'සේරුවිල හිමිගේ අපවත් වීම සැකසහිතයි'

'සේරුවිල හිමිගේ අපවත් වීම සැකසහිතයි'

කල්‍යාණි වංශ නිකායේ අනුනායක සේරුවිල රජමහා විහාරාධිපති සේරුවිල සරණකිත්ති හිමියන්ගේ අපවත්වීම සැකසහිත බැවින් උන්වහන්සේගේ දේහය පිළිබඳ වහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන්නැයි කොළඹ ප්‍රධාන ‍මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (02) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේය.

හිමිනමගේ අපවත්වීම සැකසහිත බවට අධිකරණයට කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු හා අපවත්වීමට ප්‍රථම හිමිනම විසින් පොලිසියට ලබා දී තිබූ ප්‍රකාශ සළකා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව එකී අවයව අනිවාර්යයෙන්ම රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ යුතු බවට පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් අනතුරුව හිමිනමගේ අපවත්වීමට අදාළ හේතුව අධිකරණය මඟින් ප්‍රකාශයට පත්කරන බවද මහේස්ත්‍රාත්වරයා මෙහිදී පැවැසීය.

අක්මාවේ ආබාධයක් හේතුවෙන් විහාරාධිපති හිමිනම කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර පසුව හදිසියේ රෝගාතුරවීමෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් වීමෙන් අනතුරුව 02 දින පෙරවරුවේ අපවත් වූහ.

සරණකිත්ති හිමි කොළඹ ජාතික රෝහලේ 45 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් හිමිගේ අසනීප තත්ත්වය පිළිබඳ ස්වාමින් වහන්සේලා සැක පළකරන බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසට පොලිස්පති නියෝග කළ බවත් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ අධිකරණය හමුවේ පැවැසීය.

ඒ අනුව කීතලගල ධම්මාලෝක හිමි හා කොටපල අමරකිත්ති හිමිගෙන් ප්‍රකාශ ලබාගත් බවත් උන්වහන්සේලා විහාරාධිපති හිමිගේ අසනීප තත්ත්වය සැකසහිත බවට ප්‍රකාශ ලබාදී ඇති බවට පොලිසිය අධිකරණය හමුවේ පැවැසූහ.

මීට අමතරව අපවත්වී වදාළ සරණකිත්ති හිමියන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇති අතර යම් විසක් ශරීරගත වී ඇති බවට හිමිනම ලබා දුන් ප්‍රකාශයේ සඳහන් බවද පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණ.

මීට අමතරව හිමිනම ප්‍රතිකාර ලැබූ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු තිදෙනකුගේ ප්‍රකාශ ලබාගත් බව පැවසූ පොලිසිය නැවත දින හදිසියේ රෝගාතුර වී ආසිරි සෙන්ට්‍රල් රෝහලට ඇතුළත් කළ හිමිනම ඊයේ පෙරවරු 7.00ට අපවත් වූ බවට පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණය අවසර ඉල්ලා සිටි පොලිසිය අවසන් කටයුතු සඳහා දේහය භාරගැනීමට පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් වී ඇති බව පැවැසීය.

කොටපොල අමරකිත්ති හිමි හා මංගල මහා චෛත්‍ය සමිතියේ ආර්. පී. සූරියප්පෙරුම මහතා දේහය ඉල්ලා අධිකරණය වෙත ඉදිරිපත් වෙමින් නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට කරුණු දැක්වීය.

දේහයට අයිතිවාසිකම් පවසමින් අධිකරණයට පාර්ශ්ව ඉදිරිපත්වීම ලැජ්ජාවට කරුණක් බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා පාර්ශ්ව එක්වූයේ නැත්නම් හිමිනමගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව ස්වාධීන ස්ථානයක පැවැත්වීමට නියෝග කරන බව දන්වමින් පාර්ශ්වයන් වෙත තරයේ අවවාද කළේය.

අද (03) දිනයේ නැවත නඩුව කැඳවන බවත් පාර්ශ්වයන්හි සම්මුතිය අධිකරණය වෙත දන්වන ලෙසත් පොලිසියට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හමුවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ආදාහන උත්සවය පිළිබඳ ගත හැකි විකල්ප ක්‍රියාමාර්ගය අධිකරණයට දන්වන ලෙසට නියෝග කළේය.

(දිනමිණ)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment