එතනෝල්වලට සෞඛ්‍ය ඇමැතිගෙන් නියෝගයක්!

එතනෝල්වලට සෞඛ්‍ය ඇමැතිගෙන් නියෝගයක්!

වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ ආනයනය කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.

ලියාපදිංචි ඖෂධ සමාගම් හදිසි ඖෂධ ලබාගැනීමේ දී අයදුම් නොකරන තත්ත්වයක් මතුව ඇති බැවින්, එවැනි සමාගම්වලට ඖෂධ සැපයීමේ ටෙන්ඩර් ලබානොදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාට දැනුම් දී තිබේ. එවැනි සමාගම් අසාදු ලේඛණ ගත කිරීමට ද මෙහිදී තීරණය විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලුම රෝහල්වල රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය එතනෝල් වෛද්‍ය සැපයුම් අංශයෙන් පමණක් ආනයනය කිරීමට මෙහිදී තීරණය විය. වෙනත් සෞඛ්‍ය ආයතනවලින් එතනෝල් ආනයනය කිරීමට කටයුතු කිරිම නිසා ගැටලු රැසක් මතුව ඇති බව ශ‍්‍රී ලංකා රේගු සහ ආනයන අපනයන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ. 

ඒ අනුව එතනෝල් වෛද්‍ය සැපයුම් අංශයෙන් පමණක් ආනයනය කර බෙදා හැරිමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට දැනුම් දුන්නේය.

ඖෂධ ආනයනය කිරීමේ දී මතුව ඇති ගැටලු, ඖෂධවල ජීව කාලය පිළිබඳව, ඖෂධ නියාමන අධිකාරිය සහ ආනයන අපනයන දෙපාර්තමේන්තුව අතර සෘජු සබඳතා ක‍්‍රියාත්මක කිරීම, හදිසි ඖෂධ ආනයනය කිරීමේ දී මතුව ඇති ගැටලු, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන ආධාර සහ ඖෂධ කඩිනමින් ලබාගැනීම පිළිබඳව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මෙම අවස්ථාවට ආනයන අපනයන පාලක නිමල්කා ඩයස් මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සහ ශ‍්‍රී ලංකා රේගු නිලධාරීන් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් ද එක්ව සිටියහ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment