ශ්‍රීලනිපය 2020දී ජනපති අපේක්ෂකයා තෝරා ගනී

ශ්‍රීලනිපය 2020දී ජනපති අපේක්ෂකයා තෝරා ගනී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ බීබීසී සංදේශය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ය.

ශ්‍රී ලංකාවේ සුළු ජාතික ඡන්ද 27% ක් තිබෙන බව එහිදී කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ ඒ ඡන්දවලින් අති බහුතරය දිනාගැනීමේ හැකියාව තිබෙන එකම අපේක්ෂකයා වත්මන් ජනපතිවරයාය යන්න පක්ෂයේ මෙන්ම තමන්ගේද ස්ථාවරය බවත්ය.

පක්ෂයේ එම තීන්දුව පිළිබඳව මධ්‍යම කාරක සභාවේ මුලසුන හෙබැවූ ජනාධිපතිවරයා කිසිදු අදහසක් පළ නොකළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

2015 ජනවාරි 09 වැනි දා පදවියේ දිවුරුම් දුන් අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා, යළිත් වරක් ජනපතිවරණයකට ඉදිරිපත් නොවන බවට ප්‍රතිඥාවක් දුන්නේ ය. 

එහෙත් වර්තමානයේ දේශපාලන වාතාවරණය වෙනස් වී තිබෙන බව  අමුණුගම අමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතලද පවරා දෙමින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බවටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

අමාත්‍ය අමුණුගම සඳහන් කරන පරිදි, නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනු වෙනුවට වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අතර, ජනමත විචාරණයක් කැඳවිය යුතු නැති බව පක්ෂයේ ස්ථාවරයයි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment