පුස්සැල්ලාව තරුණයා නිසා ගම්පොළම ඇවිලෙයි


රා හැදූ වරදට සිරගතවී කූඩුවේදී ගෙළ වැළලා මියගිය
පුස්සැල්ලාව තරුණයා නිසා ගම්පොළම ඇවිලෙයි

සියලුම පොලිස් ස්ථාන ඇතුළට සීසීටීවී
පොලිස් ලොක්කන්ට අගමැතිගෙන් හදිසි රැස්වීමක්



මින් ටික දිනකට පෙර හම්බන්තොට තරුණයා අතුරුදන්වීම ගැන පොලිසිය වෙත ආ ජනතා සැකය ඔහු හමුවීමෙන් පසු තුරන්වී ගිය නමුත් ගම්පොළ පුස්සැල්ලාව පොලිසිය තුළදී තරුණයෙකු දිවිනසාගැනීම සම්බන්ධ තවත් සිද්ධියක් නිසා නැවතත් සැකයක් මතුවී තිබේ.
නීති විරෝධී ලෙස රා මැදිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ රවිරාඡ් රවිචන්ද්‍රන් නමැති 30 හැවිරිදි සැකකරු
රා මිලි ලීටර් 750 ක්‌ නිෂ්පාදනය ගැන වරද පිළිගෙන තිබී හෙල්බොඩ අධිකරණය මගින් ප්‍රජා සේවයට නියෝග කර තිබුණ නමුත් ඔහු එම දඩුවම මග හැරිය නිසා නැවත අත්අඩංගුවට පත්වූයේ වරෙන්තු නිකුත් වී තිබූ නිසාය. ඒ අනුව පුස්‌සැල්ලාව පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ පෙරේදා (17 දා) සවස නිවසේ සිටියදී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊට පසුදා අධිකරණයට ඉදිරිපත් කරන්නටය.

කිසිදු පුද්ගලික ප්‍රශ්නයක් හෝ මැරෙන්නට තරම් බිය විය යුතු ගැටලුවක් නොතිබී අත්අඩංගුවට පත්ව පැය කිහිපයකින් එදින රාත්‍රී දහයට පමණ සිරමැදිරිය තුළදී ටීෂර්ට් එකක් ගෙළෙහි සිරකරගෙන ඔහු මියගොස් තිබුනි. සිර කූඩුවේ කූරු අතර ඉහළට වන්නට තිබුණ ගැට්ටේ ගැට ගසා තිබුණ ටීෂර්ටයේ අනෙක් කෙළවර ඔහුගේ ගෙලෙහි රැදී තිබුණ බවත් ඔහු හමුවූයේ මියගොස් සිටියදී බවත් පොලිස් නිලධාරීන් පසුව ප්‍රකාශ කළා. ඔවුන් නිවසට ඒ ගැන කියා ඇත්තේ රෝහලට සිරුර ගෙනයාමෙන්ද පසුය.
නමුත් රාත්‍රී සේවා මුරයේ යෙදුණ නිලධාරීන් දෙදෙනා ඔහු එවැන්නක් සිදු කරන තුරු දැන නොසිටිම ප්‍රහේළිකාවක් වුණා.
මියගිය තරුණයාගේ ඥාතීන් සදහන් කරන්නේ ඔහුට පොලිස් පහරදීම් සිදු කරන ලද බවට සාක්ෂි ඇති බවත් ඒ නිසා ඔහු ඝාතනයවීමෙන් පසු පොලිසිය ඔහු දිවිනසාගත් කතාවක් ගොතා ඇති බවට සැක කරන බවයි.


සිද්ධිය ගැන තරුණයාගේ සහෝදරයෙකු මෙසේ පවසා ඇත.

‘මගේ මල්ලි ගෙදර ඉන්න අතරේ ත්‍රිරෝද රථයකින් පෙරේදා (17 දා) අපේ ගෙදරට ආව පොලිසියේ මහත්තුරු කට්‌ටියක්‌ මල්ලිට පහරදීලා අරගෙන ගියා.මල්ලිව බලන්න මම පොලිසියට ගිය අවස්‌ථාවෙත් පොලිසියේ අය මල්ලිට ගහනවා දැක්‌කා. පස්‌සේ රෑ 10.00 ට විතර පොලිසියෙන් අපට කතා කරලා කිව්වා මල්ලි පොලිසියේ කූඩුවේ ගෙල වැලලාගෙන මැරිලා කියලා.ඔවුන් මල්ලි මැරුණා කියලා අපිට කිව්වේ රෝහලටත් අරගෙන ගිහින් ඉවර වෙලයි. අපේ මල්ලිට ජීවිතේ නැති කරගන්න හේතුවක්‌ තිබුණේ නැහැ.

මියගිය තරුණයාගේ මවද  ‘පුතාගේ මරණය සැක සහිත බව‘සඳහන් කළාය.

මෙම මරණ සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසින් ගම්පොළ - නුවරඑළිය ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් ඊයේ (18) දවස පුරා උද්ඝෝෂණයක් සිදුකිරිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුද සම්පුර්ණයෙන් ඇණහිට තිබිණි. සිද්ධිය සමථයකට පත් කිරිම සදහා උද්ඝෝෂකයින් හමුවට ඊයේ (18) පැමිණි  අමාත්‍ය පලනි දිගම්බරම් පොලිස්පතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් මත පුස්සැල්ලාව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක කලූආරචිචි මහතාව මෙම මරණය සම්බන්ධයෙන් පරික්‍ෂණ කටයුතු අවසන් වෙනතෙක් ගම්පොළ පොලීසියට මාරු කරන ලදි.

ඊට අමතරව එදින මැදිරිය භාරව රාජකාරියේ යෙදුණ නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත.


මෙහිදී පුස්‌සැල්ලාව පොලිසියට ගොස්‌ පොලිස්‌ සිර මැදිරියද පරීක්‍ෂාවට ලක්‌කළ මහෙස්‌ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්‍ෂණය කරන්නට නියම කළේය.

පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප‍්‍රභාත් සේරසිංහ මහතා විසින් ඊයේ (18) රාති‍්‍ර එම පරීක්ෂණය පවත්වා එම සිරුරේ කොටස් රජයේ රස පරික්‍ෂකවරයා වෙත යොමු කරමින් විවෘත තින්දුවක් ලබාදුන්නේ මරණය සිදුවූයේ ගෙල සිරවීමෙන්ද පහරදීමෙන්ද යන්න හෙළි කළේ නැතුවයි.
 මරණය සම්බන්ධයෙන් ගම්පොළ කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතාගේ අධික්‍ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්‍ෂණ ආරම්භ කර ඇත.

සිද්ධියෙන් පසුව දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල ඇති සිර මැදිරි ආවරණයවන පරිදි CCTV කැමරා සවිකිරීමට පියවර ගන්නා ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කර ඇත.

ඊට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ‍පොලීසියේ ඉහළ නිලධාරීන් සියලු දෙනාම මේ සතියේ අරලියගහ මන්දිරයට කැඳවා ඇත.
‍පොලීසිය සම්බන්ධයෙන් බිඳී ගොස් තිබූ ජනතා විශ්වාසය යළි ගොඩනැගීම සඳහා ‍පොලිස්පතිවරයා ගත් පියවර ද මේ කැඳවීමේදී අගමැතිවරයා විසින් සමාලෝචනය කිරීමට අපේක්ෂිතය.










Pix By - Balakrishnan Thirugnanam
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment