මම චම්පික වරද පිළිගන්නවා මම චම්පික වරද පිළිගන්නෙ නැහැ * ප්‍රසිද්ධ නිළියක්‌ ගැනත් සඳහනක්‌

දිනය පසුගිය විසිඅට (28) වැනි ඉරිදාය. වෙලාව රාත්‍රී 9.30 පසුවූවා පමණි. රාත්‍රී කාලය උදාවී තිබූ නිසා රාජගිරිය වැලිකඩ මාර්ගයේ වැඩි රථවාහන තදබදයක්‌ද නොතිබුණි. එම මාර්ගයේ කළු පැහැති සුඛෝපභෝගී ජීප් රථයක්‌ අධික වේගයෙන් ගමන් කළේය.

ගතවූයේ නිමේෂයකි. මුළු රාජගිරියම දෙවනත් වන සේ "දඩාං" කියා ශබ්දයක්‌ පිටවුණි. සිදුවූයේ කුමක්‌දැයි දැනගත්තේ තත්ත්පර ගණනකින් පසුවයි. වේගයෙන් පැමිණි කළු පැහැති ජීප් රථය යතුරුපැදියක ගැටී තිබුණි. මෝටර් සයිකලය පැද ආ තරුණයා බරපතළ තුවාල ලබා මාර්ගය අයිනේ වැටී සිටියේය. යතුරුපැදියේ ඉදිරිපස කොටස කුඩුපට්‌ටම් වී තිබුණි.

වරද කාගේ වුවත් ශිෂ්ට සම්පන්න පුද්ගලයකු එම කළු පැහැති ජීප් රථය පැදවූයේ නම් අනතුර සිදුවූ වහාම රථය නවත්වා තුවාලකරු ගැන සොයා බැලීමට පියවර ගත යුතුව තිබුණි. නමුත් එම රථය පැදවූ පුද්ගලයා කළේ මිනිසකු විසින් නොකරන මහ පහත් ක්‍රියාවකි. එනම් ජීප් රථයේ වේගය තවත් වැඩි කරමින් එම ස්‌ථානයෙන් පැන ගැනීමයි.

බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා වේදනාව ඉවසා ගැනීමට බැරිව ප්‍රදේශය දෙවනත් වන සේ විලාප තැබුවේය. ඒ සමඟම එම ස්‌ථානයට එක්‌ රොක්‌වූ පිරිසක්‌ තුවාලකරු මෝටර් රථයක නංවා කොළඹ ජාතික රෝහලට ගෙන ඒමට කටයුතු කළේය.

කළු පැහැති රථය පැදවූ පුද්ගලයා සිතුවේ පූරුවේ පිනකට මෙන් තමා එම ස්‌ථානයෙන් බේරී පළා ආ බවයි. අනතුරට ලක්‌වූ පුද්ගලයාගේ පිටුපසින් යහළුවෝ දෙදෙනෙක්‌ පැමිණ තිබුණි. ඔවුන් පැමිණ තිබුණේද යතුරුපැදියකිනි. සිදුවූ සියල්ල ඔවුන් දෙදෙනා දැක තිබුණි.

යහළුවා යටකර දමා තිරිසනෙකු මෙන් පළායන කළු පැහැති ජීප් රථය පිටුපස ඔවුන් දෙදෙනා ලුහුබැන්දාහ. අධික වේගයෙන් ධාවනය වන ජීප් රථය ඔවුන් දෙදෙනා ලුහුබැන්ඳේ ජීවිතය ගැනද නොසිතමිනි. සැලකිය යුතු දුරක්‌ ගිය පසු එම තරුණයෝ දෙදෙනා යතුරුපැදිය හරස්‌කර පළායන ජීප් රථය නවත්වා ගත්හ.

අධික කෝපයෙන් සිටි තරුණයෝ දෙදෙනා තර්ජනය කර රියදුරු අසුනේ සිටි පුද්ගලයාගෙන් හැඳුනුම්පත ඉල්ලූහ. මහ පුදුමයකි. රියදුරු අසුනේ සිටියේ එසේ මෙසේ පුද්ගලයකු නොව යහපාලන ආණ්‌ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල කැපකිරීමක්‌ කළ පාඨලී චම්පික ඇමැතිවරයායි. තරුණයන් දෙදෙනාට එක්‌වරම ඇමැතිවරයා හඳුනා ගැනීමටද අපහසු වූහ.

වහාම ඇමැතිවරයා කටහඬ අවදි කළේය. "මම ඇමැති චම්පික. වරද මම පිළිගන්නවා. අපි යමු බොරැල්ල පොලිසියට. ගිහින් පැමිණිල්ලක්‌ දාමු" චම්පික ඇමැතිවරයා එසේ සඳහන් කළේ යෑයි එම තරුණයෝ දෙදෙන පැවසූහ. තරුණයෝ දෙදෙනා ඇමැතිවරයා සමඟ බොරැල්ල පොලිසියට යැමට බියවී තිබේ. ඒ කුමන හේතුවක්‌ මතද යන්න නොදනී. පසුව එම තරුණයෝ දෙදෙනා තම මිතුරා බැලීම සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබේ.

යතුරුපැදි අනතුරින් බරපතල තුවාල ලැබුවේ සදිසි සම්පත් නමැති විසිහතර හැවිරිදි තරුණයෙකි. ඔහු අවිවාහකයකු වන අතර මීපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම ලිපිය ලියන විටත් එම තරුණයා කොළඹ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර හදිසි ශල්‍ය කර්මයකටද භාජනය කර තිබුණි. ඒ ඔහුගේ ගෙලට බටයක්‌ ඇතුළු කිරීම සඳහායි.

ජීප් රථය ලුහුබැඳි එක්‌ තරුණයකු හෝමාගම ප්‍රදේශයේ පදිංචි විනුරයි. විනුර ඉන්පසු රථය ලුහුබැඳීමට පැමිණි අනෙක්‌ තරුණයා සමඟ වැලිකඩ පොලිසියට පැමිණියේ සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක්‌ දැමීමටයි. පොලිසිය වෙත පැමිණි එම තරුණයෝ දෙදෙනා සිදුවූ සියල්ල පවසමින් ඇමැතිවරයාගේ නමද සඳහන් කර පැමිණිල්ලක්‌ දැමූහ.

එම තරුණයන් පැමිණිල්ල නැවත කියවන ලෙසට පොලිසියෙන් ඉල්ලා ඇත. නමුත් එම අවස්‌ථාවේ වැලිකඩ පොලිස්‌ නිලධාරීහු එයට ඉඩදී නොමැත. සටහන් කරගත් ප්‍රකාශය නැවත නොකියවාම ඔවුන්ට අත්සන් කරන ලෙස දන්වා තිබුණේය.

ඒ අනුව තමා දුන් ප්‍රකාශය යළි නොකියවාම ඔව්හු එය අත්සන් කළහ.

ඔවුන් දෙදෙනා පවසන අන්දමට ජීප් රථයේ ගමන් කර ඇත්තේ ඇමැති පාඨලී චම්පික රණවක මහතාය. ඇමැතිවරයා වැරැද්ද පිළිගත් බවද ඔවුන් දෙදෙනා පුන පුනා පැවසූහ. නමුත් සිදුවී තිබුණේ වෙන දෙයක්‌ය.

අනතුර සිදුවූ ජීප් රථය සමඟ රියදුරෙකු බොරැල්ල පොලිසියට ඉදිරිපත් කර තිබුණි. එම මොහොතේ ඇමැතිවරයා එම ජීප් රථය ධාවනය කර නොතිබූ බව සඳහන් වී තිබුණි. සිය රථය ධාවනය කර අනතුර සිදුකර තිබුණේ එම රියෑදුරුය.

නමුත් තරුණයන් දෙදෙනා දැක තිබුණේ පාඨලී චම්පික ඇමැතිවරයා එම අවස්‌ථාවේ ජීප් රථයේ සිටි බවකි. වණ වැලිකඩ පොලිසියට ඒ බව සඳහන් කර තිබුණි. නමුත් බොරැල්ල පොලිසියට ජීප් රථය සමඟ ඉදිරිපත් වූයේ ඇමැතිවරයා නොව ඔහුගේ රියෑදුරෙකි.

සමහර විට තරුණයන් දෙදෙනා ඇමැතිවරයාට මඩ ගැසීම සඳහා මෙම සිද්ධියට ගාවන්න ඇත. එසේ නැතිනම් එම මොහොතේදී උණ විකාරයෙන් මෙන් ඇමැතිවරයාගේ රූපය දැක ඇත. ඇමැති පාඨලී ජනතාව වෙනුවෙන් උපරිම සේවයක්‌ කිරීමට පැමිණි පුද්ගලයෙකි. අසාධාරණය පෙන්නන්න බැරි ඇමැතිවරයෙකි. එවන් ඇමැතිවරයකු මෙතරම් බරපතළ වරදක්‌ කර කිසි දිනක පළා යන්නේ නැත.

බොරැල්ල පොලිසිය නීතිය අකුරටම ක්‍රියාත්මක කර තිබුණි. ජීප් රථය සමඟ ඉදිරිපත් කළ රියෑදුරු පරීක්‍ෂණයකට යොමු කළේය. ඒ ඔහු මත්පැන් පානය කර ඇත්දැයි සොයා බැලීම සඳහාය. ඉන්පසු එම සිද්ධිය තම පොලිස්‌ වසමට අයිති එකක්‌ නොවන නිසා ජිප් රථය සමඟ වැලිකඩ පොලිසියට භාරදි තිබුණි. පසුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ පසු ලක්‍ෂ 5 ක ශරීර ඇප මත මුදාහැරුණි.

කොයි කවුරුත් සිතුවේ සිද්ධිය එතැනින් අවසන් වේය කියාය. නමුත් එය එසේ නොවුණි. පසුදින මේ පිළිබඳව බොහෝ අය විවිධ කතා පැවැත්වූහ. ඒ අතර සමහර අය පැවසුවේ ඇමැතිවරයා ප්‍රසිද්ධ නිළියක්‌ සමඟ යැමේදී මෙම අනතුර සිදුවූ බවත් පසුව වෙන පුද්ගලයකු ඉදිරිපත් කළ බවත්ය.

ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා මේ පිළිබඳව පැවසුවේ මෙවන් දෙයකි.

තම රියට තරුණයකු යටකර බරපතළ තුවාල සිදුකර පළායැමේ සිද්ධියේදී ඇමැති චම්පික නීතිය අතට ගෙන ක්‍රියා කරන බවත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තම ඇමැති මණ්‌ඩලයේ සාමාජිකයකුගෙන් වූ මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලිය යුතු බවත්ය. පසුගිය ආණ්‌ඩුව පැවැති සමයේ නීතියට පයින් ගහනවා යෑයි ඇතැමුන්ට චෝදනා කරමින් ඉහළින්ම සිටි ඇමැතිවරයා අද නීතිය තම අතට ගෙන ක්‍රියා කරන බවයි.

ඇමැති බලතල පාවිච්චි කරමින් පාඨලී ඇමැතිවරයා සිදුකර තිබෙන්නේ බරපතළ වරදක්‌. ඔහු රටේ නීතියට පයින් ගහලා තියෙනවා. අගතියට පත්වූ පිරිසට මෙම නිසා විශාල වරදක්‌ සිදුවී තිබෙනවා. එමනිසා ඔවුනට සාධාරණය ඉටුවන තෙක්‌ අපි බලා සිටිනවා යන්නයි.

සමරසිංහ මහතා එසේ ප්‍රකාශ කරද්දී ඇමැති සුජීව සේනසිංහ මහතා මේ සිද්ධිය පිළිබඳව සඳහන් කළේ මෙසේය.

යහපාලන ආණ්‌ඩුවෙන් රටේ ඇමැතිවරුන්ටත් නීතිය එකසේ ක්‍රියාත්මක වනවා. එමනිසා පාඨලී චම්පික ඇමැතිවරයා එම වරද කරලා තියෙනව නම් ඇමැතිකම් පැත්තකට තියලා ඔහුට නීතිය ක්‍රියාත්මක කරනවා. දැනටත් මේ පිළිබඳව පරීක්‍ෂණ සිදු කරනවා යන්නයි.

තමන්ට එල්ලවී ඇති චෝදනාවට පිළිතුරු දෙමින් ඇමැති පාඨලී චම්පික මහතා මෙලෙස සඳහන් කළේය.

අප අමාත්‍යාංශයට අයත් ජීප් රථයක්‌ අපේ අමාත්‍යාංශයටම අනුයුක්‌ත වෙලා ඉන්න රියදුරෙකු අතින් අනතුරකට භාජනය වෙලා තිබෙනවා. නමුත් ඒ ප්‍රවෘත්තිය විකෘති කරලා මාධ්‍ය හරහා ප්‍රචාරය කරලා තියෙනවා. නමුත් ඇත්ත සිද්ධිය ඒක නොවෙයි.

මෙම යතුරුපැදිය එන්ජින් ධාරිතාව දාහක පමණ අධිවේගී යතුරුපැදියක්‌. මෙම සිද්ධිය වුණ වෙලාවේ දහදෙනෙක්‌ පමණ යතුරුපැදිවලින් එම මාර්ගයේ එහාට මෙහාට ගිහින් තිබෙනවා. පොලිසියත් ඒක හොඳට දන්නවා. එයින් එක්‌කෙනෙක්‌ තමයි අපේ වාහනය පස්‌සෙන් ඇවිත් හප්පලා තියෙන්නේ.

අපි මේ පිළිබඳව සියලුම දේ කිරීමේ බලය පොලිසියට පවරලා තියෙනවා. එමනිසා අපි හිතනවා ඒ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පැවැත්වෙයි කියලා. ඒ වගේම මම පොලිසියට කියනවා සිලින්ඩර් ධාරිතාව දාහකට අධික යතුරුපැදි මිලදීගෙන ප්‍රධාන මාර්ගවල පදින බාලවයස්‌කාර කාණ්‌ඩායම් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට.

පාඨලී ඇමැතිවරයා එසේ සඳහන් කර තමා මෙම සිද්ධියට කිසිසේත් සම්බන්ධ නැති බව ප්‍රකාශ කළේය. නමුත් අනතුරක්‌ සිදුකර පළා යැමද විශාල වරදකි. ඒ පිළිබඳව ඇමැතිවරයා කිසි දෙයක්‌ සඳහන් කළේ නැත.

මෙම සිද්ධියේ විශාල ගැටලුවක්‌ ඉතුරුවී ඇත. අනතුර සිදුවූ තරුණයාගේ යහළුවෝ ඇමැති පාඨලී චම්පික මහතාට මෙම චෝදනාව එල්ල කරනුයේ කුමක්‌ අරභයාද යන්න විශාල ගැටලුවකි. වහාම ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වා ඇමැතිවරයාව එම චෝදනාවෙන් නිදහස්‌ කරගත යුතුය. ඒ මන්ද ඇමැති පාඨලී රටක්‌ වටින පුද්ගලයකු වන නිසාය.

(දිවයින පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment