අගමැති ආසියා ශාන්තිකර සමුළුව අමතයි

අගමැති ආසියා ශාන්තිකර සමුළුව අමතයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) 15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා ශාන්තිකර සමුළුව ඇමතීමට නියමිතය.

එම සමුළුවට සහභාගීවීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඊයේ (03) පෙරවරුවේ හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළින් හොංකොං නගරයට ළඟා විය.

අග්‍රාමාත්‍යවරයා, මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය ඇතුළු නියෝජිත පිරිස හොංකොංහි ග්‍රෑන්ඩ් හයට් හෝටලයට පැමිණි අවස්ථාවේ දී චීනයේ ශ්‍රි ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා සහ ග්‍රෑන්ඩ් හයට් හෝටල් කළමනාකාරීත්වය විසින් ඔවුන් පිළිගනු ලැබිණි.

හොංකොං ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ශාලාවේ පැවැත්වෙන මෙම ආසියා - ශාන්තිකර සමුළුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 'ආසියා - ශාන්තිකර අභියෝගයන් සහ ඉදිරි දර්ශනය' යන මැයෙන් අද දේශනය පැවැත්වීමට නියමිතය.

හොංකොං වික්ටෝරියා වරාය අසබඩ පිහිටි හොංකොං ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ශාලාවේ නොවැම්බර් 03වන දා සිට 05වන දා දක්වා සමුළුව පැවැත්වෙන අතර, ජර්මනියේ සහ ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රමුඛ නීති සම්පාදකයන්, විද්වතුන්, ව්‍යවසායකයන් ඊට සහභාගී වෙති.

ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ශාලාවට පෙරේදා සිටම ආරක්ෂාව තර කර තිබූ අතර සම්මන්ත්‍රණය සඳහා සූදානම් වන ආකාරය දැක ගැනීමට හැකි විය. මෙම සමුළුව සංවිධාන කෙරෙන්නේ ආසියා ශාන්තිකර කලාපීය ව්‍යවසායකයන් සහ ජර්මානු ව්‍යවසායකයන් අතර සම්බන්ධතා ශක්තිමත් කරලීමේ අරමුණිනි.

යුරෝපීය සංගමයේ ප්‍රමුඛතම රාජ්‍යයක් වශයෙන් ජර්මනියට මෙන්ම ආසියා ශාන්තිකර කලාපයටත් මෙවර සමුළුව වඩාත් වැදගත් වනුයේ යුරෝපීය සංගමයෙන් බ්‍රිතාන්‍යය වෙන් වීමෙන් පසු පැවැත්වෙන මුල්ම සමුළුව මෙය බැවිනි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සංචාරයට එක්ව සිටිති.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment