ඉදිරි අයවැය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා ඇතුළත් නොකළහොත් අයවැය සම්මත කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබානොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
මීට අමතරව දෙසැම්බර් මාසයේදී ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කරන බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළද, එට්කා ගිවිසුමට සේවා ඇතුළත් වී තිබුණහොත් එහිදී ද තම පක්ෂයේ සහයෝගය ලබා නොදෙන බව අමාත්‍යවරයා පවසා සිටියේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදී සිදු වූ සිදුවීමේදී ඒකාබද්ධ විපක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග එක් වී අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට එරෙහිව කටයුතු කළ බවයි.
මෙතෙක් කලක් බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂය සමග රෑට රෑට ඩීල් දැමූ බවත්, එහෙත් මේ වනවිට එළිපිට ඩීල් දැමීමට පටන්ගෙන තිබෙන බවත් ඔහු මෙහිදී පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය සමග ඩීල් දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කරන බවත්, මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තේරුම්ගත යුතු බවත් ඔහු කියාසිටියේය.
කෙසේ නමුත් පක්ෂය දෙකට කැඩී මැතිවරණයකට ගියහොත් දෙපිරිසටම රතු එළිය ලැබෙන බවත්, එක්සත් ජාතික පක්ෂයට කොළ එළිය ලැබෙන බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
0 comments :
Post a Comment