ලබන වසරේදී උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් අවසන්.

ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන් කරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ හරහා ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 120ක ධාරිතාවයක් එකතු වන බව ඔහු ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ, පසුගියදා උමා ඔය බලාගාරයේ ඉදිකිරීම් ප්‍රගතිය නිරිකෂණය කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

තමන්ට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් මෙවැනි ව්‍යාපෘති නිම කර, ජාතික විදුලි බල පද්ධතියට ලබාදිය හැකි දායකත්වය ලබා දෙන්න බවද අමාත්‍යවරයා පවසයි. 

උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.

ව්‍යාපෘතිය පුහුල්පොල හා ඩයබරා අසල කුඩා ජලාශ දෙකකින් සමන්විත වන අතර, එම ජලාශ දෙක උමගකින් සම්බන්ධ වේ. 

රන්දෙණියෙහි පිහිටි භූගත විදුලි බලාගාරය හරහා  (transbasin) උමගක් ඔස්සේ, ජලය උමා ඔයේ සිට කිරිඳි ඔය දක්වා යොමු කරයි. 

කිලෝ මීටර 27 ක් දිග ද.වෝ. 132 (kV) සම්ප්‍රේෂණ රැහැන් මාර්ග පද්ධතියක් මගින් මෙම බලාගාරය බදුල්ල ග්‍රිඩ් උපපොළ හා සම්බන්ධ කෙරේ.

ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇමර්කානු ඩොලර් මිලියන 5 29ක් හා රුපියල් බිලියන 06 කි. ඉරාන රජය, ඉරාන අපනයන සංවර්ධන බැංකුව (Export Development Bank of Iran) මගින් ඇමරිකානු ඩොලර් මිලියන 450 ක්, ණය මුදලක් ලෙස සපයයි.

 වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය සහ ඉරාන රජය මගින් නම් කරන ලද කොන්ත්‍රාත්කරු වන, ෆෙරාබ් බලශක්ති හා ජල ව්‍යාපෘති සමාගම (Farab Energy and Water Project Company) අතර කොන්ත්‍රාත්තුව 2008 අප්‍රේල් මස 28 දින අත්සන් තබන ලද අතර, 2010 මාර්තු මාසයේ සිට කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කරනු ලැබීය. 

2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂා කළ නමුත්, යම් යම් හේතූන් මත ප්‍රමාදවූ උමා ඔය ජලවිදුලි ව්‍යාපෘතිය, වර්තමාන විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත ලබන වසරේ අප්‍රේල් - අගෝස්තු යන කාලසීමාව තුලදි නිම කෙරෙනු ඇත.  

මෙම නිරීක්ෂණ චාරිකාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විෂයභාර අමාත්‍යවරයා පැවසුවේ අද පවතින විදුලි ඇනහිටීම් වලට ප්‍රධානම හේතුව යම් යම් හේතූන් මත මෙවැනි ව්‍යාපෘති ප්‍රමාදවීම බවයි.

තම පාර්ශවයේ එකම අධිෂ්ඨානය මෙන්ම ප්‍රයත්නය වන්නේ, තිබෙන බාධක, අවහිරතා ඉවත් කර, මෙවැනි ව්‍යාපෘති කඩිනමින් නිම කර,  විදුලි ජනනය වර්ධනය කිරීම බව අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට රු. මිලියන 6,781 ක කොන්ත්‍රාත්තුවක්

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් විදුලිබලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ආයෝජන වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 115ක ණය මුදලක් ලබා දී ඇත.


මෙම ව්‍යාපෘතිය මඟින් පැකේජ 9ක් යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර, එහි පැකේජය 4 යටතේ කිලෝවොට් 33නේ බෙදාහැරීමේ මාර්ග කුලුනු සහ ග්‍රැන්‍ට්‍රි ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 6,781.5ක මුදලකට චීනයේ Qingdao Huijintong Power Equipment Co. Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget