ATM කපා සල්ලි හොරකම් කරන කල්ලියේ කොළඹ සරසවි කථිකාචාර්යවරයෙක්

කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අධ්‍යයන අංශයේ කථීකාචාර්යවරයකු බව කියන ධනංජය හේරත් සහ හිටපු යුද හමුදා නිලධාරී ධම්මික පුෂ්ප කුමාර (29) තවත් දෙදෙනකු සමග එක්ව ගෑස් යන්ත්‍ර උපයෝගී කර
ගෙන පෙර ගෙවුම් කාඩ්පත් යන්ත්‍ර (ATM) කඩා මුදල් රැස්කිරීමේ ජාවාරමක් සිදු කරමින් සිටියදී මීගමුව කොට්ඨාස පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයට හසුවී තිබේ.
රුපියල් ලක්ෂ 57කට අධික මුදලක් ඔවුන් සොරකම් කර ඇති අතර කොටුවූ අවස්ථාවේ රුපියල් ලක්ෂ 30ක මුදලක් ඔවුන් අත තිබී ඇත.
වාහනවල ටින්කර් වැඩ කිරීම ගැන අති දක්ෂයෙක් බව කියන මෙම කථිකාචාර්යවරයා ගෑස් උදුන් ආධාරයෙන් එම වැඩ කර ලබාගත් දැනුම මත ATM යන්ත්‍ර කපා වෙන් කර ඇති බවද අනාවරණය වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියේ ප්‍රධාන මොළකරු ලෙස සැලකෙන අංක 75/5 මාතම්මන, මිනුවන්ගොඩ පදිංචි රත්නගිරි දේවගේ ධම්මික පුෂ්ප කුමාර (29) නමැත්තෙකි.

ඔහු යුද හමුදා පාබළ ඒකකයේ වසර හතරක් පමණ කාලයක් සේවය කර ඇති අයෙකි. මේ තැනැත්තාට මෙවැනිම අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ විවිධ පළාත්වල, අධිකරණවල නඩු 16ක්ද, වරෙන්තු 6ක්ද ඇත. මාතර, කොළඹ, කෑගල්ල, කුලියාපිටිය, මහව, මහනුවර, පොල්ගහවෙල, වත්තල, කුරුණෑගල සහ මීගමුව ප්‍රදේශවල බැංකු කඩා මොහු මුදල් සොරකම් කරගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගනු ලැබ සිටින මහඋස්සව, ආණමඩුව පදිංචි හේරත් මුදියන්සේලාගේ ධනංජය හේරත් කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අධ්‍යයන අංශයේ කථීකාචාර්යවරයකු බව කියන අතර එංගලන්තයේදී ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවක්ද ලබා ගෙන තිබෙන බවත් ජපන් භාෂාව ඇතුළු භාෂා 6ක් චතුර ලෙස කතා කිරීමට නිපුණත්වයක් ඇති අයකු බවත් පොලිසිය කියයි.
තෙවැනි සැකකරු වන පනාගමුව පොතුහැර පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ යසරත්න තෙන්නකෝන් නමැත්තා බැංකු කැඩීම සඳහා තැනින් තැන යෑමට වාහනයේ රියැදුරු වශයෙන් කටයුතු කර තිබේ.
ATM යන්ත්‍ර කඩා මුදල් සොරකම් කිරීමට ඔවුන් රාජ්‍ය බැංකු තෝරාගෙන ඇත. ඔවුන් කොටු වූයේ පසුගිය 20දා මෙලෙස බිබිලේ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක යන්ත්‍රය කඩා මුදල් සොරකම් කිරීමට ගිය අවස්ථාවකය.
බැංකුව අසලට වාහනයකින් පැමිණ වාහනය රියැදුරු සමඟ බැංකුව අසල නවතා ගිය අවස්ථාවේ කණ්ඩායමක් බැංකුවට නුදුරින් ස්ථානයක මොවුන් ගැන නිරීක්ෂණය කර සැක ඇතිවී  රියැදුරුගෙන් ප්‍රශ්න කර තිබෙන අතර රියැදුරු යන්ත්‍රය කැඩීමට ගිය තිදෙනාට දැනුම් දුන් පසු ඔවුන් පලා ගිය බවත් වාර්තාවෙයි. එම අවස්ථාවේ වාහනයේ අංකය පොලිසියට ලබාදී බැංකු කොල්ලය ගැන කරුණු අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.
සිද්ධියට අදාළ සිව්වන සැකකරු තවම සැඟවී සිටී. පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment