ඇඹිලිපිටිය පරීක්ෂණ 18ට පෙර අවසන් කරන්න - CID යට නියෝග

ඇඹිලිපිටිය නව නගරයේ තිබූ සාදයකදී පොලීසිය හා ඇතිවූ ගැටුමකින් පසු මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන මහතාගේ සිරුර සම්බන්ධයෙන් පැවැත්වූ දෙවැනි පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණයට ලැබී ඇති බව ප්‍රකාශ කළ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශන මැයි මස 18 වැනි දිනට පෙර අවසන් කරන ලෙස අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (04) නියම කොට තිබේ.

එම සිදුවීම සම්බන්ධව සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න මහතා ද අද කුරුවිට බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස් රථයකින් අධිකරණය වෙත ගෙන ආ අතර ඔහු යළි ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කොට ඇත.

ජනවාරි 4 වැනිදා ඇඹිලිපිටිය නව නගරයේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ යාබද නිවසේ දැරියක වැඩිවිය පැමිණීමේ උත්සවයේ දී පොලිසිය හා සාදයට පැමිණි පිරිස් අතර ඇතිවු ගැටුමකින් පසු සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන මහතා මිය ගිය අතර සිද්ධිය සම්බන්ධව සැකපිට ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න මහතා අත්අඩංගුවට ගැනිණි.

මේ පිළිබඳව ඉදිරි විමර්ශන සඳහා නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව රහස් පොලිසිය සඳහන් කර තිබුණ ද අතිරේක මහේස්ත‍්‍රාත්වරයා ප්‍රකාශකළේ මෙම විමර්ශන කටයුතු සඳහා නීතිපතිගේ උපදෙස් අවශ්‍ය නොවන බවයි. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment