අපහාස කළේ නෑ - තමා නිවැරදි බව නාමල් උසාවියේදී කියයි

අපහාස කළේ නෑ - තමා නිවැරදි බව නාමල් උසාවියේදී කියයි

අයථා ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නියෝග අනුව කටයුතු නොකිරීම හේතුවෙන් ඊට අපහාස කරන ලදැයි සඳහන් චෝදනා වලට තමා නිවැරදිකරු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

දිවුරුම් ප‍්‍රකාශයක් ලබා දීමට හෝ ප‍්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත යෑමට තමා සූදානම් බවද නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ දන්වා සිටියේය.

මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්.ප‍්‍රියාසාත් ඩෙප්  සහ බුවනෙක අළුවිහාරේ යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

පරීක්ෂණයකට අදාළ ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මගින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කොමිසමට අපහාස කර ඇති බව පවසමින් අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා කියා සිටියේ අල්ලස් කොමිසම වෙත ගොස් ප්‍රකාශයක් ලබාදීමට සිය සේවාදායකයා සූදානම් බවයි.

කෙසේ නමුත් එම ප්‍රකාශය දීමට පෙර සිය සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල කොමිසම විසින් කියවා දිය යුතු බවත් නීතිවේදියා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එහෙත් රජයේ නීතිවේදියා එම ඉල්ලීමට විරෝධය පළකරමින් කියා සිටියේ, නියමිත පරිදි වගඋත්තරකරුට එරෙහිව තිබෙන චෝදනා කියවා දීම අවශ්‍ය අතර, විත්තියේ ඉල්ලීම පිළිබඳව අල්ලස් කොමිසමෙන් උපදෙස් ලබාගෙන කරුණු ඉදිරිපත් කිරීම පිණිස කාලය අවශ්‍ය බවයි.

ඒ අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා විවෘත අධිකරණයේ කියවනු ලැබූ අතර, තමන් එම චෝදනාවලට නිවැරදිකරු බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසී ය.

වැඩිදුර නඩු විභාගය ජනවාරි 31 වැනි දිනට කල් තැබිණ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment