බීඩි සහ සුරුට්ටු ඇසුරුම්වලටත් රූපමය අවවාද

බීඩි සහ සුරුට්ටු ඇසුරුම්වලටත් රූපමය අවවාද
සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද සටහන් ආකාරයට බීඩි සහ සුරුට්ටු පැකට්වල ද රූපමය අවවාද සටහන් කිරිමට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. 
 
රෝග රැසකට බහුලව ම බලපාන දුම්පානය අවම කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද සටහන් කරන ලදි. නමුත් මෙතෙක් බීඩි සහ සුරුට්ටු පැකට්වල රූපමය අවවාද නොමැත. එම නිසා ඉදිරියේ දී රූපමය අවවාද සටහන් කිරීමට අවධානය යොමුව ඇති අතර, දුම්පානයෙන් ශ‍්‍රී ලාංකිකයින් බේරා ගැනීමේ වැඩපිළිවෙළ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අදියරෙන් අදියර සිදු කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. 
 
බීඩි සඳහා ද රජය සැප්තැම්බර් මාසයේ දී බදු පැනවීමට පියවර ගෙන තිබේ. බීඩි කොළ ආනයනයේ දී අය කරන සෙස් බද්ද රුපියල් 2000 සිට 3000 දක්වා වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ අතර මෙමගින් ද බලාපොරොත්තු වන්නේ සිගරට්වලට අමතර ව විකල්ප නිෂ්පාදනවලින් ද ජනතාව බේරාගැනීමට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කරයි. 
 
ජනාධිපතිවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යෝජනාවක් මත දුම්කොළ නිෂ්පාදනවල බදු ප‍්‍රතිශතය සියයට 90 දක්වා වැඩිකර ඇත. අද වනවිට දුම්වැටියක මිල රුපියල් 50 දක්වා වැඩිවී ඇත. දුම්වැටි මිල වැඩි කිරීමෙන් ද දුම්පානය කරන්නන්ගේ සංඛ්‍යාව සියයට 4 - 5 ත් දක්වා අවම කර ගැනීම අපේක්ෂාව බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.  
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment