැනිම බහුජාතික ඒකාබද්ධ හමුදා මෙහෙයුමක් මගින් ප්‍රාණ ඇපකරුවන් 1300 දෙනෙක් මුදාගැනුණු බවයි. චැඩ් විල අසබඩ සිදුකළ මෙම මෙහෙයුම්වලට නයිජීරියානු හමුදාව සමග එක්ව සිටියේ කැමරුන් රාජ්‍යයයි.
බොකෝහරාම් ත්‍රස්තවාදීන් යනු කවුද?
‘අනාගත වක්තෘවරයාගේ ඉගැන්වීම් සහ ජිහාඩය (ශුද්ධ යුද්ධය) ප්‍රචලිත කිරීම සඳහා කැපවූවන්‘ වශයෙන් බොකෝහරාම් සංවිධාන සාමාජිකයෝ තමන් ව හඳුන්වා ගනිති.
ස්වදේශික හයුසා දයලෙක්තිකයට අනුව ‘බොකෝහරාම්‘ යන්නේ වචනාර්ථය "Western education is forbidden“ හෙවත් ‘බටහිර අධ්‍යාපනය තහනම්‘ යන්නයි. මෙය කොතරම් මූලධාර්මික සහ අන්තවාදී සංවිධානයක් ද යන්නට එම වචනාර්ථයම සාක්ෂි සපයයි. බොකෝ හරාම් ත්‍රස්තවාදීන්, පාසල් අධ්‍යාපනය ලබන දැරියන් මහා පරිමාණයෙන් පැහැරගනිමින් සිටින්නේ ද ඔවුන්ගේ සටන්පාඨය මුල් කර ගනිමිනි.
ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානයේ ද තේමාපාඨය වන්නේ බටහිර අධ්‍යාපනය තහනම් යන්නයි. ඔවුන් විසින් මලාලා යුසුෆ්සායි දැරියට පාසල් බස්රියට නැග වෙඩි තබන්නේ ද ඇය දැරියන්ගේ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන නිසා ය. ‘ගැහැනු දරුවන් ට ඉගැන්වීම‘ නොකළ යුතු දෙයක් යැයි අදහන මූලධර්මවාදී අදහස් ඔවුන් ආරක්ෂා කරන්නේ ගැහැනුන් යනු පුරුෂයාගේ වහලියන් ලෙස ජීවත් විය යුතු කොටසකි යන ප්‍රාථමික ගෝත්‍රික අදහස නිසා ය. මේ මූලධාර්මික සමානකම නිසා බොකෝහරාම් ත්‍රස්තවාදීන්ව ‘නයිජීරියාවේ තලෙයිබාන් සංවිධානය‘ යනුවෙන් ද සීඑන්එන් පුවත්සේවය හඳුන්වා දෙයි.
නයිජීරියාවේ Yobe, Kano, Bauchi, Borno සහ Kaduna යන ජනපද බොකෝහරාම් බලකොටු වශයෙන් හඳුනාගෙන ඇත.
බොකෝහරාම් යන වචනය ලෝකය මුලින්ම දැනගත්තේ 2002 වර්ෂයේදී ය. 90 දශකයේ අග භාගයේ පටන් මොහොමඩ් යුසුෆ් නමැති මුස්ලිම් පූජකයෙකු යටතේ ඔවුන්ගේ සේනා සංවිධානය සිදුව ඇත. අනතුරුව 2003 දෙසැම්බරයේ නයිජර් දේශසීමාව අසල පිහිටා ඇති යෝබි ප්‍රාන්තයේ පොලිස් ස්ථාන ගණනාවකට එකවර ප්‍රහාර එල්ල විය.
බොකෝහරාම් නැගී සිටීම (Boko Haram uprising) යනුවෙන් හඳුන්වන අර්බුදය ආරම්භ වන්නේ 2009 ජූලි මාසයේ සිට ය. බචූ ප්‍රාන්තයෙන් ආරම්භ වූ මෙම නැගීසිටීම පසුව යෝනෝ, කානෝ සහ යෝබ් ප්‍රාන්තවලට ද පැතිරිණි. පොලිස් නිළධාරීන් විශාල පිරිසක් මෙහිදී මරා දැමිණි. ඒකාබද්ධ හමුදා වහාම බොකෝ හරාම් ත්‍රස්තවාදයට විරුද්ධව ආරම්භ විය. මේ අනුව 700කට අධික ත්‍රස්තවාදීන් පිරිසක් මරා දැමිණි. ඔවුන්ගේ කේන්ද්‍රස්ථානය ලෙස පැවති මුස්ලිම් දේවස්ථානයක් ද විනාශ කෙරිණි. අවසානයේ ඔවුන්ගේ නායකයා ලෙස සැලකුණු යුසුෆ් ව ද අල්ලා ගැනුණි. සංවිධානයේ නියෝජ්‍ය නායකයා වන අබුබකර් ෂෙයිකු සටන්වලදී මරණයට පත්විය. යුසුෆ් ද පසුව පොලිස් භාරයේදී මරා දැමිණි. පොලිසිය පැවසුවේ ඔහු පළා යාමට උත්සාහ කිරීමේදී වෙඩි තැබීමෙන් මිය ගිය බව ය. නමුත් මෙය ඝාතනයක් බව බොකෝ හරාම් සංවිධානය පැවසුවේය.
2010 සැප්තැම්බර් 7 වැනිදා බවුචි ප්‍රාන්තයේ බන්ධනාගාරයකට බොකෝ හරාම් ත්‍රස්තවාදීහු පහර දුන්හ. එයින් පස් දෙනෙක් මිය ගිය අතර බන්ධනාගාර සිරකරුවෝ 700 දෙනෙක් පළා ගියහ.
දැනට වසර 11 ක කාලයක පටන් බොකෝහරාම් ත්‍රස්තවාදීහු නැගෙනහිර නයිජීරියාවේ, බෙල්ජියම තරම් විශාල බිම්කඩක ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටිති. පසුකාලීනව ඔවුන්ගේ බලය තවදුරටත් වැඩි වූයේ ඔවුන් මේ සඳහා ඉස්ලාමීය රාජ්‍ය සටන් කරුවන් හෙවත් අයිඑස්අයිඑස් සංවිධානය සමග සන්ධානගත වීම නිසා ය. සිය බොකෝහරාම් රාජධානිය අසල්වැසි රටවල් වෙත ද ව්‍යාප්ත කිරීමට ඔවුන්ට අවශ්‍ය ය.
මේ අනුව බොකෝහරාම් සංවිධානයේ බලපෑමට නතු විය හැකි රටවල් ලෙස හඳුනාගැනෙන්නේ බටහිර අප්‍රිකානු අසල්වැසි රටවල් ය. නයිජර්, කැමරුන්, චැඩ්, බෙනින් යන රාජ්‍යයන් ද මේ නිසා බොකෝහරාම් ත්‍රස්තවාදය මර්දනය කිරීමට යුධමය සහයෝගය ලබාදෙති. නයිජීරියාවේ සිදුවන බොකෝහරාම් මර්දන ක්‍රියාවලිය සඳහා බහුජාතික ඒකාබද්ධ හමුදාව වශයෙන් ඔවුන් එක්ව සිටින්නේ මේ නිසා ය.
මේ දක්වා බොකෝහරාම් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන් නිසා ජීවිතක්ෂයට පත්වූ ගණන 20,000 කි. මිලියන 2 ක් හෙවත් ලක්ෂ 20 ක් දෙනාට උන් හිටිතැන් අහිමි ව පළා යන්නට සිදුව තිබේ.
බොකෝහරාම් ත්‍රස්තවාදීන් 2009 වසරේ පටන් ලෝකයේ කතාබහට ලක්වූයේ ඔවුන් විසින් 2014 අප්‍රේල් 14 වැනිදා ඊසානදිග බෝර්නෝ ප්‍රාන්තයේ චිබොක් පළාතේ පාසල් දැරියන් 276 දෙනෙක් පැහැරගෙන යාමත් සමග ය. මෙම දැරියන් ද්විතියික පාසලේ අධ්‍යාපනය ලබමින් සිටියදී පාසලට කඩා වැදුණු ත්‍රස්තවාදීන් විසින් මෙම අපරාධය සිදුකළහ. දැරියන් 50 දෙනෙක් පමණ මුදා ගැනුණු නමුත් ඉතිරි දැරියන් 219 දෙනෙක් වසර ගණනාවක්ම ඔවුන්ගේ විවිධ වධහිංසා සහ ලිංගික අපරාධවලට ලක් වෙමින් ත්‍රස්තවාදීන්ගේ කඳවුරුවල රඳවා තබාගෙන තිබිණි.
චිබොක් දැරියෝ - Chibok Girls
බොකෝහරාම් ත්‍රස්වාදීන්ගේ මෑත කාලයේ දැකගත හැකි වැදගත්ම ලක්ෂණයක් වූයේ ඔවුන් මහා පරිමාණ මිනිස් පැහැරගැනීම්වල නිරත වීමයි. නයිජීරියාවේ හිටපු ජනපති ජොනතන් ගුඩ්ලක් ගේ සමයේ උත්සන්න වූ බොකෝහරාම් ත්‍රස්තවාදය නිසා, ඔහු ජාත්‍යන්තරව ද මහත් අපකීර්තියට පත්විය. 2011 මැයි මාසයේ පැවති ඔහුගේ පදවි ප්‍රාප්තියේදී ද බොකෝහරාම් ත්‍රස්තවාදීහු බෝම්බ පිපිරීම් සිදුකළහ. #bringbackourgirls යන ට්විටර් හැෂ්ටැගය යටතේ මෙම පාසල් දැරියන් මුදා ගැනීම සඳහා විශාල සිවිල් ව්‍යාපාරයක් ගොඩ නැගුණේය. පැහැරගැනීම් සිදුවූ 2014 වසරේ අප්‍රේල් 14 වැනිදා සිට මැයි 14 වන විට ඉහත කී හැෂ්ටැගය යටතේ ට්වීට්ස් මිලියන 3.3ක් සිදුකර තිබිණි. එවකට ඇමරිකාවේ ජනපති වූයේ බරාක් ඔබාමා ය. ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමාගේ ද සම්පූර්ණ සහයෝගය මෙම ව්‍යාපාරය සඳහා ලැබිණි.
අනතුරුව 2015 අප්‍රේල් මස, එනම් පැහැරගැනීමෙන් වසරකට පමණ පසුව වාර්තා වූයේ චිබොක් ජනපදයේ සම්බිසා කැළෑවෙන් පාසල් දැරියන් 200 දෙනෙක් සහ කාන්තාවන් 93 දෙනෙක් මුදා ගැනුණු බවයි. නමුත් ඔවුන් අතර මුලින් කී චිබොක් පාසල් දැරියන් නොමැති බව සොයා ගැනුණි. පළමු චිබොක් දැරිය බේරා ගැනුණේ 2014 මැයි මාසයේ ය. අමීනා අලි නමැති මේ දැරිය, නයිජීරියානු රජය භාරයේ මාස ගණනක් රඳවා ගැනුණේ ඇගේ ජීවිත අවදානම පහව යන තෙක් ය. ත්‍රස්තවාදීන් විසින් තමන් ව කුසගින්නේ තැබූ ආකාරය මෙම දැරිය විස්තර කළාය. අමු බඩඉඟුරු කන ලෙසට ඔවුන්ට බල කර තිබිණි. ඔවුන්ගෙන් ඇතැමෙක් මිය ගොස් තිබුණේ කැඩුණු අත පය ආසාදනයට ලක් වීම නිසා ය. ත්‍රස්තවාදීන් විසින් පිපිරීම් සිදුකරන විට ඒ අසලම සිටීමට සිදුවීම නිසා ඔවුන්ගෙන් ඇතැමෙක් බිහිරි තත්වයට පත් ව තිබිණි.
මේ අතරවාරයේ බොකෝ හරාම් ත්‍රස්තවාදීහු තමන් වෙත රඳවා තබාගෙන සිටින පාසල් දැරියන් පිළිබඳ වීඩියෝ නිකුත් කළහ. ඒවායේ සිටි ඇතැම් දැරියක් පැවසුවේ තමන් ගේ පාසල් මිතුරියන් දුක්ඛිත ආකාරයෙන් මිය ගිය අන්දමයි.
ඇම්නේස්ටි ඉන්ටනැෂනල් ආයතනය හෙවත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය 2016 වසරේදී ප්‍රකාශ කළේ 2014 වසරේ මුල් භාගයේ පටන් ඒ දක්වා දරුදැරියන් 2000 ක් පමණ බොකෝහරාම් ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන ඇති බවයි. එම දරු දැරියන් ව ත්‍රස්තවාදීන් පාවිච්චි කළේ ආහාර පිසින්නන්, ලිංගික වහලුන්, සටන්කරුවන් සහ ඇතැම් අවස්ථාවලදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස ය.
2015 වසරේදී බොකෝහරාම් ත්‍රස්තවාදීන් විසින් බටහිර අප්‍රිකාවේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සඳහා ළමුන් 44 දෙනෙක් යොදාගෙන තිබේ. ඔවුන්ගෙන් ඇතැමෙක් වයස අවුරුදු 8 තරම් ළාබාල වියේ පසුවන අය ය. බහුතරය දැරියන් ය. මරාගෙන මැරෙන බෝම්බ වශයෙන් ඔවුන් ව යොදාගෙන තිබුණේ පාසල් සහ පොදු වෙළඳපොළවල බෝම්බ පිපිරීම් සඳහා බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
බොකෝහරාම් අර්බුදය අවසන් වන්නේ කවදාද?
2018 වසරේදී ද බොකෝ හරාම් ප්‍රහාර ගණනාවක් නයිජීරියාවෙන් වාර්තා විය. පෙබරවාරි මාසයේ යොබේ ප්‍රාන්තයේ පාසලකට පහර දුන් ත්‍රස්තවාදීහු පාසල් දැරියන් තවත් 110 දෙනෙක් පැහැර ගත්හ. එයින් මාසයකට පසු නයිජීරියානු රජය පැවසුවේ එයින් 101 දෙනෙක් මුදාගත් බවයි. මෙයට පෙර අප්‍රේල් 8 වැනිදා ද බොකෝහරාම් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිටි 149 දෙනෙක් ව බේරා ගැනිණි.
මේ වන විට බහුජාතික ඒකාබද්ධ හමුදාව, බොකෝහරාම් සංවිධානය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා කළ යුත්තේ කුමක්දැයි තවදුරටත් සාකච්ඡා කරමින් සිටිති. මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ ඊසානදිග නයිජීරියාවේ බොකෝහරාම් බලකොටුවක් සේ සැලකෙන බොර්නෝ ප්‍රාන්තයේ විශාලතම නගරය සහ අගනුවර ලෙස සැලකෙන මයිදගුරි හි ය. බොකෝ හරාම් මෙල්ල කිරීමේ මහා මෙහෙයුම ඔවුන් නම් කර තිබෙන්නේ Operation Safe Corridor යනුවෙනි. ඒ යටතේ මේ දක්වා බොකෝහරාම් ත්‍රස්තවාදීන් 8000 ක් දෙනා ස්වෙච්ඡාවෙන් නයිජීරියානු රජයට භාර වී තිබේ. ඔවුන් පුනරුත්ථාපනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් හඳුන්වා දීම ද නයිජීරියානු රජයට පැවරී ඇති විශාල වගකීමකි.
- අමාලි ජයවීර | OUTBOUNDTODAY.COM
0 comments :
Post a Comment