''ජනාධිපති අපේක්‍ෂකත්වය ගෝඨාට දෙන කතාව අමු බොරුවක්'' - මහින්ද [Video]




ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා යැයි තමන් කිසිම අවස්ථාවක ප්‍රකාශ කළේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ඒ මහතා මේ බව කියා සිටියේ කැබිතිගොල්ලෑව හල්මිල්ලකැටිය පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති දානමය පිංකම ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

‘ඒක අමු බොරුවක්. මම එහෙම කිව්වේ නෑ. ඒක මවාගත්ත දෙයක්’ යැයිද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කලේ, ඔහුගේ ඉන්දීය සංචාරය අතරතුර එරට මාධ්‍ය වෙත කරන ලද අදහස් දැක්වීම් සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කරන ලද විමසීමකදීය.



භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ආරාධනයක් මත මහින්ද රාජපක්ෂ මහතා 

‘ඉන්දු-ලංකා’ සබඳතා මැයෙන් දේශනයක් පැවැත්වීමට පසුගියදා ඉන්දියාවට ගිය අවස්ථාවේදී ‘ද හින්දු‘ පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවක් පැවැත්වූ අතර එහිදී ''මීළඟ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඔබේ පවුලේ අයෙක් ද ? නැතිනම් ඔබ වෙනත් අයෙක් සලකා බලනවාද?'' යන කාරණය සාකච්ඡාව මෙහෙයවූ සුභාෂිනි හයිදර් සහ අමිත් බරුහ් යන මාධ්‍යවේදීන් විසින් විමසා සිටියේය.

එහිදී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා කල කල ප්‍රකාශයේ සිංහල පරිවර්තනය මෙසේය.

''මගේ පුතාට (නාමල් රාජපක්ෂට) ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙන්න බැහැ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ අවම වයස අවුරුදු 35ක් දක්වා වැඩි කරලා. කලින් එය 30ක්. ඒ නිසා 2019ට ඔහු සලකා බලන්න බැහැ. මගේ සහෝදරය නිසැකයෙන්ම තරගකරුවෙක්. එහෙත් ජනතාවට අවශ්‍ය කවුද කියලා පක්ෂය සහ සන්ධානය තීරණය කළ යුතුයි’’.

 ''ගෝඨා ජනපති කරන්න නියත විවරණ ලැබුණා''

 මෙසේ මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය පුවත්පතට ලබාදී තිබු පිළිතුර සම්බන්ධයෙන් වහා ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති ධුර අපේක්ෂක වීම තම පැතුම බවත් එයට හිටපු ජනපතිවරයාගෙන් නියත විවරණ ලැබීම ගැන සතුටුවන බවත් මාධ්‍ය හමුවේ ප්‍රකාශකර සිටියේය.

ඒ අතර ඊට ප්‍රතිචාර දැක්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් සොයුරු චමල් රාජපක්ෂ මහතා, ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකත්වය සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් බැසිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම තමන්ද කොනක සිටින බව අවධාරණය කර සිටියේය.

අනතුරුව 'අනිද්දා' පුවත්පතට අදහස් දක්වා තිබු ඒකාබද්ධයේ නායකයකු වන වාසුදේව නානායක්කාර මහතා, මහින්ද රාජපක්ෂ මහතා අදහස් කරන ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා යැයි ප්‍රකාශකර තිබිණ.

 වෙල්ගම, මහින්දගේ කතාව පතුරු ගසයි :

 කෙසේවුවද මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දීය මාධ්‍ය වෙත කරන ලද අදාල ප්‍රකාශ සම්බන්ධයෙන් එකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා දැඩි ලෙස විරෝධය පළ කර සිටියේය.

'නෙත් එෆ් එම්' සමඟ අදහස් පළ කරමින් වෙල්ගම මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

පවුල්වාදය රටකට නොගැළපෙන බවත් පසුගිය ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූයේ පවුල්වාදය නිසා බවත්, පවුලේ සාමාජිකයන්ට මුල් තැන දී තිබූ නිසා එවක රජයේ ඇමැතිවරු සියලු දෙනා තරහ වූ බවද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වූයේ, ගිය රජයෙන් හිමිතැන නොදුන් නිසා බවත් මේ තත්ත්වය යටතේ ඉදිරියේදී තවත් සිරිසේන කෙනෙක් බිහි වේවි දැයි නොදන්නා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment