පුවත්පත් මණ්ඩලය අහෝසි කරන්නැයි ඉල්ලීමක්

පුවත්පත් මණ්ඩලය අහෝසි කරන්නැයි ඉල්ලීමක්

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කරන ලෙසත්, පසුගිය කාලයේ මාධ්‍යවේදීන් පැහැරගත්, ඝාතනයට ලක් කළ සහ මාධ්‍යවේදීන්ට හිරිහැර කළ පිරිස් මෙන්ම මාධ්‍ය ආයතන ගිනි තැබූ පිරිස් ද ඊට උපදෙස් දුන් පිරිස් ද වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන කරන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ඒ අදට (03) යෙදී තිබෙන ලෝක ජනමාධ්‍යය නිදහස පිළිබඳ දිනය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

‘ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය මෙවර අප සමරනුයේ මුළුමනින්ම ජනමාධ්‍ය නිදහස ඇති සමාජයක නොවන බව' ද, එම සංගමයේ සභාපති තරිඳු උඩුවරගෙදර මහතා හා ලේකම් තරිඳු ජයවර්ධන මහතා යන මහත්වරුන්ගේ අත්සනින් යුතු ව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. 

එම නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහන් වෙයි.

“පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීහු රැසක් ඝාතනයට ලක් වූහ. තවත් විශාල පිරිසක් විවිධ හිරිහැරයන්ට ලක්වූහ. 2015 ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණය අවස්ථාවේ මෙන්ම 2015 අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණය අවස්ථාවේදී ද ජනමාධ්‍යය යන්න දේශාපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය. 

සුදු වෑන්වලින් මාධ්‍යවේදීන් පැහැර ගැනීම් වැනි දෑ ගෙවුණු වසර එක හමාරේ වාර්තා නොවූව ද මාධ්‍යවේදීන්ට බලපෑම් එල්ල වූ අවස්ථා කිහිපයක් වාර්තා විය. ප්‍රධාන ප්‍රවෘත්තියක් ගැන අපක්ෂපාතී වාර්තාකරණයක් සඳහා කරුණු විමසද්දී අමාත්‍යවරයකු මාධ්‍යවේදියෙකුට බැණ වැද, පැහැර ගැනීමට ලක්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ මහතාගේ බිරිඳට අධිකරණ සංකීර්ණය තුළදීම තර්ජනය කිරීම, අධිකරණ සංකීර්ණය තුළදීම වරාය සභාපතිවරයා මාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කිරීම ආදී සිදුවීම් කිහිපයක් වාර්තා විය.  

සුදුවෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන්ට පහර දීම, මාධ්‍ය ආයතන ගිනි තැබීම ආදී දෑ සිදු නොවන නිසා මෙවැනි දෑ සුළු සිද්ධීන් ලෙස ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් අර්ථ දැක්වුවත් මෙම සිදුවීම් ද සුළු සිදුවීම් ලෙස සලකා ඉවත දැමිය යුතු නොවේ. මේවා මාධ්‍ය මාර්දනයේ ආරම්භක අවස්ථා විය හැකි. 

ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීමට නම් කළ යුතු ප්‍රධාන කාර්යයක් වනුයේ පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කළ, මාධ්‍ය  ආයතන ගිනි තැබූ හා මාධ්‍යවේදීන්ට තර්ජනය කළ පිරිස් නීතිය හමුවට ගෙන ඒමය. ආණ්ඩුව බලයට පත්වී වසර එක හමාරක් ගත වුව ද මේ වන තෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැර ගත් බව කියන සැකකරුවන් පමණි.” යැයි එම නිවේදනයේ දැක්වේ.

ලසන්ත වික්‍රමතුංග, සිවරාම් ඇතුළු ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් රැසකගේ ඝාතකයන් තවමත් නිදැල්ලේ සිටින බවත් උදයන්, ලංකා ඊ නිවුස් ඇතුළු මාධ්‍ය  ආයතන ගිනි තැබූවෝ තවමත් නිදැල්ලේ සිටින බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එසේම ජනමාධ්‍ය නිදහස සීමා කෙරෙන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කරන ලෙස ජනමාධ්‍ය සංවිධාන සහ මාධ්‍යවේදීන්  ඉල්ලා සිටියදී ඊට සාමාජිකයන් පත් කර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යළි පණ ගන්වා ඇති බවත් එය සිදු කර තිබෙන්නේ ද පනතේ සඳහන් ආකාරයට ජනමාධ්‍ය සංවිධානවල අදහස් විමසීමකින් තොරව බවත් ලෝක ජනමාධ්‍යය නිදහස පිළිබඳ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment