ඡන්දය තවත් කල්දාන්න සැලසුම් සහගත උප්පරවැට්ටියක්

ඡන්දය තවත් කල්දාන්න සැලසුම් සහගත උප්පරවැට්ටියක්

සීමා නිර්ණය කමිටුව හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව සිතා මතා ඡන්දය කල් දැමීමේ දුෂ්ඨ ක්‍රියා පිළිවෙතකට යොමු වී ඇති බැවින් එයට වගකිවයුතු සියළු දෙනාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග කරා යොමුවීමට කටයුතු කරන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ඊයේ (27) සීමා නිර්ණය පිළිබද කමිටු වාර්තාව අමාත්‍යාංශය වෙත බාරදීමට නියමිතව තිබූ නමුත් කමිටුව විසින් අදාළ වාර්තාව බාරදීමෙන් වැලකී සිට ඇති බවත් පරිවර්ථන කටයුතු අවසන් නොවීම එයට හේතු වශයෙන් දක්වා ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

සීමා නිර්ණය කමිටුව 2016 මාර්තු මස සිය වාර්තාව ලබා දෙන බව මුලින්ම ප්‍රකාශ කළේය. ඉන් පසුව අප්‍රේල් 30, අගෝස්තු 31, ඔක්තෝබර් 31 ලෙස කමිටු වාර්තාව බාරදීම දින ප්‍රකාශ විය. තම කමිටුවේ ඉල්ලීමක් පවා නොමැතිව එහි කාලය දීර්ඝ කොට ඇතැයි ප්‍රකාශ කළ එහි සභාපති අශෝක පීරිස් මහතා තමන් නොවැම්බර් 30 දින වාර්තාව බාර දෙන බව වරක් ප්‍රකාශ කළේය. එයින් දින කිහිපයට පසුව, මාධ්‍ය සාකච්ඡාවක දී අශෝක පීරිස් මහතා ප්‍රකාශ කළේ දෙසැම්බර් 15 දින වාර්තාව බාරදෙන බවයි. ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා එයට ප්‍රතිචාර දැක්වුවේ, තමන්ට දෙසැම්බර් 15 වාර්තාව ලැබෙන්නේ නම් එය දෙසැම්බර් 16 දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි. පසුව ඒ සදහා ඊයේට (දෙසැ. 27) දින නියම විය. 

මැතිවරණය කල් දැමීමට උත්සහ දරන දුෂ්ඨ බලවේගයන්ට සීමා නිර්ණය කමිටුව නතුව ඇති බව බැලූ බැල්මට පෙනී යයි. වාර්තාවේ පරිවර්ථන කටයුතු සිදු කිරීමට අවශ්‍ය මානව සම්පත් ලබාදීම පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඔහුගේ නිලධාරීන් විසින් පැහැර හැර ඇත්නම් ජනතා පරමාධිපත්‍යයට බාධා කිරීම සම්බන්ධයෙන් ඔවුහු සෘජුව වගකිව යුතුය. එය වෘත්තීය වගකීම් පැහැර හැරීමක් ද වේ. 

තම වගකීම් හා කාර්ය පටිපාටියෙන් බැහැරව, වාර්තාව අගමැතිවරයා වෙත යොමු කොට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඡන්දය කල් දමා ගැනීමේ උත්සාහයක් මේ වන විට දියත්ව තිබේ. ඒ තුලින් සමානුපාතික ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීමේ දේශපාලන වාසිය ලබාගැනීමට දේශපාලන පක්ෂ කිහිපයක් උත්සහ දරමින් සිටී. 

සීමා නිර්ණය කමිටුව, අමාත්‍යාංශය සහ මැතිවරණය කල් දැමීමට හෝ සමානුපාතික ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම සදහා උත්සහ දරණ කණ්ඩායම් හි දුෂ්ඨ උපක්‍රමය පරාජයට පත් කිරීමට මෙරට දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන පෙරමුණ ගත යුතුව ඇතැයි ද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ පුවත්පත් නිවේදනයේ දැක්වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment