බොරැල්ල කොළඹ 7මෙන් සුපිරි තත්ත්වයට පත්කරනවා

රාජ්‍ය සේවකයින් සඳහා ඉදිකරනු ලබන අංගසම්පූර්ණ මහල් නිවාස සංකීර්ණය ඊයේ (04) බොරැල්ල (ඕවල් ක්‍රීඩාංගණය අසල) දී ඇමැති පාඨලී චම්පික මහතා සුබ මොහොතින් ඉදිකිරීම් යන්ත්‍රයක් ක්‍රියාත්මක කර වැඩ ආරම්භ කළ අයුරු.

ඉදිරි වසර හතර තුළදී බොරැල්ලත් අපි කොළඹ 07 මෙන් සුපිරි තත්ත්වයට පත්කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවසූවේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් බොරැල්ල ඕවල් ක්‍රීඩාංගනය අසල ඉදිවන නිවාස 608කින් සමන්විත සුවිසල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ඇමැති චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පෙරවරුවේ සුභ මොහොතින් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නායකත්වයෙන් වර්තමාන රජය විසින් මහජනතාවට උසස් ජීවන තත්වයක් ලබාදීමේ අරමුණින් ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘති අතරින් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ඉදිවන නිවාස ව්‍යාපෘති අතරින් මේ තවත් එක් ව්‍යාපෘතියකි.මෙහිදී ආගමික වතාවත් සිදුකිරීම බොරැල්ල ගග පහළ විවේකාරාමාධිපති අමරපුර සිරිසද්ධම්ම යුක්තික මාතර මහනිකායික මහනාහිමි නාකලගමුවේ ප්‍රේමතිලක,ශ්‍රී ලංකාරාමාධිපති වීරගොඩ ඥානහිමි,බෝසෙත ධර්ම නිකේතනාධිපති මරදන්කඩවල සෝපිත හිමි ඇතුළු භික්ෂූන්වහන්සේලා විසින් සිදු කරන ලදි.

මහල් 21ක නිවාස ඒකක 608කින් සමන්විතව ඉදිවෙන මෙම නිවාස සංකීර්ණනයේ වර්ග දෙකකින් නිවාස ඉදිකෙරේ. එනම් වර්ග අඩි 675කින් යුත් නිවාසයන්හි නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක්,මුළුතැන් ගෙයක්,ටයිල් ඇතිරූ ගෙබිම හා නාන කාමර පද්ධතියකින් සමන්විතවේ.

එසේම වර්ග අඩි 850 කින්යුත් නිවාසයන්හි නිදන කාමර 03,විසිස්ත කාමරයක් මුලුතැන් ගෙයක්, ටයිල් ඇතිරූ ගෙබිම සහ නානකාමර පද්ධතියකින් සමන්විත වන අතර ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ලොව නවීන නගර අලංකාරයන්ද සමගින් ඉතා විධිමත් ලෙස යටිතල පහසුකම් සංවර්ධනය කර මෙම නිවාස නිමකෙරෙනු ඇත.

නිවාස සංකීර්ණය ඉදිකිරීමට සමගාමීව හරිත උද්‍යාන, ළමා උද්‍යාන, ක්‍රීඩාංගන ඇතුළු සුඛෝපභෝගී පරිසරයකට අවශ්‍ය සියළු පහසුකම් ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ. අක්කර 2 රූඩ් 03ක නාගරික සංවර්ධන අධිකාරිය සතු භුමි භාගයක ඉදිවන මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් කෝටි 500ක මුදලක් ඇස්තමේන්තු ගත කර ඇති අතර වසර 03ක් ඇතුළත මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට නියමිතව ඇත.

රාජ්‍ය සේවයේ වසර 05ක සේවා කාලයක් සැපිරූ වෘත්තිකයින් හා නිවාස අහිමි සේවක මහත්ම මහත්මීන් හට මෙම ව්‍යාපෘතියේ නිවසක් ලබා ගැනීමේ සුදුසුකම ලැබේ. මෙම ව්‍යාපෘතියේ නිවාස ලබාගැනීමට සුදුසුකම්ලත් රාජ්‍ය සේවක සේවිකාවන්ට අයදුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන නාගරික සංවර්ධන අධිකාරිඅයේ නාගරික පුනර්ජීවණ ව්‍යාපෘතිය මගින් ලබාගත හැක. මීට පෙර මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස ලබාගැනීම සදහා අයඳුම් පත් ලබාගෙන ඇත්නම් නැවත නොමිලේ අයඳුම්පත් ලබාදිමට එම ව්‍යාපෘතිය කටයුතු යොදා ඇත.

බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලැස්මට සමගාමීව බස්නාහිර පළාත තුළ නගර 23ක් සංවර්ධනය කිරීමට මේ වන විටත් නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත. ඒ අනුව බොරැල්ල නාගරික බල ප්‍රදේශයේ ද නව සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට නියමිත අතර එහි ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතිය සැලකේ.

වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය පාඨලී චම්පික මහතා මෙසේද කීය.

මීට අමතරව කොළඹ පැල්පත්වාසීන් සදහා නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට නියමිතයි.පාරවල් අවහිරකරගෙන රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින අයට නිවාස ලබාදෙන්නේ නැහැ.

ඉදිරියේ දී හෝමාගම, රත්මලාන, රාගම, කැලණිය,යන ප්‍රදේශයන්හි මධ්‍යම පංතියේ නිවාස ඉදිකෙරෙනවා. වර්තමාන රජය දුගී ජනතාව රැක බලාගැනීමත් මධ්‍යම ප්‍රාන්තිකයින් ඉදිරියට ගෙනියනවා. නිවාස සංවර්ධන අධිකාරිය සැමට සෙවන දෙන ව්‍යාපෘතිය ගොඩනගා සැමට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ ඉදිරියටම ගෙනියනවා.

නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, එක්සත් ජාතික පක්ෂ බොරැල්ල සංවිධායක ජයන්තද සිල්වා, අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ, නාගරික සංවර්ධන අධිකාරිය,රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව,ඇක්සස් ඉංජිනේරු සමාගම, ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවී සිටියහ.



(දිනමිණ පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment