කාන්තා මළ සිරුරක් අමුතු විදිහකට එම්බාම් කරද්දී හසුවෙයි

වාහන තුළ සහ තේ වතු අස්සේ මළ සිරුරු එම්බාම් කිරීමේ සිදුවීමක් පිළිබඳව නුවරඑළියෙන් වාර්තා වෙනවා.

නුවරඑළිය නගරයේ පිහිටි ප්‍රසිද්ධ මල් ශාලාවක් මගින් මෙලෙස සිදු කරන බව යි පැවසෙන්නේ.

මළ සිරුරු එම්බාම් කිරීම සඳහා අදාළ මල් ශාලාව තුළ පහසුකම් නොමැති හෙයින් මෙලෙස නගරයේ තෝරාගත් නිවාස, වාහන සහ තේවතු ආදියෙහි සඟවාගෙන එම කටයුත්ත සිදු කර ඇති බව යි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම මල් ශාලාවෙහි හිමිකරුගේ නිවෙසට හොර රහසේ රැගෙන යන මළ සිරුරු එහි දී එම්බාම් කොට නැවත මල් ශාලාව වෙත රහසේම රැගෙන විත් පෙට්ටියේ තබන බව ද ගම්වාසීන් පවසනවා.

ඒ ආකාරයෙන් මළ සිරුරක් නිවෙසට රැගෙන ගොස් එම්බාම් කිරීමට සූදානම් වන විට අසල්වාසීන් එක්ව එයට විරෝධය පළ කොට ඇති අතර මෙම ඔවුන් මෙම කටයුත්ත පිළිබඳව නුවරඑළිය පොලිසියට සහ මහ නගර සභා සෞඛ්‍ය නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු එම කටයුත්ත නැවතී ඇති බව වාර්තා වෙනවා.

නමුත් අදාළ මල්ශාලා හිමිකරු විසින් පසුගිය දිනෙක ලිඳුල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකගේ මළ සිරුරක් බොරලන්ද, නේස්බිවත්තේ සුසාන භූමිය අසල දී එම්බාම් කරමින් සිටිය දී හසු වී තිබෙනවා.

වාහනයේ වීදුරු කවුලුවලට පත්තර අලවා ආවරණය කොට මළ සිරුර රැගෙන ගොස් පාළු ස්ථානයක ඉටි රෙදිවලින් වට කර එම මළ සිරුර එම්බාම් කරමින් සිට ඇති බව යි පැවසෙන්නේ. අසලින් ගිය කාන්තාවක් එම කටයුත්ත දැක බියට පත්ව කෑගසා තිබෙනවා.

ඇගේ කෑගැසීම හේතුවෙන් පැමිණි වතුකම්කරුවන් අදාළ වාහනයට යා නොහැකි වන සේ දෙපසින් මාර්ගය අවහිර කොට නුවරඑළිය පොලිසියට දන්වා ඇති අතර පසුව මල් ශාලා හිමිකරු සහ ඔහුගේ සහායකයකු අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය පොලීසිය කටයුතු කර තිබෙනවා.

අදාළ මළ සිරුර ඥාතීන් වෙත භාර දීමට පොලීසිය කටයුතු කර ඇති අතර නුවරඑළිය නගරයේ බොහෝ මල් ශාලාවල පහසුකම් නොමැති නිසා අකැමැත්තෙන් හෝ ඥාතීන්ට මේ අන්දමින් හෝ සිරුරු එම්බාම් කරවාගෙන රැගෙන යෑමට සිදුව ඇති බව ද ප්‍රදේශවාසීන් සඳහන් කරන බව වාර්තා වෙනවා.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment