නිළියක් නොවුණා නම් ගුරුවරියක් වෙන්න තිබුණ ඉඩකඩ වැඩියි – දිල්කි ලියනගේ


කෙනෙක්ව  සිනා සාගරේ  ගිල්වමින්  සතුටින් තියන්න පුළුවන්  හැකියාව  හැම කෙනෙකුටම පිහිටන දෙයක් නෙවෙයි.. ඒ වෙනුවෙන් ඔහුට හෝ ඇයට විශේෂ හැකියාවක්   තිබිය යුතුයි.  අද අපේ කතා බහට එක් වුණ ඇයත් ඒ දක්ෂතාව,  හැකියාව උපතින්ම හිමිකරගත්  දක්ෂ රංගන ශිල්පිනියක්. නිවේදිකාවක්,  ලේඛිකාවක්  වගේම විකට රංගන ශිල්පිනියක් විදියට අප හමුවට  එන ඇය  දිල්කි ලියනගේ  මේ විදියට අපි එක්ක සුහද කතා බහකට එක් වුණා..

ප්‍ර – දිල්කි විකට රංගන ශිල්පිනියක් විදියට ලොකු ජනප්‍රියත්වයක් ලබාගෙන  ප්‍රේක්ෂකයින්  අතර ඉන්නවා මොකද හිතෙන්නේ?
පි –  “නාටක මාරයි හතේදී මාරයි” ටෙලි නාට්‍යය  නිසා විශේෂ ජනප්‍රියත්වයක් ලැබිලා තියෙනවා,  විකට චරිතයක් නිසා ඉක්මනින් ප්‍රේක්ෂකයින් අතරට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා ඉතින් ප්‍රතිචාර ගොඩක් ඉහළයි. පොඩි දරුවන් පවා  ගොඩක් කැමතියි.  කෙනෙක්ව හිනස්සවන්න හැම  කෙනෙකුටම බෑනේ.  ඉතින් සතුටුයි.

 ප්‍ර –  මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?
පි –  “නාකට මාරයි හතේදී මාරයි” ටෙලි නාට්‍යය ෂුටින් අතරතුර තමයි අනික් වැඩ වෙන්නේ. ප්‍රසාද් ප්‍රනාන්දුගේ පිටපතක් හා චතුරංග සෙනවිරත්නගේ අධ්‍යක්ෂණයක් වුණ  අභියෝගය  චිත්‍රපටයේ ෂූටින්වලට සූදානම් වෙනවා. සුරංග ලක්මාල් සෙනවිරත්නගේ.  කොළඹ අපි ආවා නාට්‍යයේ  ෂූටින් ඉවරයි ළඟදී බලන්න පුළුවන් වෙයි.  ඊට අමතරව  මගේ අලුත්ම නවකතාව. ආකර්ෂා. ලියලා අවසන් කරන්න සහ පාඨකයින්ට  මේ අවුරුද්දේ ලබා දෙන්න සුදානම් කරනවා.

ප්‍ර –   විකට රංගන ශිල්පිනියක්  කියන  චරිතේට විතරක් කොටු  වෙන්නේ ඇයි?
පි – විකට රංගනය කියන්නේ මං ආස කරන දේ. නමුත් ඒ චරිතය ඇතුළේ කොටු වෙලා කියන්නත් බැහැ. විවිධ චරිත නිරූපණයන් කරලා තියෙනවා.. අභියෝගය චිත්‍රපටයේ  චරිතය වෙනස්ම චරිතයක්. එහි මට අභියෝගයක් තියෙනවා කියලා මට  හිතෙනවා

ප්‍ර -. අභියෝගය.  මොනවගේ තේමාවකින් නිර්මාණය වුණ චිත්‍රපටයක්ද? ඇයි ඒ චරිතය අභියෝගයක් විදියට දකින්නේ?
පි – සිංහල සිනමාවේ 80 දශකය යළි අවදි කිරීමක් සහ වත්මන් සිනමාව හා 80 දශකය මිශ්‍ර වුණ නිර්මාණයක් අවසානයේදී   මේ තුළින් දකින්න පුළුවන් වෙයි. මට ලැබිලා තියෙන්නේ. ටානියා.  කියන ප්‍රධාන චරිතයක්.  එහි විකට රංගනයක් නෙවෙයි. ටිකක් බැරූරුම්. බටහිර ආභාෂයකින් ලංකාවට එන නමුත් ලංකාවේදී  එහෙම නොවුණ කඩා වැටුණ තමන්ගේ  ව්‍යාපාර ගොඩනංවාගන්න චරිතයක්. වෙනස් චරිතයක්  නිසා අභියෝගයක් තියෙනවා කියලා හිතෙනවා.

නුවරඑළියේ තමයි ෂූටින් කරන්නේ. ඇත්තටම ප්‍රවීණයින් එක්ක එකට වැඩ කරන්න ලැබිලා තියෙනවා. එක ලොකු වාසනාවක්.  ඒ වගේම ශිරාන් ශාන්ත, එරික් අබේවර්ධන, ප්‍රසාද් ගලප්පත්ති, සුමිත් මුදන්නායක වගේ රංගන ශිල්පීන් රැසක් මේ චිත්‍රපටයට සම්බන්ධ වෙනවා. වෙනස්  නිර්මාණයක් වෙයි.

ප්‍ර – මෙතෙක් ලැබුණ චරිතවලට වඩා   ආසාවෙන් කරන්න  බලන් ඉන්න චරිතයක් නැද්ද?
පි – ලැබුණ හැම චරිතයකටම  ආසයි.  විකට චරිත වුණත්  ඇතුළේ විවිධ චරිත ලැබුණා. වෙනස්ම විදිහේ චරිත  තව ලැබෙනවාට ආසයි. මෙහෙණින් වහන්සේ කෙනෙක් විදියට රගපාන්න ලොකු ආසාවක් තියෙනවා.

ප්‍ර – දිල්කිට කොහොමද මේ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබෙන්නේ?
පි –  එක හරි අහම්බයක්,  නමුත් පුංචි කාලේ පාසලේදී නාට්‍යවලට සම්බන්ධවෙලා තියෙනවා.  කවදාවත් නිළියක් වෙනවා කියලා හිතුවේ නැහැ. ආසාව තිබුණා. මගේ යාළුවෙක් තමයි ටෙලි  නාට්‍යයකට අලුත් අය ගන්නවා කියලා මුලින්ම මාව. ස්ක්‍රීන් ටෙස්ට්.  එකකට එක්ක ගියේ. හැබැයි ඊටත් ලොකු කාලයකට පස්සේ මට හිතවත් කැමරා ශිල්පියෙක් වුණ කිත්සිරි ලියනගේ තමයි චන්ද්‍රරත්න මාපිටිගම මහත්තයට  මාව  අඳුනලා දුන්නට   පස්සේ මාපිටිගම මහත්තයාගේ. වැහිලිහිණියෝ.  කියන ටෙලි නාට්‍යයේ නර්ස් කෙනෙක්ගේ චරිතයක් කරන්න පළමුවෙනි අවස්ථාව ලැබුණා.. අරලිය අරණ, සබඳ බබානිස්,  ඇතුළු ටෙලි නාට්‍ය රැසකට පස්සේ සම්බන්ධ වුණා.

ප්‍ර – කලා ක්ෂේත්‍රයේ වැඩ වගේම පෞද්ගලික වැඩත් එක්ක ඔබ ගොඩක් කාර්ය බහුලයි. එපා වෙන්නේ නැද්ද?
පි – වැඩ කරගන්නේ කොහොමද කියලා හිතෙන අවස්ථා තියෙනවා.  ඒත් එපා වෙන්නේ නැහැ. මං ගොඩක් ආසාවෙන් මේ දේවල් කරන්නේ.  උත්සාහය,  කැපකිරීම  ගොඩක් ඕනි. ඉතින් හැම දේම සමබරව කරනවා.

ප්‍ර – පවුලේ අයගෙන් ලැබෙන සහාය කොහොමද?
පි – අම්මයි,  තාත්තයි, නංගිලා දෙන්නයි ඉන්නේ,  මගේ තාත්තා වින්ස්ටන් ලියනගේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. ඉතින් ඒ ආභාෂයත් මට ඇති.  ඒ අය  ක්ෂේත්‍රය ගැන දන්න නිසා මට ලොකු සහායක් ලැබෙනවා. මගේ පළමු ප්‍රේක්ෂකයින් හැමදාම එයාලා.

ප්‍ර –  ගෙදර අය  වගේම දිල්කිව ආදරෙන් බලා ගන්න තවත් සමීප කෙනෙක් ඉන්නවා  ඒ ගැනත් කියමු ?
පි – ඇත්තටම ඔව්.  මාව ගොඩක් හොඳින් තේරුම් ගත්ත මට ආදරේ කරන කෙනෙක් ලැබිලා ඉන්නේ. එයා පාසල් ගුරුවරයෙක්.  ඉතින් මගේ වැඩ කටයුතු ගොඩක්  හොයලා බලනවා. මං ලියන පොත්වල  හොඳ,  නරක,   අඩුපාඩු,  වැරදි හැමදේම බලන්නේ එයා.  කවදාවත් රඟපාන්න එපා කියන්නේ නැහැ.  මගේ කාර්යබහුලත්වය එක්ක මාව හොඳට තේරුම් අරන් ඉන්න නිසා  මට තවත් පහසුයි.

ප්‍ර –  නිළියක් නොවුණා නම්  ඔබ  මොන ක්ෂේත්‍රයක් තෝරා ගනීවිද?
පි –  නිළියක් නොවුණා නම්  ගුරුවරියක් වෙන්න තිබුණ ඉඩකඩ වැඩියි,  මං රඟපාන්න කලින් පෞද්ගලික පාසලක ගුරුවරියක් සහ උපදේශිකාවක් වුණා.  ඇත්තටම මේ ක්ෂේත්‍රය වගේම මං ගොඩක් ආදරේ කරන වෘත්තියක් ඒ.

ප්‍ර –  මෙතෙක් ආව ගමනේදී ආපස්සට හැරෙද්දී සතුටු වෙන්න පුළුවන්ද?
පි –    දැනට අවුරුදු පහක් මේ ආව ගමනේ ලොකු තෘප්තියක් තියෙනවා. ඒ සතුට මට ලබා දෙන්න මගේ පිටිපස්සෙන් හිටපු බොහෝ පිරිසක් ඉන්නවා කියන එක මතක් කරන්නම ඕනි,  ඒ අතරින්  සුරංග සතරසිංහ මහත්තයාට විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුයි. කිත්සිරි හේවගේ  ඇතුළු උදව් කරපු ප්‍රවීණ රංගන ශිල්පිනියන්,  ශිල්පීන්  සහෝදර ශිල්පිනියන්,  ශිල්පීන්   ඒ හැමෝගෙම නම් කියන්න බැරි වුණත් ඒ හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි කියන්නම ඕනි.

ප්‍ර – ඉදිරි බලාපොරොත්තු මොනවද?
පි –  මේ ක්ෂේත්‍රයේ  රැඳෙනකල් උපරිමයෙන් ඒ හැම දේම සාර්ථකව කරනවා. ඒ වගේම මං ව්‍යාපාරික කටයුත්තක් අරඹන්න සූදානමක් තියෙනවා. ලේඛනය,   රංගනය,  නිවේදනය මේ හැම  දේම කරගෙන සතුටින් ඉන්න තමයි.


(සරසවිය පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment