බෝම්බයක් යයි බොරු කියා බදුලු කෝච්චිය නැවතීම පසුපස ලව් හුටපටයක්


බෝම්බයක් යයි බොරු කියා
බදුලු කෝච්චිය නැවතීම පසුපස
ලව් හුටපටයක්


පසුගිය 26 වනදා රාත්‍රියේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා යාමට නියමිතව තිබුණ රාත්‍රී තැපැල් දුම්රියේ සැකකටයුතු බෝම්බ පාර්සලයක් තිබෙන බවට පොලිසියට ව්‍යාජ ඇමතුමක් ලැබීමෙන් පසු ඇති වුණ  කලබලකාරී සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලිසියට එම ව්‍යාජ ඇමතුම පසුපස ආදර හුටපටයක් ඇති බවට තොරතුරු අනාවරණයවී තිබේ.
එම අවස්ථාවේ මගීන් සියල්ල දුම්රිය පොළෙන් ඉවත් කර
පොලිස් විශේෂ කාර්ය බලකාය බෝම්බ නිෂ්ක්‍රීය අංශ සමග එක්ව බෝම්බය සොයා තිබුණ නමුත් කිසිවක් හමුවී තිබුනේ නැති අතර නිශ්ඵල ව්‍යාජ ඇමතුම නිසා දුම්රිය ප්‍රමාදයක් සිදුවී දුම්රිය කිහිපයකම මගීන් රැසකට පැය දෙකහමාරක පමණ රස්තියාදුවක් විඳීමට සිදුවිය.

මෙම දුම්රියේ බෝම්බයක් තබා ඇතැයි නිර්නාමික දුරකථන ඇමතුම පොලිසියට ලබාදී තිබුනේ තරුණියකි. ඇය ඇමතුමේදී පවසා තිබුනේ ‘මාත් මේ කෝච්චියේ යන්න ආපු කෙනෙක්. මෙතන සැක කටයුතු දෙන්නෙක් ඉන්නවා.මට ඇහුණා ඒ අය කියනවා කෝච්චියේ බෝම්බෙ හරි නේද..තව ටිකකින් වැඩේ වෙයි නේද..කියලා.මේ අය බෝම්බයක් තියල ගිහින් වගේ..අනේ අපිව බේරගන්න‘ ලෙසිනි.
සිද්ධියෙන් පසුව මේ ආකාරයේ ව්‍යාජ ඇමතුමක් නිකුත්වීමට හේතුවූයේ කුමක්ද යන්න පොලිසිය පරීක්ෂාකාරී වූ අතර එම ඇමතුම ලබාදුන් තරුණියගේ අංකය ඔස්සේ පරීක්ෂණ අරඹා තිබේ.


එහිදී වාර්තා වී ඇත්තේ ඇය කඩවත ප්‍රදේශයේ පදිංචි අවිවාහක කාන්තාවක බවයි. පොලිස් නිලධාරීන් මේ වනවිට ඇයව වැඩිදුර ප්‍රශ්න කර තිබෙන අතර එහිදී දිගටම ඇය එදා තමාට ඇසුණ දේ ඇත්තක් යයි කියා ඇති නමුත් එදින බදුලු යන්නට හේතුව ආදී විස්තර ඇගෙන් දිගින් දිගටම විමසීමේදී මෙම ඇමතුම පුද්ගලික හේතුවක් මත සිද්ධ කළ ව්‍යාජඑකක් බවට කරුණු හෙළි කරගන්නට හැකිව තිබේ.

ටික කලක සිට ඇය ඇසුරු කළ පෙම්වතා බදුල්ලේ පදිංචි කරුවෙකු බවත් ඔහු ළඟක සිට වෙනස්වී තිබුණ බවත් ඇය මෙහිදී විස්තර කර තිබේ. තම පෙම්වතාගේ වෙනසට හේතුව ඔහු නැවත අලුත් කරගෙන තිබුණ පාසල් කාලයේ සිට පැවතුණ ප්‍රේමයක් බවත් ගමේ තරුණිය තමාට වඩා ලොකුවී තිබීම ගැන තමා ඔහු සමග ආරවුල් කරගත් නමුත් ඔහුගේ වෙනස සකසා ගන්නට හැකිවූයේ නැති බවත් පවසා තිබෙනවා.

මේ අතර පසුගිය කාලයේම ඇය හමුවීමට ඔහු නොපැමිණීම ගැන සොයාබැලීමේදී ඔහු මේ සතියේ විවාහවන්නට නියමිතව සිටි බවත් සිද්ධියවූ 26 වනදා රෑ ඔහු බදුල්ල බලා යන කෝච්චියේ යන්නට සිට ඇත්තේ එම විවාහය වෙනුවෙන් බවත් ඇයට සැලවී ඇත.

 ඒ අනුව අවසාන මොහොතේ හෝ ඔහුගේ සිත වෙනස් කිරීමට කල්පණා කළ ඇය ඔහු වෙත ගොස් දුම්රිය ස්ථානයේදී හඬා වැලපෙමින් වෙනස් නොවන ලෙස ඉල්ලා ඇත. නමුත් ඔහුගේ තීරණයේ වෙනසක් වී නැත.එම අවස්ථාවේ කළ හැකි වෙනත් දෙයක් කල්පණා කළ ඇය 119 පොලිස් ඇමතුම් අංකයට ඇමතුමක් ගෙන ‘කෝච්චියේ බෝම්බ කෙප්පය‘ පවසා ඇත්තේ ඔහුගේ බදුලු ගමන එයින් හෝ නතර කර අස්වැසිල්ලක් ගන්නට හැකිවෙතැයි සිතාය.

මහජනතාව කෙරෙහි පොලිසිය තබන විශ්වාසය ඇය පුද්ගලිකත්වය වෙනුවෙන් අවභාවිතා කර තිබුනේ එලෙසිනි.
තරුණියට එරෙහිව පොලිසිය මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ගයන්ට එළැඹ තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment