සිල් බිඳගන්න අදහසක් මට නම් නෑ – ගයේෂා


ගයේෂා පෙරේරා. ඇය කලා ක්‍ෂේත්‍රයේ අංශ කිහිපයකින් මතුවන චරිතයක්. මේ දවස්වල ගයේෂාත් සිල් බිඳ ගන්න ලෑස්ති වෙනවා කියලා අපිට ආරංචි වුණා. විවිධ කතන්දර එක්ක ගයේෂාගේ කලා තොරතුරු හා පවු‍ලේ තොරතුරු මෙවර රිවිසරසි පිටු අතරේ තියන්න අපි කල්පනා කරන්න හිතුවේ ඒ නිසයි. මේ ගයේෂාගේ තොරතුරුයි.

ගයේෂාත් නදීශා හේමමාලි වගේ සිල්බිඳ ගන්න ලෑස්ති වෙනවා කියලා අපිට ආරංචි වුණා. මුලින්ම ඒ ගැන කියලම අපි කතාබහ ආරම්භ කරමු…?
මගේ නම් එහෙම සූදානමක් නැහැ. සිල් බිඳ ගන්න ගීතයේ වීඩියෝව වගේ තව වීඩියෝ එකකට සම්බන්ධ වෙන්න මම හිතලත් නැහැ. ඒත් එහෙම ආරංචියක් පැතිරෙනවා.

 ගයේෂා මොන දේ කළත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වෙනවා. වැඩිපුර කතාබහට ලක්වෙන්න අවශ්‍ය නිසා උප්පරවැට්ටි දානවද?
මම සිංදුවක් කළත්, නැටුමක්, චිත්‍රපටයක රංගනයෙන් දායක වුණත් ඇත්තටම ආන්දෝලනාත්මක දෙයක් වෙනවා. කතාබහට ලක් වෙනවා. ගයේෂා පෙරේරා කිව්වම ඉතිං එහෙම තමයි. අමුතුවෙන් ජනප්‍රිය වෙන්න ඒ දේවල් කරන්න ඕන කියලා හිතන්නේ නැහැ. හරි දේ තෝර ගන්න නිසා ඒ විදිහට කතා බහට ලක් වෙනවා.

කටකතා හැදෙන වේගයත් වැඩියි නේද? ළඟදී හිත රිදුණ කටකතාව මොකක්ද?
ජනප්‍රිය නොවෙන අයට කටකතාවක් හදලා වැඩක් නැහැනේ. ජනප්‍රිය කෙනෙක්ට කට කතාවක් හැදුණොත් හැමෝම ඒ ගැන කතා කරනවා. මට හැමදාම කටකතා හැදුණා. ඒත් ඒ කිසිම කතාවක් කටකතා මිසක් ඇත්තක් ‍නෙවෙයි. ඒ නිසා මගේ හිත රිදිලා නැහැ. මම මගේ හිත කටකතාවලට රිද්දා ගන්නේ නැහැ.

  ඉගිලෙන මාළුවෝ” චිත්‍රපටයේ ඔබ දායක වුණ චරිතය වගේ ආන්දෝලනාත්මක චරිතයකට නැවතත් ආරාධනා ලැබුණොත්…?
ඒ වගේ නිර්මාණයකට තවම ආරාධනා ලැබුණේ නැහැ. මම ළඟදී හොඳ චිත්‍රපටයකට සම්බන්ධ වෙනවා. ඒ නිසා මගේ වැඩි දායකත්වය ඒ නිර්මාණයට ලබා දෙන්න ඕන නිසා එවැනි ආරාධනාවක් ලැබුණොත් ඉදිරියේ දී තමයි ඒ ගැන හිතන්නේ. එවැනි ආරාධනා ගයේෂාට ලැබෙයි, සහභාගි වෙයි.

 ගයේෂා රංගනයෙන් දායක වුණ තවත් චිත්‍රපට ළඟදී විකාශය වෙනවද?
මොහාන් නියාස් මහත්මයාගේ බඹර වසන්තේ චිත්‍රපටයට සම්බන්ධ වුණා. චන්න පෙරේරා එක්ක රඟපාන ප්‍රථම අවස්ථාව එය. ප්‍රවීණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් ඉන්නවා. ඒ චිත්‍රපටය වගේම පැරෂුට් කියන අමිල කරුණානායකගේ නිර්මාණයට සම්බන්ධ වුණා. මගේ අම්මට රඟපාන්නේ දිල්හානි ඒකනායක අක්කා එක්ක. සිනමා නිර්මාණයකට ඇයත් එක්ක සම්බන්ධ වුණේ ප්‍රථම වරට නිසා එය මට විශේෂ එකක් වුණා. ඒ නිර්මාණයෙනුත් ළඟදීම මාව දැක ගන්න පුළුවන්.

 පුංචි තිරයට ගයේෂාගේ දායකත්වය අඩුවෙලා. පුංචි තිරයට රංගන දායකත්වය ලබා දීම ස්වයං වාරණයකට යටත් කරලාද?
වසරක කාලයක ඉඳලා “සඳවතියේ” කියන ටෙලි නාට්‍යය සෙනසුරාදා රාත්‍රී 9.30 ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා. මගේ චරිතය උමා. ඒ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම මම ටෙලි නාට්‍යවල නිතරම දකින්න කැමැති නැහැ. ස්වයංවාරණයක් දා ගෙන ඉන්නේ. මෙගාවලට සහභාගි වෙන්නේ නැහැ. අවුරුද්දකට එක නිර්මාණයකට සහභාගි වෙනවා. මම මීට කලින් ටෙලි නාට්‍ය අටකට සහභාගි වුණා. ඒවා ඉදිරියේ දී විකාශය වෙයි. ඒ හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. මම චරිත ගැනත් හිතනවා.

 මේ දවස්වල ගයේෂා ආයෙමත් නටනවා නේද?
ඔව්. ලංකාවේ පළමු වතාවට රංගනය, ගායනය, නර්තනය, එක්තැන් වුණ රියැලිටි වැඩසටහනකට මමත් සහභාගි වුණා, දෙරණ නාලිකාවේ. ලැබෙන ප්‍රතිචාරත් ඉහළයි. මගේ නර්තන හැකියාව, මගේ කණ්ඩායම වෙනුවෙන් උපරිමයෙන්ම වෙනස් ආකාරයකට ලබා දෙන්න මම උත්සාහ කරනවා.

 ගයේෂාගේ කාර්යබහුලකම පවුල් ජීවිතයට හරස්වෙලා නැද්ද?
මම ගොඩක් කාර්යබහුලයි. ඒත් පවුල කියන දේ මගේ ජීවිතේ අංක එක. මම උදේ පාන්දර නැගිටලා මගේ අතින්ම හස්බන්ඩ්ට තේ එක හදලා දීලා, කෑම හදන එකේ ඉඳලා ගෙදර සියලු වැඩ කරන්නේ මමමයි. මගේ උදව්වට කවුරුත් නැහැ. ගෘහණියගේ වගකීම මම මගහරින්නේ නැහැ. එහෙම වුණොත් තමයි පවුල් ජීවිතයක් නැත්තේ.

සැමියාගෙන් උදව් උපකාර ලැබෙනවද?
මගේ සැමියා මාධ්‍යයට සම්බන්ධ කෙනෙක්. හසංජිත්. ඔහු සමාජය එක්ක ගනුදෙනු කරන කෙනෙක් නිසා මගේ වැඩකටයුතු ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා මගේ වැඩකටයුතු වලට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇත්තටම කිව්වොත් මේ ලෝකේ මට මොනවද අවශ්‍ය ඒ දේ මට කොහොම හරි දෙන්න ශක්තියක් තියෙන සැමියෙක් මට ඉන්නේ. ආදරය, ආරක්ෂාව ගැහැනියකට අවශ්‍යයි. ඒ දේ ඔහු මට ලබා දෙනවා. අපි දෙන්නාගේ බැඳීම බොරු ආටෝපයක් ‍නෙවෙයි.

පුංචි පවුල සම්පූර්ණ කරන තුන්වැන්නා ගැන තවම හිතලා නැද්ද?
අපේ පවුල මේ අවුරුද්දේ අන්තිමට සම්පූර්ණ කර ගන්න උත්සාහ කරනවා. ලබන අවුරුද්දේ හරි දරු සුරතල් බලන්න පුළුවන්, එතකොට.

මේ දිනවල ජාත්‍යන්තර විවිධ නිරූපණ පැජන්ට් පැවැත්වෙනවා. විවාහක රූ රැජින, වෙන්නවත් අදහසක් නැද්ද?
මම අවිවාහක රූ රැජින වුණා වගේ කවදා හරි දවසක විවාහක රූ රැජින වෙන අදහසින් විතරයි ඒ පැජන්ට එකට සහභාගි වෙන්නේ. ඒකට තව ටික කාලයක් යයි. කාලය තමයි ඒ තරගාවලියට සම්බන්ධ වෙන්න පළපුරුද්ද හදලා දෙන්නේ.

දේශපාලනයෙන් ගයේෂාව ප්‍රතික්‍ෂේප වුණ එකට දුකක් නැද්ද?
හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලන්න ඕන. මම විශ්වාස කරනවා මම උත්සාහ කළොත් ඒ ඉලක්කයට ළං වෙන්න පුළුවන් කියලා. මම උත්සාහයක් අරගෙන බැලුවේ. ප්‍රතික්‍ෂේප වුණාට දුකක් නැහැ.



(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment