සාලාව නිවාස අහිමි වූවන්ට තවත් මාස 3කට වන්දි 

සාලාව නිවාස අහිමි වූවන්ට තවත් මාස 3කට වන්දි 

සාලාව යුද හමුදා කඳවුරේ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් ලබා දෙන මුදල් ඉදිරි මාස තුනක කාලය සඳහා ද ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ආපදා කළමනාකරණ අමාත්‍යංශය හා ඒකාබද්ධව ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.  

ඉකුත් ජූනි මස 05 වනදා සිදු වූ සාලාව යුද හමුදා කඳවුරේ හදිසි තත්ත්වයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් රුපියල් 50,000 දක්වා වූ දීමනාවක් මාස තුනක කාලයක් ලබා දීම සඳහා මීට පෙර තීරණය කර තිබිණි. එහෙත් සම්පූර්ණයෙන් ම නිවාස අහිමි වූ පිරිස් තවදුරටත් වෙනත් ස්ථානවල ලැගුම් ගෙන සිටීම හේතුවෙන් මෙම දීමනාව තවත් මාස තුනක කාලයක් දක්වා ලබා දීමට මෙසේ පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි. 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සාලාව යුද හමුදා කඳවුරේ හදිසි තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ ගැටලු සොයා බැලීම සඳහා අද (21) මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි. 

මෙම සාකච්ඡාව සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් යන අමාත්‍යවරු ද එක්ව සිටියහ.   

දැනට ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන් ම ඇනහිට ඇති ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යාම සඳහා හමුදා කඳවුරට අයත් ඉඩම් කොටසක තාවකාලික ඉදි කිරීමක් සිදු කිරීමට මෙහි දී එකගතාව පළ විය. එසේ ම දැනට යුද හමුදාව මගින් ප්‍රතිසංස්කරණය කර ඇති එහෙත් හිමිකරුවන් සෑහීමකට පත් නොවන නිවාස සඳහා වන්දි ලබා දිය හැකි ආකාරය සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණ. 

එහි දී අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අක්‍රමිකතා සොයා බලන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය. මීට අමතරව තවදුරටත් ගැටලු ඇත්නම් එම ජනතාව වෙනුවෙන් නම්‍යශීලී වීමට සූදානම් බවත් ජනතාව ද මෙම හදිසි අවස්ථාවේ රජයේ සහන වැඩපිළිවෙළ වෙනුවෙන් උපරිම සහය දැක්විය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය. 

අද දින ගත් තීරණවල ප්‍රගතිය සොය බැලීම සඳහා ඔක්තෝබර් මස 13 වැනි දින යළිත් සාකච්ඡාවක් පැවැත්වීමට මෙහි දී තීරණය කෙරිණි.

සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක් වූ සාලාව හදිසි තත්ත්වයෙන් විපතට පත් වූවන්ගේ එකමුතුවේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය පාර්ශ්වෙන් මෙම ජනතාව වෙනුවෙන් සිද්ධිය වූ දිනයේ සිට ඉතා යහපත් ප්‍රතිචාර දැක්වීම සතුටට කරුණක් බවයි. 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment