සාපෙ ප්‍රතිඵල මෙම වෙබ් අඩවි වලින්



2015 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල www.doenets.lk  සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ(19) පස්වරුවේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට යොමු කෙරුණි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛණ අද(20) තැපෑලට යොමුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රතිඵල ලේඛන පාසල් වෙත තැපැල් කෙරෙන අතර පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ද ඉදිරියේ දී ප්‍රතිඵල තැපැල් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද පෙරවරු 10න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව මඟින් විදුහල්පතිවරුන් වෙත නිකුත් කෙරෙයි.


2015 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව ඉහළම ප්‍රතිඵල වාර්තා කිරීමට කොළඹ විද්‍යාල කිහිපයක් සමත්ව තිබේ.

 පළමු ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ එස්.සත්සරණි හෙට්ටිආරච්චිට හිමිව ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 කොළඹ නාලන්දා විද්‍යාලයේ කේ.කේ.සමල්පුන්සර දෙවන ස්ථානයත්, දේවී බාලිකා විද්‍යාලයේ ආර්.මලීනා රත්නායක සහ මහනුවර මහාමයා විද්‍යාලයේ ආර්.එම්.ඉන්දීවරී උමයංගා තෙවන ස්ථානත් ලබා සිටියි.

 නාලන්ද විද්‍යාලයේ රනිදු අරුණජහේරත් සිව්වන ස්ථානයත්, ආනන්ද විද්‍යාලයේ නෙවිඳු අමජිත් වල්පිට පස් වන ස්ථානයත්, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හිරුෂ නෙත්සර හය වන ස්ථානයත් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 හත් වන ස්ථාන දෙකක් සහ අට වන ස්ථාන තුනක් වාර්තා වී තිබේ.

 ඒ අනුව පානදුර ශ්‍රී සුමංගල  විද්‍යාලයේ ඒ.තරුෂි අංජලිකා සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දිනෙත් සංජුල ජයකොඩි හත් වන ස්ථානවලට පත්ව තිබේ.

  කොළඹ ආනන්ද විද්‍යාලයේ චතුරංග විජේසිංහ, ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ අමායා නානායක්කාර , මාතර රාහුල විද්‍යාලයේ යසස්වින් වෙල්ලප්පුලි අටවන ස්ථාන වලට පත්ව තිබේ.

 මේ අතර නැවත විභාග සමීක්ෂණය සඳහා අප්‍රේල් 20 වන දිනට පෙර අයදුම්පත් යොමුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත් ප්‍රතිඵල ලේඛන සමඟ විදුහල්පතිවරුන් වෙත යොමුකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 ජාතික පුවත්පත්වල ඉදිරියේ දී පළ කරන දැන්වීම් අනුව පෞද්ගලික අයදුම්කරුවන්ට නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර යොමුකළ හැකිය
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment