ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වන අතර එයට ශ්‍රීලනිපයෙන් කැඩී ආ අය මෙන්ම එසේ නොවන ජානිපෙ, පිවිතුරු හෙළ උරුමය වැනි පක්ෂද එක්විය.
එසේ එක්වූ අය මෙන්ම මහින්දද මෛත්‍රී පවත්වන ශ්‍රීලනිප පක්ෂ රැස්වීම වර්ජනය කළහ.තනතුරු භාරගත්තේද නැත.සම්මේලන වලට ආවේද නැත.
නාම මාත්‍රිකව 'ඒකාබද්ධ විපක්ෂය' ලෙස එම පිරිස හඳුන්වනු ලැබූවත් එවැනි පක්ෂයක් ලියාපදිංචි කර නොතිබිණි. එම රැළිවලදී මෛත්‍රීපාල විරෝධී හා ශ්‍රීලනිප විරෝධී කතා පැවැත්වුන අතර ඩාලි පාරේ ශ්‍රිලනිප මූලස්ථානය පසුකර යද්දී එම අනුගාමිකයින් බොහෝ අවස්ථාවල හූ හඬින් උසුළු විසුළු කරනු මාධ්‍ය තුළද වාර්තා විය.
එහි අරමුණ වූයේ මෛත්‍රී දිගටම මහින්දට විරසකවූ නිසා ශ්‍රීලනිපයේ හොඳ තැනක් නොලැබ යාමට විකල්පයක් ලෙස සිය ජන බලය උරගා බැලීමට මැතිවරණ සඳහා වෙනත් ලියාපදිංචි පක්ෂයක් අවශ්‍යවීම නිසාය.
පසුගිය පුංචි ඡන්දයේදී ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ වෙනමත් ශ්‍රීලනිප වෙනමත් තරග වැදුණ අතර මහින්දගේ සහයෝගය ලැබුනේ ශ්‍රීලනිපයට නොව පොහොට්ටුවටය. එහි නිල නොවන සාමාජිකයන්වූ මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂ පිල එහි සාමාජිකත්වය උපායශීලී ලෙස ලබාගත්තේ නැත. එයට හේතුව ශ්‍රීලනිප පක්ෂ ව්‍යවස්ථාව අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගත්විට ශ්‍රීලනිප මන්ත්‍රී ධූරයක් දරන්නේ නම් මසකින් එය ඉබේම අවලංගුවී යන බැවිනි.
මෛත්‍රීපාල සිරිසේන පසුගිය නොවැම්බර් 9 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය පසු එය නීතිවිරෝධී විසුරවීමක් යයි මෙම පිරිස සිතුවේ නැත.
ඒ නිසා අවලංගුවී යාහැකි ශ්‍රීලනිප මන්ත්‍රීධූරයක් ගැන බියක් පාර්ලිමේන්තුව විසුරවූ පසු නැතිවිය. එයින් දින දෙකක් ගිය තැන 11 වනදාම මහින්ද ඇතුළු ශ්‍රීලනිප 54 දෙනෙකු ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්හ.
ඒ බව මහින්දගේ මෙන්ම නාමල්ගේ නිල ට්විටර් පණිවිඩ ලෙසද සටහන්වූ අතර එම ඡායාරූප හා විස්තර සියලුම මාධ්‍ය තුළද ප්‍රචාරය විය. නාමල් තම පොහොට්ටු සාමාජික කාඩ්පතේ ඡායාරූපයක්ද ප්‍රසිද්ධ කර තිබුණි.
මෛත්‍රී ඇතුළු කිහිපදෙනෙකු ශ්‍රීලනිපයේ තනිකරදමා පක්ෂය බංකොලොත් කර අලුත් පක්ෂයක් හදාගෙන පිරිසක් පිටව ගිය බවට විවේචනද ඇති විය.
කෙසේ නමුත් එම කාරණා හරියටම මසකින් දෙසැම්බර් 13 වනදා අධිකරණ තීන්දුවත් සමග උඩුයටිකුරු විය.
විසුරුවාහැරීම නීතියට පටහැණි බව අධිකරණය තීරණය කළ අතර පාර්ලිමේන්තුව මේ අයගේ පැරණි මන්ත්‍රීධූර සමග යළි සක්‍රීය විය.
ගැටලුව පැනනැංගේ මෙතැනදීය. පාර්ලිමේන්තුව විසුරුවීමෙන් පසු පක්ෂය අතාරින්නට සිටි පිරිස එය එසේ නොවීම නිසා උගුලකට හසුවිය.
නමුත් දැන් මේ සියල්ල ඒකාබද්ධ විපක්ෂ පිල ප්‍රතික්සේප කරයි.ශ්‍රීලනිප පෙනුවෙන් මෛත්‍රී පවත්වන රැස්වීම් වලට ඊයේද නොගිය ඔවුන් අද එම පක්ෂයේ මන්ත්‍රවරුන් බව දිවුරති. අනේකවිධ සාක්ෂි තිබියදී සාමාජිකත්වය ලබාගත්තේම නැතැයි කියති.
එදා දුන්නේ ඇප්ලිකේෂන් එකක් විතරයි සාමාජිකයින් වුනේ නෑ යයි බැසිල් කියා සිටීමත්, මහින්ද තාම ශ්‍රීලනිපට මාස්පතා ගෙවනවා යයි ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් මාධ්‍යවල ගියේ බොරු එහෙම දෙයක් වුණේම නැතැයි මහින්දානන්ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් ගැටලුකාරීය.
කෙසේ වෙතත් මේ ගැටලුව පක්ෂ දෙකක අභ්‍යන්තර ප්‍රශ්න වීමත් ශ්‍රීලනිපයේ මෛත්‍රීපාල ජනපති ඇතුළු පරිපාලනය මේ සඳහා විරෝධයක් දක්වන තැනක දැන් නොසිටීමත් නිසා මහින්දට හෝ අනෙක් සාමාජිකයින්ට මෙමගින් අහිතකර පලවිපාක අත්නොවනු ඇති අතරම මහින්දට විපක්ෂ නායක ධූරය ලබාගන්නට මෙය බාධාවක් නොවනු ඇති බව දේශපාලන විශ්ලේෂක මතයයි.
මහින්ද පොහොට්ටුවේ නෑ නෑමයි - මහින්දානන්ද ලබාදුන් උත්තර පහතින්
0 comments :
Post a Comment