මේ සිංහල අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද ?



ශ්‍රී ශුද්ධ ශකරාජ වර්ෂ 1938 ක් වූ ව්‍යවහාරික වර්ෂ වලින් ක්‍රි .ව. 2016 ක් වූ අප්‍රේල් මස 13 වන දින රාත්‍රී 7.48 ට සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සංකේතවත් කරමිනුයි මේ අලුත් අවුරුද්ද ඔබට උදාවන්නේ. ඉතින් උදාවන මේ අලුත් අවුරුද්දේ ඔබේ ලග්නයට මොනවගේ ශුභ නිමිති ගෙන එනවාදැයි සවිස්තරව ගෙන එන්නට අප තීරණය කළා. ඒ අනුව ප්‍රවීන ජ්‍යෝතීර්වේදී, ජාත්‍යන්තර ජ්‍යෝතිෂ්‍ය උපදේශක, ඉන්දියන් එක්සලන්සි සම්මානලාභී නිෂාන්ත පෙරේරා මහතා ගෙන එන නව අවුරුදු ලග්න පලාඵල විග්‍රහයයි මේ.

මේෂ ලග්නය
මේෂ  ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති මේ වසරේ ආරම්භ වන්නේ ලග්නයෙන් අට වැන්නේ බලවත් වී සෙනසුරු සමග සංයෝග වී ගමන් කරමින්. එමෙන්ම පස් වැන්නට අධිපතිත්වය දරන රවී ලග්නගතව බලවත් වී පවතින්නේ කේන්ද්‍රගත බලයෙන් සහ දිග්බලයෙන් යුතුව බුධත් එහි සංයෝගව පවතිද්දී. බුධ ආදිත්‍ය යෝගයක් උභයචාරි යෝගයක් මේෂ ලග්න හිමියනට උදා වී පවතින බව අමතක කරන්නට එපා. පස්වැන්නේ යෝගකාරක බ්‍රහස්පති රාහු සමග සංයෝග වී ගමන් කරන විට ග්‍රහ ලොවේ මනමාලි වන සිකුරු දොළොස් වැන්න වූ වැය ස්ථානගතව බලවත් වී ගමන් කරමිනුයි මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සිංහල අලුත් අවුරුද්ද උදා වන්නේ. රැකි රක්ෂා පිළිබඳව බලාපොරොත්තු අනිවාර්යෙන්ම සාර්ථක කරගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. අනුන් යටතේ කරනු ලබන කටයුතු වලට වඩා තමන් ස්වාධීනව කරනු ලබන කටයුතු වලින් මේෂ ලග්න හිමි ඔබට ජයග්‍රහණ උදා වනු ඇත. තමන් කරන කියන කටයුතු වලට අමතරව නව ධනෝපායන මාර්ග උදා වනු ඇත. ඔබට ඉතාමත්ම ශුභ වසරකි. තමන්ගේම ස්වාධින කටයුත්තක් ආරම්භ කරන්නට පසුගිය කාලය තුල බලාපොරොත්තුවෙන් සිටියානම් එම සිතිවිල්ල යතාර්ථයක් බවට පත් කරගැනීමට මේ වසර උදා වීමත් සමග ඔබට හැකි වනු ඇත. යුග ජීවිතය ආශ්‍රිතව කටයුතු කරන විට කුජ ,ශනි සංයෝග වී පැවතීම තුල ඉවසීම ,උපේක්ෂා සහගත බව ප්‍රගුණ කරගැනීම ඉතාමත්ම වැදගත්. ආවේගශීලි ගති ලක්ෂණ පවුලේ සමගියට ,සහජීවනයට අනිවාර්යෙන් හරස් කපන බව මතක තබා ගන්න. එමෙන්ම විද්‍යා තාක්ෂණ අංශ වල කටයුතු කරන මේෂ ලග්න හිමියන්ට අනිවාර්යෙන්ම ජයග්‍රහණ අත්පත් වේවි. ලග්නයෙන් අට වැන්නේ සෙනසුරුගේ ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක අපලයක් පවතිනවා. එමෙන්ම අගෝස්තු මස එකොලොස්වනදායින් පසු බ්‍රහස්පති හය වැන්නට ප්‍රවේශ වීම නිසා සෞඛ්‍ය  පිඩා අතින් ප්‍රවේශම්  විය යුතුයි. තිබෙන්නාවූ අහිතකරතා ජයගන්නට ඔබට කරන්නට තිබෙන්නේ සැම මසකම පළමුවන සෙනසුරාදාට ඔබගේ උසට කහ මල් මාලාවක් අමුණා එහි මුලට සහ අගට නිල් මල් හත බැගින් එකතුකර බෝධියක නැගෙනහිර පැත්තේ අත්තක එල්ලා බෝධිපූජාවක් කිරීමයි. ඔබට මේ වසර ශුභදායි වේවි.


වෘෂභ ලග්නය


දෙවන රාශිය වූ වෘෂභ රාශියේ උපන් ඔබට අලුත් අවුරුද්ද කෙසේ වේවිද ? වෘෂභ ලග්න හිමියන්ට සුවිශේෂී වසරක් බව අමතක කරන්නට එපා. ඔබේ ලග්නාධිපති ලග්නයෙන් එකොළොස්වැන්න වූ දියුණුව ලැබීම පෙන්නුම් කරනු ලබන අයස්ථානගතව උච්ඡ ස්වභාවයෙන් ගමන් කරනවා. එමෙන්ම යෝගකාරක සෙනසුරු ලග්නයෙන් හත් වැන්නේ කේන්ද්‍රගත බලයෙන් දිග්බලයෙන් යුතුව ගමන් කරන විට හත්වැන්නාධිපති හත් වැන්නේම බලවත් වී තිබෙන්නේ පංචමහා පුරුෂ යෝගයක් වන රුචක යෝගයෙන් බව අමතක කරන්නට එපා. මේෂ රාශිය හිමි දොළොස් වැන්නට රාජ්‍යකාරක රවී සහ බුධගේ සැපත් වීමත් එක්කම බුධ ආධිත්‍ය යෝගයක් ,උභයචාරි යෝගයක් උදා වි පැවතීම ඉතාමත්ම ශුභයි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට පසුගිය කාලය තුල ඇති වූ ආදායම් මාර්ග බාධාවන් මගහරවාගැනිමට හැකි වනු ඇත. සාර්ථකත්වය උදා කරවා ගැනීමට හැකි වේවි. බොහෝ විට තමන් කරනු ලබන කටයුතු වගේම කරන්නට බලාපොරොත්තු වන කටයුතුත් අති සාර්ථක වනු  ඇත. තැන්පත් ධනය වර්ධනය වේ. යුග ජීවිතය ආශ්‍රිත කටයුතු වලට ඉතාමත්ම යහපත්. පවුලේ සමගියට ,සහජීවනයට යම් යම් බාධාකාරී තත්වයන් තිබුනානම් එම තත්වයන් මගහරවාගැනීමට හැකි වේවි. අඟහරු සහ සෙනසුරු හත් වැන්නේ සංයෝග වී ශනි මංගල යෝගය උදා වී ඇත. මෙම වසර තුල ඔබගේ කට තරමක් පරිස්සම් කරගත යුතුයි. එමෙන්ම අගෝස්තු මාසයේ එකොළොස්වැනිදායින් පසු බ්‍රහස්පති ලග්නයෙන් පස් වැන්නට ප්‍රවේශ වනවා. අධ්‍යාපනය ලබන අය තරග විභාග ,සම්මුඛ පරීක්ෂණ යනාදියට ඉදිරිපත් වන උදවිය අති සාර්ථකත්වයට පත් වේවි. නිධන්ගත රෝග පිඩාවලින් බාධා ඇති වීමේ ඉඩකඩ ඉහලයි.තෙල් සහ සිනි ආශ්‍රිත ආහාර වලින් පරිස්සම් වන්න.වෘෂභ ලග්නයෙන් උපන් ඔබට හැකියාවක් තිබේනම් සෑම මාසයකම පළමුවන ඉරිදා දිනවල ජලජ ජිවින්ට ආහාර ස්වල්පයක් ලබා දෙන්න. සාර්ථකත්වය අත් වේවි.


මිථුන ලග්නය

ඔබේ ලග්නාධිපති බුධ අලුත් අවුරුද්ද උදාවේදී එකොලොස්වැන්න වූ අයස්ථානගතව රජ්‍යකාරක රවී සමග සංයෝග වී පවතිනවා. කෝටියක් දෝෂ භංග කරවන බවනම් කිව යුතුයි. එමෙන්ම අලුත් අවුරුද්ද උදා වන්නේ යෝගකාරක සිකුරු දහවැන්න වූ කර්මස්තානගතව පංචමහා පුරුශයෝගයක් වන මාලවී නමැති යෝගය උදා වීමෙනුයි. එමෙන්ම අඟහරු සහ සෙනසුරු හයවැන්නේත් බ්‍රහස්පති සහ රාහු  ලග්නයෙන් තුන් වැන්න වූ වික්‍රමස්තානගතව ගමන් කරමිනුයි මිථුන ලග්න හිමියන්ට මේ වසර උදා කරවන්නේ. මිථුන ලග්න හිමියන්ට මේ වසර තුල පිය පාර්ශවිය ලැබීම් වල යම් යම් බාධා කරදර තිබුනානම් එවැනි උරුම හරුමකම් තිලින කරගන්නට හැකියාව ලැබේවි. දැනුම හැකියා දක්ෂතා තුලින් ජයග්‍රහණ අත්පත් කරගැනීමට පුලුවන්. ඔබ ලේඛන කලාවට,නිර්මානශිලිත්වයට දක්ෂ අයෙකුනම් අනිවාර්යෙන්ම තමන්ගේ හැකියාවට නිසි තැනක් ලැබෙන බව කිව හැකියි. කාන්තා පාර්ශවයෙන්නම් පමණට වඩා උදවු ලැබෙන වසරක් ලෙසින් හඳුන්වන්නට පුළුවන. එවැනි ඇසුරුකම් වල සීමා මායිම් පිළිබඳව යහපත් අවධානයකින් යුතුව කටයුතු කිරීමට වගබලාගන්න. නොඑසේනම් ඔබගේ චරිතයට ,කීර්තියට බොහෝ හානි සිදු වීමට පුළුවන. අහිතකරතා ගෙන දීමට ඉඩකඩ පවතිනවා. ලේ විෂවීම්,විෂබීජ ශරීරගත වීම් වැනි තත්වයන්ට ලක් වීමේ ඉඩකඩ මිථුන ලග්න හිමියන්ට පවතින නිසා ඒ පිළිබඳවත් සිතා බලා කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වන්නේ. ගැඹුරු ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම කරනු ලබන මිථුන ලග්න හිමියන්ට සුවිශේෂී ජයග්‍රහණ මේ වසර තුල පහසුවෙන්ම අත්පත් කරගැනීමේ හැකියාව පවතිනවා. මාසයේ පළමුවන බදාදට හෝ  අවසාන බදාදාට අධ්‍යාපනය ලබන වයසේ පසුවන සාමනේර භික්ෂුවකට හෝ ප්‍රදේශයේ පහසුකම් අවම දුවෙකුට,පුතෙකුට පොතක් පතක් දන් දී කටයුතු ආරම්භ කළහොත් ඔබට ඉදිරි කාලය සාර්ථකත්වයට පත් කරගැනීමට හැකියි.


කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් ඔබට සිංහල අලුත් අවුරුද්ද උදා වන්නේ ඔබේ ලග්නාධිපති චන්ද්‍රයා ලග්නයෙන් දොළොස්වන්න වූ වැයස්තානයට ගමන් කරමින්. රවී පැමිණෙන්නේ ඔබගේ ලග්නයෙන් දහ වැන්න වූ කර්මස්තානයට. රාජ්‍යකාරක රවී කේන්ද්‍රගත බලයෙන් වගේම දිග්බලයෙන් යුතුව ගමන් කරන බව අමතක කරන්නට එපා. එහි බුධත් සංයෝග වීම නිසාවෙන් බුධ ආදිත්‍ය යෝගයක් උදා වෙලා පවතිනවා. යෝගකාරක බ්‍රහස්පති ලග්නයෙන් දෙවැන්න වූ සියලුම ධනස්තාන ගැන පෙන්නුම් කරන දෙවැන්නේ ගමන් කරන්නේ රාහු සමග සංයෝග වෙලා. විශේෂයෙන්ම කටක ලග්න හිමියන්ට දැනුම,හැකියා,දක්ෂතා වර්ධනය කරගැනීමට ඉතාමත්ම ශුභ අලුත් අවුරුද්දක් ලෙසින් මේ අලුත් අවුරුද්ද  හඳුන්වන්නට පුළුවන්. බොහෝ විට තමන් කරන කියන කටයුතු වලට පරිබාහිර කටයුතු සාර්ථක කරගන්නට ,වැඩි දියුණු කරගන්නට හැකි වසරක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. තමන් නොදන්නා දේවල් දන්නා අයගෙන් දැනගැනීමටත් ,තමන්ගේ වෘත්තිය දක්ෂතාවයන් ඉදිරියට ගෙන ඒමට දරනු ලබන උත්සාහයන් අති සාර්ථක ලෙසින් නිම කරගැනීමේ ශක්තියත් ලැබෙන බව ඒකාන්තයෙන්ම කියන්නට පුළුවන්.කේතු අට වැන්නේ ගමන් කරන වසරක් වන නිසාවෙන් තමන්ගේ කටයුතු වලට වඩා පවුලේ අයගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වීම් බහුල කරවනා වසරක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම කටක ලග්නයේ උපන් ඔබ දරු උපත් පිළිබඳව අවධානය යොමු කරනවානම් වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිලිපැදීමට අමතක කරන්නට එපා. උදරාගත ආබාධතා මෙන්ම ගර්භාෂ ආශ්‍රිත රෝග පිඩාවන්ට ලක් වීමේ අවදානම් තත්වය මේ වසර තුල මදක් ඉහල මට්ටමක පවතිනවා. ගණිත ,මිණිත ශාස්ත්‍ර ඉගෙනගන්නා අයට මෙන්ම නීති අංශ වල ඉගෙනගන්නා කටක ලග්න හිමියනට යහපත් වසරක් ලෙසින් නම් කරන්නට පුළුවන්. සෑම මසකම පළමුවන සදුදාටත් අවසාන සදුදාටත් ජලජ ජිවින්ට ආහාර ස්වල්පයක් දන් දී කටයුතු කිරීමෙන් ඔබට ජය අත්වේ.


සිංහ ලග්නය

සිංහ ලග්න හිමියන්ට ඉතාමත්ම සුවිශේෂි වසරක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. මේ වසර උදා වන්නේ ඔබේ ලග්නාධිපති ලග්නයෙන් නව වැන්න වූ පුණ්‍යස්තානගතව බුධ සමග පිහිටීමෙන් බුධ ආධිත්‍ය යෝගයක් යෙදී පැවතීමෙන් බව අමතක කරන්නට එපා. පෙර පින් පල දෙන අලුත් අවුරුද්දක් ලෙසින් හඳුන්වන්නට පුලුවන්. ලග්නගතව බ්‍රහස්පති කේන්ද්‍රගත බලයෙන් දිග්බලයෙන් යුතුව ගමන් කරනවා. සිකුරු ගමන් කරන්නේ ලග්නයෙන් අට වැන්නේ. හතර වැන්න බලවත් වී පංච මහා පුරුෂ යෝගයක් වන රුචක නමැති යෝගයකින් ගමන් කරමිනුයි සිංහ ලග්න හිමියනට අලුත් අවුරුද්ද උදා වී පවතින්නේ. ගේ දොර ඉඩකඩම් යානවාහන පිළිබඳව බලාපොරොත්තුවක් පැවතුනානම් එම කටයුතු සාර්ථක වනු ඇත. එවැනි දෑ මිලට ගැනීමට බලාපොරොත්තු වූවානම් එම කටයුතු ඉෂ්ඨ වේ. පෙර පින් පල දෙන බව කිව යුතුයි. තමන්ගේ සියලු ලැබීම් වලට ඉතාමත්ම ශුභයි. අධ්‍යාපනය ලබන වයසේ සිංහ ලග්න හිමියන්ටත් ඉතාමත්ම යහපත්. නිර්මාණශිලිත්වය පෙරදැරි කරගෙන කරනු ලබන කටයුතු වලින් සාර්ථකත්වය පහසුවෙන් අත්පත් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. කේතු හත් වැන්නේ වගේම සිකුරු අට වැන්නේ ගමන් කරනු ලබනවා. විශේෂයෙන්ම ගින්දර ආශ්‍රිත විපත් ඇති කිරීමේ ඉඩකඩ වැඩියි. ඔබ යන්ත්‍ර සුත්‍ර ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයෙක්නම් ගින්දර උපයෝගී කරගෙන කටයුතු කරනවානම් වැඩි පරිස්සම ඉතාමත්ම වැදගත්. යුග ජීවිතය ආශ්‍රිතවත් ,ප්‍රේමය ආලය ආශ්‍රිතවත් හිත රිදීම් පසුතැවීම් ආදී තත්වයන් ඇති වීමට ඉඩකඩ පවතිනවා. උපේක්ෂා සහගත බව ප්‍රගුණ කරගන්නට කටයුතු කරන්න. මෙම ජයග්‍රහණ විජයග්‍රහණයන් බවට පත් කරගැනීමටනම් දවසේ ප්‍රථම රාජකාරිය ලෙස සුරිය පිරිත වරක් හෝ සජ්ජායනා කරන්නට අමතක කරන්නට එපා.


කන්‍යා ලග්නය

කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නාධිපති මේ වසර ආරම්භ වන්නේ ලග්නයෙන් අට වැන්නේ රාජ්‍යකාරක රවී සමග සංයෝග වී ගමන් කරමින්.බුධ ආදිත්‍ය යෝගයක් උදා වී පැවතීම මෙන්ම සිකුරු හත් වැන්නේ බලවත්ව පවතින්නේ පංච මහා පුරුෂ යෝගයක් වන මාලවී නමැති යෝගයකින්. එමෙන්ම අගහරු සහ සෙනසුරු ලග්නයෙන් තුන් වැන්න වූ වික්‍රමස්තානගතව ගමන් කරද්දී ලග්නයෙන් දොළොස්වැන්න වූ අයස්තානගතව බ්‍රහස්පති රාහු සමග සංයෝග වී ගමන් කරනවා. ලග්නයෙන් හත් වැන්නේ සිකුරු බලවත් වී මාලවී නමැති යෝගයක් උදා වී පැවතීම නිසාවෙන් බොහෝ විට කන්‍යා ලග්න හිමියන් වෙනදාට වඩා හැඩට වැඩට අඳින්නට පළඳින්නට ,බාහිර අලංකාරය ගැන උනන්දුවක් දක්වන්නට උත්සාහයක් දරන්නට වැඩි නැඹුරුතාවයක් දක්වනු ඇත. එමෙන්ම ඒ අංශ වලට නිෂ්ඵල විය පැහැදම් අධික වන වසරක් ලෙසින් හඳුන්වන්නට පුලුවන්. තමන් මුදල් වියදම් කරනු ලබන ආකාරය පිළිබඳව නිසි සැලසුමකට අනුව කටයුතු කරන්නට වගබලා ගන්න. නොඑසේනම් ආර්ථික තත්වයේ ස්ථාවරත්වය  පවත්වා ගැනීමට බාධා කරදර ඇති විය හැකි බැවිනි. කුජ ශනි සංයෝග වී පවතින්නේ වික්‍රමස්තානගතව. නිලතල ,නම්බුනාම මෙන්ම පිරිවර සම්පත්තියත් කන්‍යා ලග්න හිමියන්ට අනිවාර්යෙන්ම ගෙන දෙනවා. යන යන තැන කැපී පෙනීමේ ගති ලක්ෂණ ඉතාමත්ම ඉහල මට්ටමක පවතිනවා. මේ වසර තුල විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමියන් සැලකිලිමත් වන්න. වෛද්‍යවරුන්ට පවා ගැටළු සහගත රෝගාබාධ ඇති විය හැකියි. එම නිසා සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් වැදගත් වනවා. මේ තත්වය අගෝස්තු මාසයේ එකොළොස් වනදා බ්‍රහස්පති ලග්නයට මාරු වීමත් සමග වැඩි දියුණු වන නිසා කල්පනාකාරී වීම වැදගත් වනවා. තිබෙන්නාවූ අභ්යෝග රාජයෝග බවට පත් කරගැනීමට සෑම මසකම පළමුවන බදාදා දින ගණ දෙවියන්ට ඊතන මල් මාලාවක් පළදා ඔබගේ කටයුතු වලට ආශිර්වාදය ලබාගන්න.


තුලා ලග්නය

අළුත් අවුරුද්ද ආරම්භ වන්නේම ලග්නයට අධිපති ලග්නයේ 6 වැන්නේ බලවත් වෙලා ගමන් කරද්දී යෝගකාරක සෙනසුරු ලග්නයෙන් දෙවැන්නේ ධනස්තානයටම අධිපති අගහරු සමග සංයෝග වෙලා. එකොලොස් වැන්නාධිපති රවී තමයි ලග්නයෙන් 7 වැන්නේ බුධ සමග සංයෝග වෙලා ගමන් කරන්නේ. තුලා ලග්නහිමියන්ට පසුගිය වසර වල වගේම මේ වසරේදීත් ලැබීම් සාමාන්‍ය ආකාරයට තමයි ලැබෙන්නේ. ඔබ කරන කටයුතු වලට අන් අයගේ බාධා කිරීම් ඉහල මට්ටමක තමයි පවතින්නේ. සතුරු කරදර බාධා වලට ලක්වීමේ අවස්ථා තිබෙන නිසා ඒගැන සැලකිලිමත් වන්න. කතාබහේදී වගේම ගනුදෙනු කරද්දීත් කල්පනාකාරී වෙන්න. විදේශගත ගමන් ගැන බලාපොරොත්තුවෙන් හිටිය ඔබට එම කටයුතු අතිසාර්ථක වන වසරක්. රාජකාරක රවී බුද්ධ සමග සංයෝග වෙලා 7 වැන්නේ ගමන් කරමින් ඔබ විවාහක අයෙක් නම් ඔබේ සහකරු හෝ සහකාරිය සමග සාකච්චා කරමින් කටයුතු කලොත් තිබෙන අවහිරතාවන් මග හරවගන්න පුළුවන්. සුරතල් සතුන්ගෙන් කරදර පීඩා සිදුවන නිසා ඒ ගැනත්  හිතන්න. දවසේ ප්‍රථම රාජකාරිය ලෙස මෝර පිරිත හෝ ජය පිරිත වරක් හෝ ස්ච්චයනා කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කලොත් 2016 අලුත් අවුරුද්ද ජය ගන්නට ඔබට හැකියාව ලැබෙයි.


වෘශ්චික ලග්නය

ඔබේ ලග්නාධිපති ලග්නගතව බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන රුචක නමැති යෝගයක් උදාකරමින්. බ්‍රහස්පති කේන්ද්‍රගත බලයෙන් යුතුව රාහු සමග සංයෝග වෙලා 10 වැන්නේ ගමන් කරද්දී රාජකාරක රවිගේ සැපත්වීම සිදුවෙන්නේ ලග්නයේ 6 වැන්නට. එහි බුද්ධ සමග සංයෝග වෙලා පවතිනවා. සිකුරු 5 වැන්නේ බලවත් වෙලා ගමන් කරමින් තමයි ඔබට මේ සිංහල අලුත් අවුරුද්ද උදාකර දෙන්නේ. රුචක යෝගය පැවතීම නිසාවෙන් ඔබ ආරක්ෂක අංශ ,නීති, උපදේශන කටයුතු වල නිරත කෙනෙක් නම් අනිවාර්යෙන්ම රැකී රක්ෂාවල දියුණුවත් ව්‍යාපාර වල දියුණුවත් ලබාගන්න පුළුවන්. ඔබ පොලොව සමග කටයුතු කරන කෙනෙක් නම් භූමියෙන් ලැබෙන්නාවූ සම්පත් වලින් වාසි ප්‍රයෝජන ලැබෙන වසරක්. හැබැයි නීති කරදර බාධා වලට ලක් වීමට ඉඩ තිබෙන නිසා කල්පනාකාරී වන්න. අනුන්ගේ ලිපිවලට අත්සන් කිරීමට පෙර දෙපාරක් හිතන්න. අධ්‍යාපන අංශයේ කටයුතු කරන කෙනෙක් නම් වැඩිපුර කල්පනාවෙන් කටයුතු කරන්න. නැත්නම් විෂය බාහිර දේ වලට හිත යොමුවන ගතිය වැඩි වෙන්න පුළුවන්. බුද්ධිය පෙරදැරි කරගෙන කටයුතු කලොත් තිබෙන අවහිරතා මගහරවා ගන්න පුළුවන්. මාසේ හැම පළමුවන සෙනසුරාදා දිනකම උදෑසන 6.50 ට ප්‍රථම ලිපිගිනි මොලවලා රතු කැකුළු බතක් ව්‍යංජන සහිතව පිළියෙළ කර හිගමන් යදින තිදෙනෙකුට කෑමට දෙන්න. එහෙම උනොත් රුචක යෝගයෙන් වාසි ලබාගන්න පුළුවන් අලුත් අවුරුද්ද මෙය වේවි.


ධනු ලග්නය

ඔබට අලුත් අවුරුද්ද උදාවෙන්නේ ඔබේ ලග්නාධිපති 9 වැන්න වූ පුනයස්තානයේ ගමන් කරමින්. රජකාරක රවී සහ බුධ 5 වන්න වූ විද්යස්තාන ගතව ගමන් කරනවා. සිකුරු 4 වැන්නේ බලවත් වෙලා තිබෙන්නේ පංච මහා පුරුෂ යෝගයක් වන මාලවී නැමති යෝගයක් උදා කරලා. 12වැන්නධිපති අගහරු 12 වන්නේම බලවත් වෙලා පවතින්නේ සිකුරු සමග සංයෝග වෙලා. ඔබට ධර්මකර්මාධිපති නමැති මහා බලගතු රාජ යෝගයත් බුධ ආධිත්‍ය යෝගයත් උදාවෙමින් තමයි ඔබට අලුත් අවුරුද්ද උදාවෙන්නේ. එමෙන්ම  ඔබගේ රැකියා ජීවිතය තුල පැහැදිලි දියුණුවක් ඇති වනු ඇත. ඉගෙනීමට  ඉතාමත්ම යහපත් වනවා. තරග විභාග සම්මුඛ පරික්ෂණ වගේම කඩඉම් විභාග වලිනුත් ධනු ලග්නයෙන් උපන් ඔබට ජයග්‍රහණ අත්පත් කරගැනීමේ හැකියාව පවතිනවා. සෙනසුරුගේ ඒරාෂ්ඨක තත්වයක් ඇති කිරීම නිසාවෙන් වම් අත වම් පාද ආශ්‍රිතව ආබාධතා ඇති කරන්නට පුළුවන් කමක් පවතිනවා. තිබෙන්නාවූ ජයග්‍රහණ ,විජයග්‍රහණයන් බවට පත් කරගන්නට සෑම දවසකම ඔබගේ ප්‍රථම රාජකාරිය ලෙස මෝර පිරිත වරක් හෝ සජ්ජායනා කර කටයුතු ආරම්භ කලොත් ධනු ලග්නයේ උපන් ඔබගේ ජයග්‍රහණ වලක්වන්නට කිසිවෙකුටත් නොහැකි වේවි . 


මකර ලග්නය

විශේෂයෙන්ම මේ වසරත් මකර ලග්නයෙන් උපන් ඔබට ඉතාමත්ම සුවිශේෂී වසරක් ලෙසින් හඳුන්වන්නට පුලුවන්. මන්ද ,නව අවුරුද්ද උදා වන්නේ ලග්නාධිපති එකොළොස් වැන්න වූ අයස්ථානගතව එකොළොස්වන්නාධිපති සමගම සංයෝග වී ගමන් කරමින්.  එමෙන්ම යෝගකාරක සිකුරු තුන් වැන්න වූ වික්‍රමස්තානගතව බලවත් වී පවතිනවා. රාජ්‍යකාරක රවී බුද්ධ සමග සංයෝග වී හතර වැන්නේ ගමන් කරන අතර මෙතුවක් කල් ඔබට පිඩා ගෙනදුන් බ්‍රහස්පතිත්  මේ වසරේ අගෝස්තු මාසේ එකොළොස් වැනිදා ඔබේ ලග්නයෙන් නව වැන්නට ප්‍රවේශ  වන්නට සුදානමක් පවතින බවනම් අනිවාර්යෙන්ම  කිව යුතුයි. කරනු ලබන කටයුතුත් ,කරන්නට බලාපොරොත්තු වන කටයුතුත් අති සාර්ථක ලෙසින් නිම කරගන්න මකර ලග්න හිමියන්ට අවශ්‍ය ශක්තිය ධෛර්ය  ලබා දෙනවා. නව ධනෝපායන මාර්ග හෙළි පෙහෙළි වන්නට නම් මේ වසර ඉතාමත්ම යහපත්. විශේෂයෙන්ම විදේශගත රටවල් ආශ්‍රිතව  විදේශ ගමන් බිමන් පිළිබඳව ආයෝජන කරන විටනම් දෙපාරකට වඩා වැඩි වාරගණනක් සිතා බලා කටයුතු කරන්නට අමතක කරන්න එපා. රැකි රක්ෂා වල ප්‍රධානීන්ගේ ආදරය ගෞරවය දිනාගන්නට උසස් වීම් වලටත් මකර ලග්න හිමියන්ට මේ වසර තුල තිබෙන ග්‍රහ සිත්තම ඉතාමත්ම ශුභයි. එමෙන්ම රාජ්‍යකාරක රවී බුධ සමග සංයෝග වී හතරවැන්නේ ගමන් කරන අතරතුර ගේ දොර යානවාහන ඉදිකිරීම් වලට ඉතාමත්ම යහපත් වනවා. දුවා දරුවන්,සේවකයින් පිළිබඳව තීරණ ගනිද්දී වැඩි  පරිස්සමින් යුතුව එම කටයුතු සිදු කරන්නට අමතක කරන්න එපා. විදේශගත අධ්‍යාපනයන් වලට සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කරගැනීමට හැකියාව පවතිනවා. සෑම සෙනසුරාද දිනකම කිරිකොල නවයක් මත තබා එලගිතෙල් පහන් නවයක් දැල්වීමෙන් සාර්ථකත්වය අත්වේ.


කුම්භ ලග්නය

මේ වසර උදා වන්නේ ඔබේ ලග්නාධිපති දහ වැන්න වූ කර්මස්ථානගතව ගමන් කරමින්. හත්වැන්නාදිපති අඟහරු කේන්ද්‍රගත බලයෙන් දිග්බලයෙන් යුතුව ගමන් කරමින් පංච මහා පුරුෂ යෝගයක් වන රුචක නමැති යෝගය උදා වී පවතිනවා. රැකි රක්ෂා දියුණුව පිළිබඳව යම්කිසි බලාපොරොත්තුවකින් සිටියානම් කුම්භ ලග්න හිමියන්ගේ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කරගැනීමට  හැකියාව ලැබේවි. ධනස්තානය වූ දෙවැන්නේ යෝගකාරක සිකුරු බලවත් වී පැවතීම ඉතාමත්ම ශුභයි. කරන කියන කටයුතු මෙන්ම කරන්නට බලාපොරොත්තු වන කටයුතු වලත් ඇති සාර්ථකත්වය පහසුවෙන්ම අත්පත් කරගත හැකි වේවි. මුල්‍ය ශක්තිය ඉහල මට්ටමක පවත්වාගැනීමට ශක්තිය ඔබට ලැබේ. බ්‍රහස්පති අගෝස්තු මස එකොළොස් වනදායින් පසුව ලග්නයෙන් අට වැන්නට ප්‍රවේශ වනවා. එම නිසා මේ වසරේ කරන්නට තිබෙන සියලුම කටයුතු සියලුම ආයෝජන  අගෝස්තු මස එකොළොස් වනදාට පෙර සිදු කරගැනීමෙන් කුම්භ ලග්න හිමියන්ගේ ආර්ථික ශක්තිය ඉහල මට්ටමක පවත්වාගන යාමට හැකි වේවි. එමෙන්ම විවාහාදී කටයුතු වල යම් යම් ප්‍රමාද වීම් තිබුනානම් අනිවාර්යෙන්ම කුම්භ ලග්න හිමියන්ට ප්‍රභල මංගලයෝග උදා කරව.අස්ථි ආශ්‍රිත රෝගපිඩාවන්ට ලක් වීමේ ඉඩකඩක් පවතිනවා. දරුඵල ආශ්‍රිතව යම්යම් අහිතකරතා ඇති වන්නට පුළුවන්. මේ වසරේ තිබෙන්නා වූ අහිතකරතා ජයගැනීමට සැම සෙනසුරාදා දිනකම තමන්ගේ නිවසේ බස්නාහිර දිශාවේ කුරුල්ලන්ට ආහාර දන් දීම සිදු කරන්න.


මීන ලග්නය
මේ වසරත් මීන ලග්න හිමියන්ට ඉතාමත්ම සුවිශේෂියි. ඔබගේ ලග්නාධිපති ලග්නයෙන් හය වැන්නේ රාහු සමග සංයෝග වී ගමන් කරද්දී ලග්නගතව සිකුරු බලවත් වී පංචමහා පුරුශයෝගයක් වන මාලවී නමැති යෝගයකින් පසුවීම ඉතාමත් ශුභයි. එමන්ම ධනස්තානය වූ දෙවැන්නේ රාජ්‍යකාරක රවී සමග බුධ සංයෝග වී පවතිද්දී නව වැන්නාධිපති නව වැන්නේම බලවත් වී සෙනසුරු සමග සංයෝග වී පවතිනවා. විශේෂයෙන්ම මීන ලග්න හිමියන්ගේ පෞද්ගලික ජීවිතය තුල පැහැදිලි දියුණුවක් ඇති කරන්නට මේ උදා වූ අලුත් අවුරුද්ද ඉවහල් වන බව ඒකාන්තයෙන්ම කියන්නට පුළුවන්. විවාහය,ප්‍රේමය ජයග්‍රාහි ලීලාවෙන් සාර්ථක කරගැනීමට ඔබට හැකියාව පුලුවන්. ප්‍රේමයට,ආලයට වැඩිහිටි ආදීන්ගේ විරෝධතා තිබුනානම් ඔවුන්ගේ ආශිර්වාදය දිනාගැනීමට හැකියාව ලැබේවි.එමෙන්ම විවාහාදී කටයුතුත් ඇති සාර්ථක ලෙසින් නිම කිරීමට ඔබට හැකියාව ලැබේවි. එමෙන්ම සතුරු කරදර බාධා තිබුනානම් එම සතුරු කරදර බාධා ජයගෙන ඉදිරියට යාමේ ශක්තිය පවා ගෙනදෙනවා. මේ වසර තුල ඔබ රුපලාවන්‍ය ,කළා සහ මාධ්‍ය ක්ෂේත්‍රයන් සම්බන්ධව අධ්‍යාපනය ලබන කෙනෙක්නම්  අනිවාර්යෙන්ම ඒ ආශ්‍රිතව පවා ඔබට ජයග්‍රහණ අත්පත් කරගැනීමට හැකියාව ලැබේවි. අගෝස්තු මාසේ එකොළොස් වනදායින් පසුව බ්‍රහස්පති හත් වැන්නේ ගමන් කිරීම තිබුනා වූ සෞඛ්‍ය පිඩා වලින් මගහැරිලා නිරෝගී සම්පත්තිය ඇති කරගැනීමටත් ඉතාමත්ම ශුභයි. සෑම දවසකම ප්‍රථම රාජකාරිය ලෙස බෙලි වෘක්ෂයකට වතුර ස්වල්පයක් දමා කටයුතු ආරම්භ කලොත් උදා වුනු අලුත් අවුරුද්ද සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් කරගන්නට පුළුවන් වේවි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment