මට රැකගන්න හොඳ නමක් තියෙනවා – රුවංගි

රුවංගි රත්නායක නම කලින් කල කරළියට එන්නේ රංගන ක්‍ෂේත්‍රයේ පළකරන දක්ෂතා නිසා විතරක්ම ‍නෙවෙයි. විවිධ විලාසිතා, ප්‍රකාශ හරහාත් ප්‍රසිද්ධිය වර්ධනය කර ගන්න රුවංගි, රිවිසරසි සංවාදයට එකතු වුණේ මෙහෙමයි.

රුවංගි, රංජන් එක්ක බොහෝම සමීපව ඉන්න බව පේනවා?
ආ… ඔව්. අපි කලා ක්‍ෂේත්‍රයේ වැඩ කිහිපයක්ම කළා, පසුගිය දවස්වල. ඩොක්ටර් නවරියන් ෆිල්ම් එකේ ෂූටින් ඉවර වුණා. රන් සයුර කියලා තවත් චිත්‍රපටයකට දායක වුණා. ඒ වගේම ටෙලි නාට්‍ය 2 ක වැඩකටයුතු කරමින් තරමක් කාර්යබහුලව දවස ගෙවනවා.

වෘත්තීය නිළියක් නිසා රුවංගි ලැබෙන හැම චරිතයම භාර ගන්නවා ඇති?
නැහැ… මම ඒකාකාරී චරිත ප්‍රතික්‍ෂේප කරනවා. මම ආසයි විවිධ විධිවල චරිත හරහා දක්ෂතා පෙන්වන්න.

රංගනයේදීත් රුවංගිට ඇඳුම් සම්බන්ධ සීමාවල් නැද්ද?
නැහැ. මේ වෙනකල් මම කෙටි ඇඳුම් හෝ ඇඟ පේන ඇඳුම් අඳින්න සිද්ධ වීම නිසා එකම චරිතයක්වත් ප්‍රතික්‍ෂේප කරලා නෑ.

ඒ කියන්නේ රුවංගිගේ රංගනයට සීමා නෑ?
සීමා නම් තියෙනවා. වැඩිහිටියන්ට පමණක් නරඹන්න පුළුවන් චිත්‍රපටවල, නාට්‍යවල මම රඟපාන්නේ නෑ.

චරිතයක් තෝරා ගන්න පදනම මොකක්ද?
පළමුවැනිම දේ චරිතය මොකක්ද කියන එක. ඊළඟට ඒකේ අධ්‍යක්ෂවරයා කව්ද, ලොකේෂන් එක මොකක්ද, රඟපාන අනික් අය කව්ද, ගෙවීම කීයද කියලා හොයලා බලනවා.

වෘත්තීය නිළියකට එහෙම චරිත ප්‍රතික්‍ෂේප කරන්න පුළුවන්ද?
වෘත්තිය නම් රඟපෑම තමයි. ඒත් එහෙමයි කියලා මට රංගනය නිසා පුද්ගලික ජීවිතේට හානි වෙන චරිත කරන්න බෑ. මට හොඳ නමක් තියෙනවා. මම ඒ නම ආරක්ෂා කරගන්න ඕන.

රුවංගි සමාජශීලී කෙනෙක්ද? තෝරා බේරාගෙන යාළුකම් පවත්වන කෙනෙක්ද?
මම සමාජශීලියි. ඒත් පුද්ගලිකව ළඟින්ම හිතවත් වෙනකොට මං ආශ්‍රය කරන්නේ කව්ද කියලා හොයලා බලනවා.

රසිකයන්ගේ ප්‍රතිචාර ඉහළින්ම ලැබෙනවද රුවංගි?
ඔව්. ඔව්. මේ ළඟදී මම බෙල්ලන්විල පන්සලට ගියා. අවුරුදු 12 ක විතර දරුවෙක් ඇවිත් මට දණගහලා වැන්දා. මමත්, මා එක්ක ඉඳපු යාළුවත් බය වුණා මේ මොකක්ද වෙන්නේ කියලා. ඊට පස්සේ ඒ ළමයගේ අම්මා ඇවිත් කීවා මෙයාගේ කැමැතිම නිළිය ඔයා. ඒ නිසයි දණගහලා වැන්දෙ කියලා. ඒ තරම්ම ප්‍රතිචාර මට ලැබෙනවා.

එහෙම නම් රුවංගිගේ ගවුම් විලාසිතා, කොණ්ඩ විලාසිතා අනුකරණය කරන බොහෝ පිරිසක් ඇති?
ඔව්. මට ඕනතරම් මුණගැහිලා තියෙනවා. අනුරාධපුර වගේ ඈත පළාත්වලට ගියාම මම වගේ කොණ්ඩය පීරණ, මම වගේ ඇඳුම් පැලඳුම් අඳින්න ආස කරන හුඟ දෙනෙක් මට මුණගැහිලා තියෙනවා. ඒ ගැන මට සතුටුයි.

රුවංගිගේ ගවුම් විලාසිතාවලට හුඟ දෙනෙක් විවිධ චෝදනා නගනවා නේද?
මම ඒ චෝදනා නම් ගණන් ගන්නේ නෑ. මම විලාසිතා කරන්න ආසයි. මම ගවුමක් අඳින්නේ පැය කිහිපයකට විතරයි. ඒත් මම ඒ ගවුම ගැලෙව්වට පස්සෙත් හුඟක් අය ඒ ගවුම ගැන කතා වෙනවා. ඒ කතා නිසා මම අපහසුතාවට පත් වෙන්නේ නම් නෑ.

ප්‍රසිද්ධ චරිතයක් වීම ගැන කනගාටුවක්වත් නැද්ද?
නෑ… නිළියක් වීම වාසනාවක්.

නිළියක් වෙන්න වාසනාව තිබුණම ඇතිද?
මදි. දක්ෂකම ඕනෑ. ඒත් වාසනාව නැතිකම නිසා දක්ෂයෝ හුඟදෙනෙක් කලා ලෝකෙන් අසාර්ථක වෙනවා අපි දැකලා තියෙනවා.

රුවංගි මේ ක්‍ෂේත්‍රයේ තව කොපමණකල් රැඳෙනවද?
වයසට ගිහින් අතපය වාරු නැතිවෙනකල් රැඳෙනවා.

එහෙම බැරිවුණ දවසට?
ගෙදර නවතිනවා.

මේ පාර නම් රුවංගිට වැලන්ටයින් සරුවට තිබුණා නේද?
වැලන්ටයින් සමරන්න ලැබුණේ නෑ.

එහෙම කියන්නේ ජනප්‍රියතාව අඩුවෙනවට නේද?
එහෙම නම් නෑ

ඒත් දැන් විවාහයට කාලය හරි?
වැඩිකල් නොගිහින් ඔයාලට විවාහය ගැන ආරංචිය ගේන්නම්

ඒ කියන්නේ ඉක්මනින්ම එයා ගැන විස්තර එළි කරනවද?
විස්තර එළි කරන්න ඉතින් මුලින්ම එයා හමුවෙලා තියෙන්න එපැයි.

එහෙනම් ඉක්මන් විවාහයක් ගැන ආරංචිය ගේන්නම් කිව්වේ?
ඔව්. විවාහ වෙන්න කෙනෙක් ඉක්මනින්ම හම්බුණාම, විවාහය ගැන ආරංචිය ඉක්මනින් ගේන්නම්


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment