'ආවා' ආ ගිය තැන් සොයන්න පොලිස් කණ්ඩායම් 9ක්

'ආවා' ආ ගිය තැන් සොයන්න පොලිස් කණ්ඩායම් 9ක්

උතුරු පළාතේ සිදුවූ අපරාධවලට සම්බන්ධ යැයි කියන 'ආවා' කල්ලිය ඇතුළු කණ්ඩායම් කිහිපයක් සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් 09ක් උතුරේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය පවසයි.

යාපනය, චුන්නාකම් මනිප්පායි කෝපායි හා යාපනය නගරාසන්න ප‍්‍රදේශවල හිස ඔසවා සිටින බව කියන මෙම කල්ලිවල අපරාධ ක‍්‍රියා වැඩි වී තිබීමත් පසුගියදා චුන්නාකම් නගර මධ්‍යයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුට තුවාල සිදුකිරීමත් යන සිද්ධීන් මුල්කර ගනිමින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි යාපනයේ උසස් පොලිස් නිලධාරියෙක් කියාසිටියේය.

ආවා කල්ලියෙහි නායකයා 'සන්නා' නමැත්තකු බව ද මෙම කල්ලියේ සාමාජිකයින් සතුව තිබෙන කඩු බ‍්‍රසීලයේ නිෂ්පාදිත ඒවා බවද මේ වනවිට සන්නා සමග දේවා සහ ප‍්‍රකාශ් යන අය යාපනයෙන් පළාගොස් ඇති බවද වාර්තා වේ. 

මෙම ආවා කල්ලියට උතුරේ ඇතැම් දේශපාලඥයින්ගේ මෙන්ම හිටපු කොටි සාමාජිකයින්ගේ සහය ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබේ.

එමෙන්ම මෙම කල්ලියට යුද හමුදාවේ සහය හිමිව තිබෙන බවට පවතින චෝදනාවන් සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශන සිදුකෙරෙන බව ද වාර්තා වේ.

යාපනයේ හා ආසන්න ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වන නිමලන්ගේ කල්ලිය, ඩිල්ලූ ගෲප්, ජූඩ්ගේ කල්ලිය, සන්නාගේ කල්ලිය, රොක් ටීම් ඇතුළු සමාජ විරෝධී ක‍්‍රියාවන්හි නිරත අපරාධ කල්ලි සොයා ද පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වන බව සඳහන්ය.

ආවා කල්ලිය ඇතුළු මෙම කල්ලිවලට එරෙහිව මිනීමැරුම්, පුද්ගල පහරදීම් හා කපාකොටා දැමීම්, මංකොල්ලකෑම් සහ කප්පම්, පුද්ගල පැහැරගැනීම්,අපයෝජන වැනි චෝදනාවන් සම්බන්ධයෙන් පැමිණිලි රැසක්ම යාපනය චුන්නාකම්, මනිප්පායි, කෝපායි, තෙල්ලිපලෙයි වැනි පොලිස් ස්ථානවල සටහන්ව තිබේ.

ආවා කල්ලිය 2013 වසරේදී විනෝදන් හෙවත් අවාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවාගෙන ඇති අතර මෙම කල්ලියේ සන්නා නම් තැනැත්තා දරුණුම අපරාධකරු වශයෙන් සැලකෙන අතර මෙම කල්ලිය ඇතුළු සමාජ විරෝධී අපරාධ කල්ලි දකුණු ඉන්දීය දමිළ සිනමාවේ දුෂ්ට චරිත ආදර්ශයට ගනිමින් අපරාධ සිදුකරන වයස අවුරුදු 17-26 යන වයස්වල පසුවන අපරාධකරුවන් බවද වාර්තා වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment