සිනමාවට වඩා වේදිකාවට කැමතියි

20160316-Harshana1මේ දිනවල දකින්නට නැතත් ඉදිරි කාලයේදී ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයකින් ජනප්‍රිය යොවුන් නළු හර්ෂණ බෙත්මගේ දැකබලා ගත හැකිය. දැනට ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයක් හරහා ප්‍රේක්ෂයන් අතර ජනප්‍රිය වූ හර්ෂණ අවසන් වරට ඔබේ ආලින්දයට ගොඩ වැදුණේ 'කුටු කුටු මාමා' ටෙලි නාට්‍යය හරහාය. සිය අලුත්ම කලා තොරතුරු ගැන පැවසීමට හර්ෂණ සමග එක්විය.
මේ දවස්වල හර්ෂණ කලා කටයුතුවලින් ඈත් වෙලාද?
ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ 'කුටු කුටු මාමා'  ටෙලි නාට්‍යයෙන් පස්සෙ මම රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යයක් තවමත් විකාශය වුණේ නැහැ. නමුත්, ඉදිරියේදී මා රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යය හා චිත්‍රපට කිහිපයක්ම එන්න තියෙනවා.
 මොනවද ඒ නිර්මාණ?
රවින්ද්‍ර විජේරත්න මහත්මයාගේ 'උරුමක්කාරයෝ' ටෙලි නාට්‍යය එන්න තියෙනවා. මෙහි මා 'බාබා' කියන හාස්‍යයම චරිතය තමයි නිරූපණය කරන්නෙ. ඊට අමතරව 'ආලෝකෝ උදපාදි^' චිත්‍රපටය ප්‍රදර්ශන වෙන්න නියමිත වෙලා තියෙනවා. මේ නිර්මාණවලට අමතරව මේ දිනවල අර්ජුන් කමල්නාත් 'කුණාටුවේ මාරයා' කියලා චිත්‍රපටයක රූපගත කිරීම් කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ චිත්‍රපටය මට විශේෂ එකක්. මොකද, මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ මම නිසා.
 ක්ෂේත්‍රයට ආ මුල් කාලයේ පටන් ඔබ ටෙලි නාට්‍යය නළුවෙක්. නමුත්, දැන් ඔබට සිනමාවටත් එකතු වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා?
ඇත්තටම ඒ ගැන මට ගොඩක් සතුටුයි. නමුත්, මම සිනමාවටත් වඩා කැමතියි වේදිකාවට සම්බන්ධ වෙන්න. මොකද, වේදිකාව තමයි රංගන ශිල්පියෙකුට සිය හැකියාවන් උපරිමයෙන්ම පෙන්වන්න පුළුවන් තැන. මම පාසල් වේදිකාව තුළ ඕනතරම් රඟපාලා තියෙනවා. නමුත්, තවමත් මට වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා නැහැ. පසුගිය කාලෙ නම් ආරාධනා ලැබුණා. ඒත්, ඒ කාලෙදි මම ටෙලි නිර්මාණවලට දායක වෙලා හිටිය නිසා ඒ අවස්ථාව මඟ හැරුණා.
නළුවෙක් වුණ එක ගැන තෘප්තිමත්ද?
සියයට සියයක්ම තෟප්තිමත් නැහැ. නමුත්, මේ හරහා මගේ ඉලක්ක කිහිපයක් දැනට සපුරා ගන්න හැකිවෙලා තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට ලබාගන්න බැරි බොහෝ දේ නළුවෙක් වෙලා ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම ජනප්‍රියත්වය. මේක හැමෝටම ලැබෙන දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි සමාජයේ යම් තැනක් දිනාගන්න ලැබෙන එක. රංගනය පැත්තෙන් ගත්තොත් මට තවත් යායුතු බොහෝ දුර තියෙනවා. නළුවෙක් විදිහට රංගනය ගැන තව හදාරන්න අවශ්‍යයි. දැනටත් මම ඒ පිළිබඳව හැදෑරීම් කරමින් ඉන්නවා.
කලා කටයුතු වගේම මේ දවස්වල ඔබේ පෞද්ගලික ජීවිතයත් කාර්යබහුලයි නේද?
ඔව්. මගේ විවාහය මේ අවුරුද්දේ අන්තිමට සිදු කරන්න සැලසුම් කරලා තියෙනවා. මගේ පෙම්වතිය කවුරුත් දන්න මගේම ක්ෂේත්‍රයේ වැඩ කරන වොල්ගා කල්පනී. ඉතින් මේ දවස්වල අපි දෙන්නම එකතු වෙලා අපේ විවාහ උත්සවය පිළිබඳව සැලසුම් සකස් කරමින් ඉන්නවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment