'පොලීසිය ගෙන්වූයේ විජිත හේරත්' - අනතුර ගැන අනුර කියයි

'පොලීසිය ගෙන්වූයේ විජිත හේරත්' - අනතුර ගැන අනුර කියයි

රිය අනතුරකදී හැසිරීම ගැන විජිත හේරත් මන්ත්‍රීවරයා මුළුරටටම ආදර්ශයක් ලබාදී ඇතැයි  ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (01) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

අනතුරෙන් පසුව විජිත හේරත් විසින්ම පොලීසිය ගෙන්වාගෙන අවශ්‍ය කටයුතු කරන බවද වෙනත් පුද්ගලයෙක් මත වගකීම බාර නොදී තමන් ඒ වැරැද්ද බාරගන්න තරම් විනයගරුක සාමාජිකයන් සිය පක්‍ෂය නිර්මාණය කර තිබෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

විජිත හේරත් මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුර දිසානායක මහතා මෙසේද සඳහන් කළේය.

“ලංකාවේ සිදුවුණු එකම රිය අනතුර විජිත හේරත් මුහුණ දුන් අනතුරද? එක් දිනකට මේ රටේ විශාල රිය අනතුරු ප‍්‍රමාණයක් සිදුවෙනවා. දිනකට පුද්ගලයින් අටදෙනෙක් පමණ මියයනවා. මෙය, ඒ අතර එක් රිය අනතුරක් පමණයි. විජිත හේරත් සහෝදරයා පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේ සිට ඔහුගේ නිවසට යමින් සිටියදී තමයි රාජගිරිය ප‍්‍රදේශයේදී මේ අනතුරට ලක්වෙන්නේ. පාර හරහා පනින පුද්ගලයෙකු බේරා ගැනීමට යාමේදී දුරකතන කණුවක කැබ් රථය ගැටීම නිසා මේ අනතුර සිදුවී තිබෙනවා. එම පුද්ගලයා යට නොකර ඔහුව බේරා ගත් එකද දැන් වැරැද්දක් වී තිබෙන්නේ? ඒ මොහොතේ පුද්ගලයා බේරා ගැනීමයි විජිත් හේරත් සහෝදරයා කළේ. රිය අනතුරෙන් පසුව විජිත හේරත් සහෝදරයා විසින්ම පොලීසිය ගෙන්වාගෙන අවශ්‍ය කටයුතු කරනවා. ඒ වෙලාවේ රිය පදවපු විජිත හේරත් සහෝදරයාම නීති කටයුතු සඳහා ඉදිරිපත් වෙනවා. වෙනත් පුද්ගලයෙක් මත වගකීම බාර නොදී තමන් ඒ වැරැද්ද බාරගන්න තරම් විනයගරුක සාමාජිකයන් අප පක්‍ෂය නිර්මාණය කර තිබෙනවා. පොලීසිය විසින් අනතුරක් වළක්වා නොගැනීම සහ රාජ්‍ය දේපොළවලට හානි කිරීම පිළිබඳව චෝදනා ඉදිරිපත්කර තිබෙනවා. දුරකතන කණුව සඳහා අලාභය අපි මේ වනවිටත් ගෙවලා තිබෙනවා. අනතුර වළක්වා නොගැනීම යන චෝදනාව සඳහා රු. 1500ක දඩයක් නියම කර තිබෙනවා. ඊට අමතරව කිසිදු වැරැද්දක් සඳහා ඔහු වැරදිකරු වී නැහැ.“ 

“බොහෝ අය විජිත සහෝදරයා බීමත්ව රිය පැදවූවා කියලා ප‍්‍රවෘත්ති නිර්මාණය කරනවා. හවස් වෙනකොට කණමදයන් වගේ බොන පුද්ගලයින් ? 12ටත් විජිත හේරත් සහෝදරයා හොඳ සිහියෙන් ඉන්න එක ගැන හිතාගන්න බැහැ. ඒ කණමදයන් වගේ බොන පුද්ගලයින් අද ප‍්‍රවෘත්ති නිර්මාණය කරන්නන් බවට පත්වෙලා. ඔහු මත්පැන් පානය කළා කියන්නේ කොහොමද? ලේ පරීක්‍ෂණයක් මුත‍්‍රා පරීක්‍ෂණයක් හෝ බැලූන් පිම්බීමක් සිදුකර නැහැ. අපි අහන්නේ බිව්වා කියන්නේ කොහොමද කියලා. අපේ රටට විනයගරුක දේශපාලනඥයින් එපා කියලද කියන්නේ? රිය අනතුරකදී හැසිරෙන්න ඕන විදිය සම්බන්ධයෙන් මුළුරටටම විජිත හේරත් සහෝදරයා ආදර්ශයක් ලබාදී තිබෙනවා. විජිත හේරත් සහෝදරයාටත් මටත් ලොකු සමීප ඉතිහාසයක් තිබෙනවා. එකම විශ්වවිද්‍යාලයේ, එකම පීඨයේ එකම කාමරයේ 1991 සිට මම ඔහු සමඟ ජීවත් වුණා. ඔහුගේ ජීවිතය ගෙවන ආකාරය, ඔහුගේ ගතිගුණ සම්බන්ධයෙන් අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. අපේ පක්‍ෂය දුෂ්කර අවස්ථාවලට මුහුණ දුන් සෑම මොහොතකදීම විජිත හේරත් සහෝදරයා විශාල කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. එක් එක් පුද්ගලයින් ජවිපෙට එරෙහිව විවිධ ප‍්‍රවෘත්ති නිර්මාණය කරමින් සන්තෝෂයක් ලබනවා. අපි ශිෂ්ටසම්පන්න පක්‍ෂයක්. විනයගරුක පුද්ගලයින් ගොඩනගන්න අපි සමත්වෙලා තිබෙනවා. ඒ නිසා විජිත හේරත් සහෝදරයාගේ ආදර්ශය මේ රටේ සියලූ දෙනාට වැදගත් වෙනවා.“ යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසී ය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment