ශ්‍රි ලංකාවේ වාර්ෂික මරණ අතරින් 7%ක් දියවැඩියාව නිසා


ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණ අතරින් සියයට හතක් (7%ක්) දියවැඩියාව නිසා සිදුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන්
කළාය. දියවැඩියාව ප්‍රධාන මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට ජාතිකව සහ අන්තර්ජාතිකව පත්ව තිබෙන බවත් මෙරට ළමා හා තරුණ පරපුර දියවැඩියාව නිසා දැඩි අවදානමක පසුවන අතර සෑම යෞවනයන් හය දෙනකුගෙන් එක් අයකු දියවැඩියා අවදානමේ පසුවන බවත් සෑම වැඩිහිටියන් දොළොස්දෙනකුගෙන් එක් අයකුට දියවැඩියාව  පවතින බවත් ඇය පැවැසුවාය.

නොවැම්බර් මස 14 වැනි දිනට ලෝක දියවැඩියා දිනය යෙදී ඇති අතර මෙවර එහි තේමාව වන්නේ "දියවැඩියාව සහ පවුල" යන්නයි. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ (07දා)සෞඛ්‍ය

ප්‍රවර්ධන කාර්යාංශයේදී ඇය මේ බව සඳහන් කළාය. හෘදයාබාධ, අංශභාගය සහ වකුගඩු අක්‍රියවීමට මූලික හේතුව වන්නේ දියවැඩියාව බවත්, දියවැඩියාව වැලඳීමට ප්‍රධාන හේතුව වන්නේ නිවරැදි ජීවන රටාවක් අනුගමනය නොකිරීම බවත් මෙහිදී අදහස් දැක්වූ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පැවැසුවේ නිසි ආහාර ගැනීම, උසට සරිලන බර පවත්වා ගැනීම, ව්‍යායාම කිරීම, දුම්පානය සම්පුර්ණයෙන් නතර කිරීම, මානසික ආතතිය පාලනය කිරීම සහ මත්පැන් භාවිතය සම්පුර්ණයෙන් නතර කිරීම හෝ අවමයකින් පවත්වා ගැනීම යන මේ කරුණු හය මඟින් මෙම රෝගී තත්ත්වය වළක්වා ගැනීමට හැකි බවත් වෛද්‍ය ප්‍රියකර ජයවර්ධන මහතා කියා සිටියේය.

එමෙන්ම ගර්භණී සමයේදී දියවැඩියාව නිසි ආකාරයෙන් පාලනය නොකළහොත් ඉපදෙන දරුවා ආබාධිත තත්ත්වයට පවා පත්වීමේ අවදානම පවතින බවත් දියවැඩියාව වැලඳුණහොත් නිට්ටාවට සුවකළ නොහැකි අතර කළ හැකි වන්නේ එය පාලනය කිරීම පමණක් බවත් ඔහු පැවැසුවේය. දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග වළක්වා ගැනීම සඳහා යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව පුරා පිහිටා ඇති සුව දිවි මධ්‍යස්ථානවලට ගොස් සෞඛ්‍ය පරික්ෂාවන් සිදුකොට අදාළ උපදෙස් පිළිපැදීම කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය. එහිදී 0112669599 ඇමතීමන් සුවදිවි මධ්‍යස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ අවස්ථාවට බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා, කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

-ඉරේෂා දිල්හානි-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment