දංකොටුවේ ඝාතකයන් පාපොච්චාරණයක

දංකොටුව - ඉරබඩගම - කොස්හේනවත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් තුළ පිළිස්සී මියගිය පුද්ගලයන් පස්දෙනා ඝාතනය කර ඇත්තේ පන්නල - මාකඳුර සති පොලේදී බව තහවුරු වී තිබෙනවා.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් පස්දෙනා ඒ පිළිබඳව පාපොච්චාරණය කර ඇති බවයි.

දංකොටුව ප්‍රදේශයේදී සිදුවූ පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් ඊයේ පස්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වූයේ මොවුන් කප්පම් සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවටයි.

මේ අතර පන්නල - මාකඳුර සති පොලේ ස්ථාන කිහිපයක ලේ පැල්ලම් තිබෙන බව එහි වෙළඳුන් කිහිපදෙනෙකු පොලීසියට දැනුම්දී තිබුණා.

ඒ අනුව අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පස්දෙනා අදාළ ස්ථානයට රැගෙන ගිය අතර ඔවුන් පොලීසියට ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණය කර ඇත්තේ ඒ අවස්ථාවේදියි.

මීට අමතරව මහේස්ත්‍රාත් පරික්ෂණයද ඊයේ සවස සිදුකළ අතර සති පොලේ තිබූ ලේ පැල්ලම්වල සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය ප්‍රකාශ කළා.

දංකොටුව - කොස්හේනවත්ත ප්‍රදේශයේ ජනශූන්‍ය ප්‍රදේශයක ගිනිගෙන විනාශ වූ වෑන් රථයක් තුළ තිබී පිළිස්සුණු මළ සිරුරු 5 ක් පසුගිය 11 වනදා සොයාගත්තා.

පසුව එම වෑන් රථයේ හිමිකරු කොල්ලූපිටිය ප්‍රදේශයේ කාන්තාවක් බවට අනාවරණ වූ අතර, එම කාන්තාව වෑන් රථය මූල්‍ය ආයතනයකට කුලී පදනම මත ලබාදී තිබූ බවටයි හෙළිවුණේ.

එම මූල්‍ය ආයතනය විසින් මාකඳුර - කජුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන නේවි කපිල නැමැත්තෙකුට වෑන් රථය ලබාදී තිබූ අතර ඔහු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි හෙළිවුණේ.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment