'බුර්කාව ගැටලුවක් කරගන්න එපා' - ඇමති අකිල

'බුර්කාව ගැටලුවක් කරගන්න එපා' - ඇමති අකිල

සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු ලිවීම සඳහා සිසුවියන් බුර්කාව පැළදගෙන පැමිණීමේදී එය ගැටලුවක් කර නොගන්නා ලෙසත් විභාග නීතිය අනුව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

පසුගියදා බුර්කාව පැළඳ විභාගයට පෙනී සිටි සිසුවියන් පිරිසක්  විභාග මධ්‍යස්ථානයකට ඇතුළුවීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා හා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා අතර පැවැති සාකච්ඡාවේදි අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන් බව වාර්තා වේ.

බුර්කාව පැළඳ විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන මුස්ලිම් සිසුවියන් අපහසුතාවයට පත් නොවන අයුරින් ඔවුන්ව කාන්තා නිලධාරිනියක් ලවා හැඳුනුම්පත් සමග ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම බුර්කාව පැළඳි මුස්ලිම් සිසුවියන් ද තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා විභාග නිලධාරීන්ට සහය දැක්විය යුතු බවද අමාත්‍යවරයා දන්වා සිටී.

මෙවැනි සිදුවීම් මුල්කරගනිමින් ජාතිවාදී හෝ ආගම්වාදී මතගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment